අපට නිතර අසන්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස බඩේ ගෑස් හෙවත් අම්ලපිත්ත රෝගය පෙන්වා දිය හැකිය. මෙය ගෑස්ට්‍රයිටීස් රෝගය ලෙස ද හඳුන්වනු ලබයි. මෙම රෝගය සුවකර ගැනීම සඳහා නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු නොවුනහොත් එය තවත් රෝග ගණනාවක ආරම්භයක් විය හැකිය.
ඒ අනුව ගෑස්ට්‍රයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් වන්නේ, බඩ පුරවා දැමීම, බඩේ ආම්ලික ගති, ආමාශගත පිළිකා, බඩේ දැවිල්ල, වමනය, කලන්තය හා කරකැවිල්ල ඇති විම, අධික හිසේ කැක්කුම, ආහාර අරුචිය, ශරීරය පඬුවන් පැහැ වීම, අධික ලෙස කෙට්ටු වී දුර්වල වීම, චර්ම රෝග ඇතිවීම, සන්ධිගත ආබාධ තත්ත්වයන් ඇතිවීම, සිහි මද ගතිය හා මානසික රෝග පවා ඇතිකර විය හැකි රෝග තත්වයක් ලෙස අම්ල පිත්ත රෝගය පෙන්වාදිය හැකිය.
සිහි මුළාව, කරකැවිල්ල, හිසරදය සමඟ ක්ලාන්තය, මන්දාග්නිය (ආහාර අරුචිය) සිරුර දුර්වල වී කෘෂ වීම, නිතර දහදිය දැමීම, ශරීර අවයව කසාවන් පැහැ වීම, අත් පා දැවිල්ල, සම මතුපිට කුෂ්ඨ මතුවී දියර ගැලීම, සන්ධිගත ආබාධ (ආමවාත) දරුණු අස්ථි රෝග, එසේ ම කම්පනය, සිහිසන් නැතිවීම, හා මානසික රෝගාබාධයන් පවා කල්යාමේ දී ඇතිවිය හැකි ය.
අම්ලපිත්ත රෝගය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් ම බලපානු ලබන්නේ අපගේ වැරදි ආහාර පුරුදු හා ජීවන රටාවන් ය. ඊට අමතරව පහත දැක්වෙන හේතු සාධක ද මෙම රෝගය ඇතිවීම සඳහා බලපානු ලබයි.

- නිසි වේලාවට පෝෂණීය ගුණයෙන් අනූන සමබර ආහාර වේලක් නොගැනීම.
- දුක, බය, කණගාටුව හා වේදනාව යන තත්ත්වයන් නිසාවෙන් ඇතිවන මානසික ආතතියෙන් සහ පීඩනයෙන් කල් ගෙවීම.
- ආම්ලික තාවය හා ලවණ ගතිය වැඩි ආහාර පාන නිතර නිතර පරිභෝජනය කිරීම.
- විවිධ රසකාරක යොදා සකසන ලද ක්ෂණික හා කෘතිම ආහාර පාන වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කිරීම. (පැණි බීම වර්ග, කෙටි කෑම, කෘතිම නූඩ්ල්ස් වර්ග, ටින් කරන ලද ආහාර…)
- මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමු ව සිටීම.
- වස වර්ග ශරීර ගත කරගැනීම. (පළිබෝධනාශක, කෘමිනාශක වැනි)
- අධික ලෙස තෙල්, සීනි, පිටි, රසකාරක ද්‍රව්‍ය හා සෝස් වර්ග භාවිත කරමින් සකසන ආහාරපාන වැඩිවශයෙන් භාවිත කිරීම.
- උෂ්ණාධික ආහාරපාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම.
- අවේලාවේ නිදා ගැනීම සහ ඇහැරී සිටීම.
- ආහාරගත් විගස වැඩි වශයෙන් ජලය පානය කිරීම.
- කලින් ගත් ආහාර ජීරණය වීමට පළමුව නැවත නැවත ආහාර ගැනීම.
- ජලය ප්‍රමාණවත් තරම් පානය නොකිරීම.
- කාළගුණික හා දේශගුණික වෙනස්කම් වලට මුහුණ දීම.යනාදී හේතු සාධක අම්ල පිත්ත රෝගය ඇතිවීම සඳහා බලපානු ලබයි.
අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයේ ලක්ෂණ පිළිබඳ විමසා බැලීමේදී, පාරම්පරික හෙළ වෙද ශාස්ත්‍රයට ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගත හැකිය. එනම්,
- ඌර්ධව ගත අම්ල පිත්ත රෝග ලක්ෂණ
- අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ ආදී වශයෙනි.
ඌර්ධව ගත අම්ලපිත්තය ලක්ෂණ වලදී පහත රෝග ලක්ෂණ හඳුනාගත හැකි ය.
- බඩ, පපුව හා උගුර ප්‍රදේශයේ දැවිල්ලක් ඇති වීම.
- තිත්ත හෝ ඇඹුලට පිත වමනය යාමක් සිදු වීම.
- වමනය යාමත් සමග අධික ලෙස හිසේ කැක්කුම ඇතිවීම.
- ආමාශයේ තුවාල හට ගැනීම.
- ආහාර ජීර්ණය හොඳින් සිදු නොවීම.
- උදරයේ වාතය පිරී පැවතීම.ආදී රෝග ලක්ෂණ හඳුනාගත හැකිය.
ඉහත රෝග ලක්ෂණ වලට අමතරව අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ ද මෙම රෝගයේ දී පහළ වේ. ඒ අනුව,
- නිතර නිතර අධෝවාත පිටවීම.
- ගුද මාර්ගයේ දැවිල්ලක් සහ වේදනාවක් ඇතිවීම.
- මලබද්ධයේ තත්ත්වයක් හෝ දියාරුවට වැසිකිළි යාම වැනි තත්ත්වයන් දෙකින් එකක් පැවතීම.
- ගුද මාර්ගයේ බිබිලි, තුවාල හා පැලීම් වැනි තත්ත්වයන් ඇතිවීම.
- මලපහ පිට වීමේ දී ඒ සමග සෙම් කොටස් පිටව යාම.
- පසුකාලීනව බඩවැල් පහත්වීම හා අර්ශස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම.යනාදී රෝග ලක්ෂණ පවතී.
මෙම රෝගය සුව කර ගැනීම සඳහා හොඳම විසඳුම වන්නේ ගුනදායක ආහාරපාන පරිභෝජනය කිරීමයි. ඒ අනුව පහත දක්වා ඇති ආහාර පාන මෙම රෝගයේ සුවයට වඩාත් යෝග්‍ය වේ.
- පලතුරු වර්ග ආහාරයට එක්කර ගැනීම මෙවැනි රෝගීන්ට වඩාත් යෝග්‍ය වේ. ඒ අනුව දිනකට පලතුරු වර්ග හතරක්වත් ආහාරයට එක්කර ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. පලතුරුවල අඩංගු විටමින් වර්ග, ආහාරමය තන්තු කොටස්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක යනාදිය හේතුවෙන් පලතුරු ආහාරයට ලබාදීම වඩාත් යෝග්‍ය වේ.
- එමෙන්ම නැවුම් ගුණාත්මක එළවළු නිතර නිතර පරිභෝජනය කිරීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගය සුව කරගත හැකිය. නැවුම් එළවළු කෝප්පයක්වත් දිනකට ලබා ගැනීම මෙම රෝගීන්ට අනිවාර්‍ය වේ. විශේෂයෙන් කොළ පැහැති සලාද වර්ග අම්ලපිත්ත රෝගීන්ට වඩාත් සුදුසු වන අතර ආහාර පිසීමේදී ලූණු, සුදුළූණු හා කුළුබඩු වර්ග අවම ප්‍රමාණයක් භාවිතා කිරීම ද වඩාත් යෝග්‍ය වේ.

