ක්ෂය රෝගය හැදීගෙන එන බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 15 ක්

health tips

අද අපි වැඩි වශයෙන්  බෝ නොවන රෝග පිළිබඳව  කතා කරනවා. එයට හේතුව අපේ වැරදි ආහාර රටාව  ජීවන රටවා වෙනස් කර ගැනීමෙන් මේ රෝගවලින් බොහෝදුරට අපිට ආරක්ෂා වෙන්නට පුළුවන් නිසාවෙන්. නමුත් බෝවන රෝගත් බෝ නොවන රෝග වගේම අවධානයට ලක් කළ යුතු වෙනවා. බෝ වන රෝග ඉතාම දරුණු ආකාරයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට බෝ වෙනවා. මේ බෝ වන රෝග අතර ක්ෂය රෝගය කියන්නේ වයස සමාජ මට්ටම තරාතිරම කිසිවකට මෙල්ල කල නොහැකි ඕනෑම අයෙකුට වැළදෙන්නට හැකි රෝගයක්. නමුත් මේ රෝගය අලුත් රෝගයක් නම් නොවෙයි. මොකද එදා රජවරුන්ට පවා මේ ක්ෂය රෝගය වැළදී ඇති බව වාර්තා වෙනවා.ශ්‍රී  ලංකාවේ බහුලව පවතින බෝ වන රෝග අතුරින් ක්ෂය රෝගය දෙවන ස්ථානයේ පසුවනවා.ඒ හේතුවෙන් වසරට 500-600 ත් අතර මරණ ප්‍රමාණයක් අපේ රටේ සිදු වෙනවා. වසරකට ක්ෂය රෝගීන් 8000-9000 පමණ වාර්තා වෙනවා.කොවිඩ් වසංගතය හමුවේ බොහෝදෙනාට අමතකව ගිය ක්ෂය රෝගය සුළුවට ගත යුත්තක් නොවෙයි. ඉතින් අද අපි මේ ක්ෂය රෝගී තත්ත්වය පිළිබඳව කතා කරමු.

ක්ෂය රෝගය ක්ෂය රෝගය නැත්නම් TB කියන්නේ පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්. මේ රෝගයට හේතු වෙන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව.මේ බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් පෙනහළුවට හානි කරත් ශරීරයේ කෙස් නිය හැර අනෙක් අවයවලටත් හානි සිදු කරනු ලබනවා. ඒ වගේම මේ බැක්ටීරියාව දැඩි හිරු රශ්මියෙන් විනාශ වන බැක්ටීරියාවක්.

මේ ක්ෂය රෝගය තවත් නීරෝගි අයෙකුට රෝගියෙකුගේ රෝගකාරක බැක්ටීරියා අඩංගු කෙළ බිදිති හෝ සොටු සෙම පරිසරයට එකතුවීමෙන් ආදිය මගින් වැළදෙන්නට පුළුවන්. මේ බැක්ටීරියාව පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතිය මගින් ශරීරගත වෙනවා. මේ එක් බැක්ටීරියාවකින් 15 දෙනෙකුට රෝගය බෝවීමේ හැකියාව පවතිනවා. නමුත් ක්ෂය රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වූ පමණින්ම එය හැදෙන්නේ නැහැ.ශරීරයේ ප්‍රතිශක්තිය පවතිනවා නම් මේ බැක්ටීරියාව නිදාගෙන ඇතැම් විට අවුරුදු 15 කින් පමණ හෝ ක්‍රියාකාරී වෙන්නට පුළුවන්.ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වූ සැණින් මේ බැක්ටීරියාව ක්‍රියාකාරී වෙලා ක්ෂය රෝගයට ගොදුරු වෙන්නට පුළුවන්. එසේ වැළදෙන ක්ෂය රෝගය වැඩි වශයෙන් කොන්ද, පැලෝපීය නාල, සම , ඇස් වගේ ඉන්ද්‍රියන්වලට හැදෙනවා. ඇතැම්විට කුඩා දරුවන්ට කොතරම් පෝෂ්‍යදායි ආහාර ලබාදුන්නත් ශරීරය කෙට්ටු නම් බර අඩු නම් අලසයි නම් ඒ දරුවාට ක්ෂය රෝගය තිබෙන්නට පුළුවන්. නමුත් ක්ෂය රෝග 70% ක්ම ඇති වෙන්නේ පෙනහළු ආශ්‍රිතවයි.

