ඇස් ලෙඩ හැදුන ගමන් සුව කර ගත හැකි හොඳම ස්වභාවික සත්කාර 3 ක්

health tips

ලෝකය දැක විඳීමට අපට හැකියාව ලැබී ඇත්තේ ඇස නැමති ඉන්ඳ්‍රීය නිසාය. අනෙකුත් අවයව ආශ්‍රිතව මෙන්ම ඇස් ආශ්‍රිතව ද විවිධ ලෙඩ රෝග ඇති වන අතර එය වේදනාකාරී හා පීඩාකාරී වේ. මේ අතරින් වියළි උෂ්ණ කාලයන්හිදී හටගන්නා ඇස් රෝගය බෝහෝමයක් දෙනා පීඩා විදින රෝගයක් ලෙස හඳුනාගත හැකිය. ඇස් රෝග විෂබීජ වෛරස් ,දිලීර ,බැක්ටීරියා නිසා ඇතිවිය හැකිය. 

මෙම රෝගය ඇති වීමට දේශගුණික විපර්යාස බොහෝ සෙයින් බලපානු ලබයි. ආයුර්වේදය තුළ අභිෂ්‍යන්ද්‍ය නමින් මෙම රෝගය හඳුන්වන අතර මෙහි ප්‍රභේද 4 ක් හඳුනාගත හැකිය.

1. වාතජ අභිෂ්‍යන්ද්‍යය.

2. පිත්තජ අභිෂ්‍යන්ද්‍යය.

3. කලුජ අභිෂ්‍යන්ද්‍යය. 

4. රක්තජ අභිෂ්‍යන්ද්‍යය. 

මේ එක් එක් ප්‍රභේදයන් නිසා විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකි අතර පොදුවේ ගත් විට පහත රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය. 

  • ඇස් පිහාටු ඉදිමීම. 
  • ඇසේ කෙවෙන ගතියක් ඇති වීම. 
  • ඇස රතු පැහැති වීම. 
  • කබ කදුලු ගැලීම. 
  • ශූලවත් වේදනාව. 
  • හිරු එළිය දෙස බැලීමට අපහසු වීම. 
  • ආදී වු රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය. 

මෙම රෝග ලක්ෂණ  කීපයක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත් වේ. එනම් ප්‍රතිකාර ගත් පසු  බොහෝ විට මෙම රෝග තත්ත්වය පවතින්නේ දින පහක් පමණ කාලයකි. නමුදු ඇස්වල රතු පැහැය , වේදනාව , දැවිල්ල ,කැසීම් දින පහකට වඩා පවතින්නේ නම් අක්ෂි වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගත යුතුය. නොමැතිනම් ඇස් පෙනීමේ දුර්වලතා වුවද ඇතිවිය හැකිය.

මෙම රෝග තත්ත්වය ඕනෑම වයස් මට්ටමක ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයෙකුට ඇති විය හැකිය.  ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ට වැළදුණු විට ඇතිවන වේදනාව ,පීඩාකාරී බව වැඩි වේ. මෙවැනි රෝග වලින් ප්‍රවේශම් විය යුත්තේ ඇස් සම්බන්ධ සැත්කම් කළ පුද්ගලයින්ය. 

ඇස් රෝගය ඇති වූ විට අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්

  • ඇස් රෝගය වැළදුණු පුද්ගලයින් භාවිතා කරන  උපකරණ භාවිතා නොකිරීම. එසේ භාවිතා කිරීමෙන් මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකිය. 
  • රෝගී පුද්ගලයා භාවිත කරන පිගන්, කෝප්ප ,ඇද ඇතිරිලි ,ලේන්සු ආදිය අන් අයගෙන් වෙන් කර තැබිය යුතුය. 
  • රෝගය සුවපත් වු පසු රෝගී පුද්ගලයා භාවිත කළ සියලු දෑ හොඳින් පිරිසිදු කළ යුතුය. 
  • දින පහක් වැනි කාලයක් ප්‍රවේසම් වීමේන් රෝගය බෝවීම වළක්වා ගත හැකිය.
  • රෝගය සුවපත් වන තෙක් නිවස තුළටම වී සිටීමෙන් මෙය අනෙක් පුද්ගලයන්ට බෝවීම වලක්වා ගත හැකිය.
  • ඇස් රෝගය වැඩි වාර ගණනක් වුවද වැළදිය හැකි නිසා  යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය. 
  • ඇස නිතර ඇගිලිවලින් ස්පර්ශ නොකිරීම, ඇස පොඩි නොකිරීම ,පිරිසිදු රෙදි කැබැල්ලක් ඇස පිසීමට භාවිත කිරීම මෙන්ම කබ, කදුලු ,ඇතිවිට ගලන ජලයෙන් සෝදා හැරීම සිදු කළ යුතුය. 

ඇස් රෝගය සඳහා  කළ හැකි ප්‍රතිකාර. 

  • පිරිසිදු කර ගත් දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් ඇස් හොඳින් සේදීම හා තැම්බූනු දෙළුම් කොළ වලින් ඇස් සහ අවට පිස දැමීම. 
  • පිරිසිදු සියඹලා කොළ තම්බා ගත් ජලයෙන් ඇස් සේදීම.
  • රත් හදුන් දෙහි ඇඹුලින් ගලගා ඇස වටා ආලේප කිරීම. 

ඇස් රෝගය ඉක්මනින් සුවපත් කර ගැනීම සදහා ගත යුතු ආහාර 

  • වැටකොලු 
  • කැරට් 
  • රතුලූණූ 
  • පතෝල 
  • බෝංචි වැනි උෂ්ණාධික හෝ ශීතාධික නොවන ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.

ඇස් රෝගය සදහා නුසුදුසු ආහාර 

  • බොහෝ විට උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. 
  • අධික මිරිස් කුළුබඩු දමා සැකසූ ආහාර 
  • කෙලවල්ලන්
  • ඉස්සන් 
  • බලමාළු 
  • කරවල
  • ජාඩි
  • සැමන්
  • අධික ශීතල ආහාර 
  • තෙල් බැදුම්
  • අච්චාරු 
  • මුරුංගා 
  • දෙල් වැනි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. 

ඊට අමතරව දුම් පානය ,මත්පැන් පානය ,කිරීම සුදුසු නොවේ. මේ ආදී වශයෙන් ඇස් රෝග ඇති වූ විට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන්  ඇස් රෝගය ඉක්මනින් සුව කරගෙන එය තව දුරටත් බෝවීම වලක්වා ගත හැකිය.