- කිරි සහ කිරි මිශ්‍ර ආහාර වර්ග ගැස්ට්‍රයිටීස් රෝගීන්ට වඩාත් ගුණදායක ය. ඒවායෙහි කැල්සියම් හා විටමින් ඩී බහුලව අන්තර්ගත වේ. මේදය අඩුවෙන් පවතින කිරි නිෂ්පාදිතයන් ලබාගැනීමට මෙහිදී සැලකිලිමත් විය යුතු අතර අතුරුපස ලෙස, උදෑසනට හා රාත්‍රියට වශයෙන් කිරි ආහාර ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
- මස් සහ මාළු වර්ග අම්ලපිත්ත රෝගීන්ට අගුණ නොවේ. ඒවා පිසීමේදී මිරිස් හා කුළුබඩු වර්ග සුළු ප්‍රමාණයක් භාවිත කිරීමට සැලකිලිමත් විය යුතුය. මස් මාලු වර්ග වලට අමතරව සෝයා බෝංචි හෝ සෝයා යොදා සකසන ආහාර වර්ග ද ගැස්ට්‍රයිටීස් රෝගීන්ට යෝග්‍ය වේ. දෛනික ආහාර වේල් එකකට හෝ මෙවැනි ආහාරයක් එක් කර ගැනීම මගින් අම්ලපිත්ත රෝගීන්ට නිරෝගී තාවයක් ලබාගත හැකිය.
- කුරහන් මිශ්‍ර කරමින් සකස් කරන ලද කුරහන් කැද, තලප, පිට්ටු, හැලප, බිස්කට් වර්ග, ඉදි ආප්ප,පාන්, රොටී වැනි ආහාර පාන ද අම්ලපිත්ත රෝගීන්ට වඩාත් සුදුසු ආහාර වේ.
- ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අනිවාර්ය පානයක් ලෙස ජලය පෙන්වා දිය හැකිය. ජලය යනු ලොකු කුඩා සියලු දෙනාටම අත්‍යවශ්‍ය මෙන්ම ගුණාත්මක පානයකි. ඒ අනුව දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වඩාත් යෝග්‍ය වන අතර එය ගැස්ට්‍රයිටිස් රෝගයට පමණක් නොව ශරීරයේ ඇතිවන වෙනත් රෝගාබාධ වලට ද කදිම විසඳුමකි.
- මෙසේ ගුණාත්මක හා පෝෂණීය ගුණයෙන් අනූන ආහාර පාන භාවිතය මඟින් අම්ල පිත්ත රෝගය සුව කර ගැනීමට උත්සාහ කිරීම මෙන්ම මේ සඳහා දේශීය වෙදකම් ද පවතී. ඉන් කීපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.
- කීකිරිඳිය ශාකය මද පවනේ හොඳින් වියළා කුඩුකරගෙන ඊට බටර් මිශ්‍රකර කුඩා ගුළි ආකාරයට සකසා වරකට එක බැගින් ආහාරයට ගෙන උණු වතුර පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.
- බෙලි කොළ හොඳින් කොටා එම මිශ්‍රණය තැඹිලි වතුරෙන් අනාගත යුතුය. පසුව එය හුලං නොවදින ආකාරයට දින තුනක් වසා තබා පසුව මිරිකා එම යුෂ වලට උක් හකුරු දියකර පානය කිරීම සුදුසු වේ.
- අත්තික්කා ශාකයේ පොතු වියළා කුඩු කර ඊට බටර් මිශ්‍රකර කුඩා ගුළි සකසා ආහාරයට ගත යුතුය. පසුව එළකිරි පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.
- හාතවාරිය හා අමු නෙල්ලි හොඳින් කොටා යුෂ වෙන්කර ඊට මීපැණි දමා පානය කිරීම යෝග්‍ය වේ.
- හීන් උදුපියලිය හා කොත්තමල්ලි සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් වියලා කුඩු කර තේ මෙන් සකසා පානය කිරීම මඟින් ගැස්ට්‍රයිටිස් රෝගය සුව කරගත හැකිය.
- බෙලිමුල් හා දළු, පත්පාඩගම්, සැවන්දරා මුල් සමාන ප්‍රමාණ වලින් ගෙන වියළා හොඳින් කුඩු කර ගත යුතුය. එම කුඩු මේස හැන්දක් පමණ නටන උණු වතුරට දමා නිවෙන්නට හැර පෙරාගෙන එම පානය උක් හකුරු සමඟ බීම මගින් ද අම්ල පිත්ත රෝගය සුව කරගත හැකිය.
- ඉහත දක්වා ඇති ආකාරයට ගුණාත්මක ආහාර පාන භාවිතා කිරීම හා අත් බෙහෙත් වර්ග භාවිතයෙන් අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය සුවකර ගත හැකිය.