විශේෂයෙන්ම මේ ක්ෂය රෝගය සමූහ වශයෙන් එකට ජීවත්වන පුද්ගලයන් අතර ඉතාමත් වේගයෙන් පැතිරෙනවා. ඒ වගේම ක්ෂය රෝගය මුළු ශරීරයේ ඉතාමත් දරුණු ආකාරයෙන් පැතුරුණොත් ඒ පුද්ගලයාව ප්‍රතිකාර මගින් ජීවත් කරවන්නට නොහැකියි. ඒ නිසා රෝගය මුල් අවදියේදී හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ විතරක් නෙවෙයි ක්ෂය රෝගය නිසි ප්‍රතිකාර පැවතියත් වසරකට සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් සිදුවීම අපිට නොසලකා හරින්නට බැහැ. ඒ නිසා මේ රෝගය කොවිඩ් තත්ත්වය නිසා කිසිසේත්ම අමතක නොකළ යුතු රෝගයක් නොවෙයි. 

ක්ෂය රෝගය සෑදීමට බලපාන හේතු 

  • අපිරිසිදු වාතය ඇති ස්ථානවල නිතර ගැවසීම 
  • ආහාර මදකම හා දුෂ්පෝෂනය 
  • අධික ලෙස වෙහෙසීම 
  • අධික ලෙස මත්පැන් පානය 

දුප්පත්කම, අඩු පහසුකම් සහිත නිවාස, පරිසර දූෂණය, වේගවත් නාගරීකරනය, වන විනාශය වැනි ආදියත් මේ රෝගය ව්‍යාප්තවීම කෙරෙහි බලපානු ලබනවා.

අවදානම් පුද්ගලයන් 

  • ආසාදන හැකියාව සහිත ක්ෂය රොගීන් සමීපව ඇසුරු කරන පුද්ගලයන්.
  • දියවැඩියා රෝගීන් 
  • වකුගඩු ආබාධ සහිත රෝගීන් 
  • පිළිකා රෝගීන් 
  • ඒඩ්ස් වැළදුණු අය 
  • අවයව බද්ධ කිරීමෙන් පසුව දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා  රෝගීන් 
  • මත්පැන්  දුම්වැටිවලට ඇබ්බැහි වූවන් 
  • මන්දපෝශණයෙන් පෙළෙන්නන් 
  • වයස අවුරුදු 5 ට අඩු දරුවන් සහ වයස්ගත පුද්ගලයන් 

මේ දරුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු නිසා මේ රෝගයට ගොදුරුවීමේ අවදානම පවතිනවා.

ක්ෂය රෝග ලක්ෂණ 

  • සති 3 ට වඩ වැඩි කාලයක් පවතින අධික කැස්ස
  • කහින විට සෙම හෝ රුධිරය පිටවීම 
  • පපුවේ වේදනාව 
  • ශරීරයේ බර අඩුවීම 
  • ආහාර රුචිය අඩුවීම 
  • අලස බව 
  • උණ 
  • හුස්ම ගැනීමේ අපහසුතාවය 
  • රාත්‍රී  කාලයේදී දහදිය දැමීම 
  • නිතරම මහන්සිය දැනීම 

පෙනහළු ආශ්‍රිතව නොවන ක්ෂය රෝගයේ ලක්ෂණ 

  • දීර්ඝ කාලීන කොන්ද කැක්කුම හා කකුල්වල අප්‍රාණික බව කොන්ද ආශ්‍රිතව ඇති ක්ෂය රෝගයේ ලක්ෂණයි.
  • සුව නොවන ඇස් රතුවීම ඇසේ ක්ෂය රෝගී ලක්ෂණයි 
  • දිගුකාලීන හිසේ කැක්කුම ක්ෂය රෝග බැක්ටීරියාව නිසා මස්තිෂ්ක තරල ප්‍රදාහයෙන් ඇති වන තත්ත්වයයි.
  • ප්‍රතිකාර කළත් සුව නොවන තුවාල සමේ ක්ෂය රෝගී ලක්ෂණ විය හැකියි.
  • මද සරුභාවය, පැලෝපීය නාල ආශ්‍රිත ක්ෂය රෝගකාරක බැක්ටීරියාව ක්‍රියාත්මකවීමෙන් ඇති වෙන්නට පුළුවන්.  

