සිකරට් එකකටත් වඩා 10 ගුණයකින් පෙනහළු නරක් කරන හැම නිවසකම භාවිතා කරන විෂ ද්‍රව්‍ය 10ක්

health tips

අපි හැමෝම වඩාත් ආස කරන ස්ථානය තමයි අපේ නිවස. දවසේ වැඩ කටයුතු අවසාන කර නිවසට පැමිණෙන්නේ නිදහසේ සැනසිල්ලේ විවේක ගන්නට. ඉතින් තමන්ගේ නිවසේ කාලය ගත කරන්නට අපි හැමෝම කැමතියි. නමුත් අපි බොහෝදෙනෙක් නොදන්නවා වුණාට දූෂිත නාගරික පරිසරයක ඇති විශබීජ හා දූෂිත වායුව අපේ නිවසේ පවා තිබෙන්නට හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම හොඳින් වාතාශ්‍රය නොලැබීම සහ නිවසේ කටයුතු සඳහා භාවිතා කරන නොයෙකුත් දේවල් ගෘහස්තව විෂ වායු ඇති වෙන්නට බලපානු ලබනවා. භයානකම කාරණය වෙන්නේ දරුවන්ට මේ විෂ වායුන් නිසා පිළිකා, ස්වසන ආබාධ ඇතුළු භයානක රෝග වැළදීමයි. ඉතින් දෙමාපියන් විදියට තමන් වගේම තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකෙන පරිදි  ගෘහස්ත පරිසරය සකස් කිරීම කළ යුතු වෙනවා. ඉතින් අපි අද කතා කරමු මෙවැනි බලපෑම් ඇති කෙරෙන අපි නොදැනුවත්වම නිවසට ගෙනෙන සහ භාවිතා කරන ද්‍රව්‍ය මොනවද කියලා.

නිවසේ විෂ වායුන්වලට වැඩි අවදානමක් ඇති පුද්ගල කාණ්ඩ 

  • ළදරුවන් සහ දරුවන්  ගෘහස්ත විෂවල බලපෑම වැඩි වශයෙන් බලපානු ලබන්නේ දරුවන්ට. ඔවුන් වැඩි කාලයක් නිවසේ රැඳීම වගේම ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලින් සහ ස්වසන ක්‍රියාකාරිත්වය වැඩිහිටියන්ට වඩා වේගවත් වීම එයට හේතු වෙනවා. ඒ හැරුණාම දරුවන්ගේ පෙනහළු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නොමේරු තත්ත්වයේ පැවතීමත් ඉතා ඉක්මනින් දරුවන්ව විවිධ ආසාත්මිකතාවලට ගොදුරු වෙන්නට හේතූන් වෙනවා. ඒ වගේම දරුවන් උසින් අඩුවීම නිසා ටයිල් ලීනර්, වැසිකිලි හා නාන කාමර සේදුම් ද්‍රව්‍යවලින්ද වැඩි හානියක් සිදු වෙනවා.
  • ගර්භනී කාන්තාවන් 
  • වයෝවෘද්ධ පුද්ගලයන් 
  • මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන් 
  • ඇදුම ආදී ස්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයන් 
  • විවිධ සැත්කම්වලට භාජනය වූ අය 