ක්ෂය රෝගීන්ට සමාජයෙන් ඇතිවන මානසික පීඩනය 

සුදු කබර රෝගය, අළුහම්, උදුගොව්වා කෑම ආදී රෝග බොහොමයක් අද බොහෝ දෙනා පිළිකුල් කරන රෝග තත්ත්වයන්. එවැනි රෝග වැළදුණු අය බොහෝසෙයින් කොන් කිරීම නිසා ඔවුන් ඉතාමත් දරුණු විදියට මානසිකව බලපෑමට ලක්වෙනවා. ක්ෂය රෝගය පිළිබඳවත් සමාජයේ පවතින අදහස එතරම් සුභදායි නැහැ. ක්ෂය රෝගය ඇති අයෙක් ඇසුරු කිරීම, එවැනි රෝගියෙකු සිටින නිවසකින් කෑම බීම ගැනීමට පවා බොහෝ අය බියක් දක්වනවා.ක්ෂය රෝගියෙකු සිටින නිවසකින් ආවාහ විවාහ කටයුතු පවා කරගන්නට කැමැත්තක් නොදක්වන  අය බොහෝයි.මේ කොන් කිරීම  නිසාම ක්ෂය රෝගයට බෙහෙත් ලබා ගන්නට බොහෝදෙනා  මැලිවෙනවා. ඒ වගේම සැඟවුණු ක්ෂය රෝගීන් සමාජයේ සිටිනවා. සමාජයෙන් කොන්වීම කියන කාරණය නිසා මේ ක්ෂය රෝගය වැළදී මිය යන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.අනෙක් රෝග වගේම ක්ෂය රෝගය කෙරෙහි යහපත් ආකල්පයක් සමාජයෙන් ගොඩනැගෙන්නේ නම් ඉතා පහසුවෙන් මේ ක්ෂය රෝගය පාලනය කර ගන්නට පුළුවන්.

ක්ෂය රෝගය සුවපත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග 

  • BCG එන්නත ලබාදීම 

මේ එන්නත කුඩා කාලයේදීම ලබාදෙනු ලබන එන්නතක්. මේ BCG  එන්නත ලබා නොගත් දරුවන්ට ක්ෂය රෝගය වැළදීමේ අවදානමක් පවතිනවා.නමුත් BCG  එන්නත ලබා ගත්තත් ප්‍රතිශක්තිය අඩු නම් මේ රෝගය වැළදෙන්නට හැකියාව පවතිනවා.

  • ඖෂධ සමඟ රෝගීයාගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත්වීම.
  • පිරිසිදු වාතාශ්‍රය හොඳින් ලැබෙන කාමරයක රෝගියා තැබිය යුතුයි.
  • රෝගීයා රැකබලා ගන්නා අය මුඛ ආවරණයක් පැළදීමෙන් රෝගය පැතිරීමත් වළක්වා ගන්නට පුළුවන්.

ක්ෂය රෝගය සඳහා ලබාදෙන ඖෂධ නිසි පරිදි මාත්‍රාවට ගැනීමෙන් වුණත් මේ රෝගය නිට්ටාවටම සුව කරගන්නට හැකියාව පවතිනවා.දිනකට පෙති 11ක් පමණ ගන්නට සිදුවන නිසා බොහෝ රෝගීන් බෙහෙත් ලබා ගැනීම අතරමග නතර කරනවා. එවැනි අවස්ථාවක රෝගීයාට ඉතා දරුණු බලපෑම් ඇති වෙන්නට පුළුවන්.විශේෂයෙන්ම ප්‍රතිකාර නොකළ ක්ෂය රෝගීන් ස්නායුවල ආබාධ, විෂාදය, කාංසාව සහ මානසික ආතතිය වැනි තත්ත්වයන් ඇතිවෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

ක්ෂය රෝගය කියූ සැණින් බියවී ප්‍රතිකාර නොගෙන සිටීමට වඩා මාස 6 ක කාලයක් නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය නිට්ටාවටම සුව කළ හැකි බව ඔබ මතක තබා ගන්න.