නිවසේ විෂ වායු ඇති කරන්නට බලපාන සාධක 

  • නිසි පරිදි වාතාශ්‍රය නිවසට නොලැබීම බොහෝවිට ඉතා කුඩා බිම්කඩක කුඩා නිවසක ජීවත් වෙන අයට නිසි පරිදි ආලෝකය නිවසට ඇතුළු වෙන්නේ නැහැ. හොඳ පිරිසිදු වාතය ආශ්වාස කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් නිවෙස්වල මදුරු කරදරයෙන් ආරක්ෂා වෙන්නට දොර ජනෙල් දවස පුරාම වසා ගෙන සිටීමත් තවත් හේතුවක්. 
  • තීන්ත නිවසේ තීන්ත ආලේප කිරීම වියදම් අධික කටයුත්තක් නිසා බොහෝදෙනෙක් කල්පවතින තීන්ත වර්ගයක් මිලට ගන්නට උනන්දු වෙනවා. නමුත් අපේ දේහයට අහිතකර යැයි පැවසෙන බැර ලෝහ තීන්තවලට නිරාවරණයෙන්  ශරීරගත වන බව බොහෝදෙනෙක් දැනුවත් නැහැ. තීන්තවල අන්තර්ගත බැරලෝහ ලෙස සැලකෙන ඊයම් ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඒ නිසා තීන්ත තෝර ගැනීමේදී ඉහත කරුණු  පිළිබඳව  සැලකිලිමත් වෙන්න.
  • අධික ගන්ධයක් රහිත තීන්ත තෝරා ගන්න.
  • ජලයෙන් බුරුසු සෝදාගත  හැකි තීන්ත තෝරා ගන්න. තීන්ත බුරුසු සෝදා  ගැනීමට භාවිතා කරන ටර්පන්ටයින් හෝ විවිධ ස්ප්‍රීතු වර්ගවල ගන්ධය හා  ශරීර සෞඛ්‍යයට හිතකර වෙන්නේ නැහැ.
  • තීන්ත ආලේපයේදී ජනේල විවර  කර තබන්න. 
  • තීන්ත හොඳින්ම වියළෙන තෙක් කාමරය නැවත භාවිතා නොකරන්න.
  • ප්‍රමිතියෙන් තොර රෙදි සෝදන කුඩු වර්ග , වැසිකිලි නාන කාමර, සේදුම්කාරක, මදුරු නාශක වර්ග, කැරපොතු නාශක වර්ග, හඳුන්කූරු , එයාර් ප්‍රෙෂ්නර්ස් , සුවඳ විලවුන් ,ඩයි වර්ග,ගම් වර්ග, ප්‍රමිතියෙන් තොර විෂ තීන්ත භාවිතය 
  • ෆෝමැල්ඩිහයිඩ් පිට කරන කාපට්, අලුත් රෙදි, ෂැම්පෝ, නිය ආලේපන පදම් කළ කෘතීම ලී පරිහරණය මේ ෆෝමැල්ඩිහයිඩ් ඇසිටැල්හයිඩ් ආදී හානිකර වාෂ්පශීලි කාබනික සංයෝග පිළිකා සහ වෙනත් අසාත්මිකතා ඇති කරන්නට හේතු වෙනවා. බොහෝ ගෘහස්ථ පාරිභෝගික භාණ්ඩවලින් මේ ෆෝමැල්ඩිහයිඩ් වහනය වීම දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අලුතින් තීන්ත ගෑ පසු මාසයක් පමණ ගතවනතුරු ඒවා ඉවත්ව යන්නේ නැති නිසා එය  දරුවන්ට වගේම වැඩිහිටියන්ටත්  හානිදායක ලෙස බලපෑම් ඇති කරනු ලබනවා.
  • සෙල්ලම් බඩු සහ ක්‍රීඩා භාණ්ඩ අපි භාවිතා කරන සෑම භාණ්ඩයකම වගේ අපේ දේහයට අහිතකර යම් යම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. දරුවන් පරිභෝජනය කරන බොහෝ භාණ්ඩවල අඩංගු වෙන ප්‍රධානම රසායන ද්‍රව්‍යයක් වෙන්නේ එතිල් බෙන්සීන්. මේ රසායනික ද්‍රව්‍යයන්වලට දීර්ඝ කාලයක් දරුවන් නිරාවරණය වුණොත් එයින් ශරීරයට ඇතිවන බලපෑම ඉතා විශාල බව විවිධ පර්යේෂකයන් පෙන්වා දී තියෙනවා. විශේෂයෙන්ම ස්නායු ගැටළු, හෝර්මෝන ගැටළු, පිළිකා, නින්ද නොයාම, මඳසරුභාවය සහ  හෘදයාබාධ එවැනි රෝග අතරින් කිහිපයක්.
  • මදුරු කොයිල් අද බොහෝදෙනෙක් මදුරු කරදරයෙන් ආරක්ෂා වෙන්නට භාවිතා කරන මදුරු කොයිල් වගේම සැර සුගන්ධයක් වහනය වන හඳුන්කූරු පවා ශරීර සෞඛ්‍යයට අහිතකර වෙනවා. එක් මදුරු කොයිල් එකක් දහනය වීමේදී සිගරැට් 100 ක් දහනය වීමෙන් පිට කරන විෂ වායු ප්‍රමාණයට සමාන විෂක් ශරීරයට ඇතුල් වන බව පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. මදුරු කරදරය සඳහා වෙනත් විකල්ප භාවිතා කිරීමෙන් කෙටිකාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවීමෙන් ආරක්ෂා වී සිටින්නට පුළුවන්.
  • පොලිතීන්  ප්ලාස්ටික් නිතර පිළිස්සීම 
  • ඇස්බැස්ටස් සෙවිළි කළ නිවාසවල ජීවත් වීම 

මේ විෂ ශරීරගත වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ 

  • ආහාර අරුචිය 
  • ඇස් දැවිල්ල 
  • නිතර උදරාබාධ ඇතිවීම 
  • සෙම්ප්‍රතිෂ්‍යාව 
  • නාසයේ හා උගුරේ වේදනාව 
  • කැස්ස 
  • හුස්ම ගැනීම අපහසු වීම 
  • වමනය 
  • ඔක්කාරය 
  • හිසරදය 
  • නින්ද නොයාම 
  • හතිය 
  • කල්ගතවෙත්ම ඇතිවන රක්තහීනතාවය 
  • වර්ධනයේ ආබාධ 

විෂ ශරීරගත වීමෙන් ඇතිවන බලපෑම් 

  • දරුවන්ගේ වර්ධනයේ ගැටළු 
  • රක්තහීනතාවය 
  • ඇදුම
  • පෙනීමේ ආබාධ 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම 
  • අක්මාවට හානි සිදුවීම 
  • චර්ම රෝග 
  • පිළිකා 
  • මඳසරුභාවය 
  • හෘදයාබාධ 
  • කළල වර්ධනය හීන වීම 
  • ස්නායු ආබාධ 
  • හෝර්මෝන අසමතුලිතා 

අපේ නිවස සෞඛ්‍ය සම්පන්නව සතුටින් නිදහසේ ජීවත් විය හැකි ස්ථානයක් බවට පත්කර ගැනීම වැඩිහිටි ඔබේ වගකීමක්. ආදරණීයන්ගේ ආරක්ෂාව උදෙසා නීරෝගි බව උදෙසා ඔබේ නිවසට ගෙන එන සෑම භාණ්ඩයක් ද්‍රව්‍යයක් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ සතු විය යුතුයි. ඒවා මිලදී ගැනීමේදී වගේම පරිහරණයේදීත් හානිදායක  නොවන භාණ්ඩ තෝරා  ගන්නට සැමවිටම උනන්දු වෙන්න.