ගැහැණු පිරිමි භේදයක් නැතිවම අපි හැමෝම ලස්සනට පිරිසිදුව ඉන්න කැමතියි. හිසකෙස්, මුහුණ, දත් නිය ඇතුළු බොහෝ අංගයන් ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ අලංකරණය ගැන විතරක් හිතලා. ඒත් මේ අංගවල සෞඛ්‍ය තත්ත්වය ගැන අපි හොඳ වැටහීමකින් හිටියොත් අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්නට අපහසු වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා දෑත් සහ දෙපා ගැන මුහුණට දක්වන තරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.
කොහොහොම වුණත් නියපොතු කියලා කියන්නේ අපේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙන බව හඳුනා ගන්නට පවා අපිට උදව්වෙන අංගයක්. ඒ වගේම බහුතරයක් දෙනා නියපොතු ආශ්‍රිත විවිධ රෝගවලින් පීඩා විඳිනවා. ඒ අතරින් නියපොතු දිරායාම කියන්නේ වැඩි දෙනෙක් පීඩාවට පත් කරන ගැටලුවක්. ඒ නිසා අපි අද කතා කරමු නිවසේදීම මේ ගැටළුවට පිළියමක් හොයාගන්නෙ කොහොමද කියලා.
බොහෝ වෙලාවට නියපොතුවල ආසාදන සහ දිරායාම් ඇති වෙන්නේ නියපොතු මත පුස් සහ දිලීර වර්ධනය වීම හේතු කරගෙන. අපේ නියපොතුවල දිලීර සහ පුස් ඇති වෙන්නට විවිධ හේතු බලපානවා.

- කැල්සියම් ඌණතාවය
- නියපොතු අග අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීම
- නේල් රිමූවර් දිනපතා හෝ අධික ලෙස භාවිතය
- ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම
- සබන් වර්ගවලින් නිතර නිතර අත් පා සේදීම
රෝග ලක්ෂණ
- නියමල රතුවීම
- නියමල සම සිනිදු වීම
- නියමල අග සැරව සහිත වීම
- නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම සුදු පැහැ වීම
- දීරීම් ලකුණු දකින්නට ලැබීම
- කොන්වලින් කැඩී යාම
- නියපොතු අවපැහැ වීම
- නියපොත්ත දෙපැත්ත කළුවීම
- අධික වේදනාව
- ඇගිලි තුඩු ඇදුම් කන ස්වභාවය
මේ සඳහා දේශීය පිළියම්
අවශ්‍ය ද්‍රව්‍ය
අමු කහ-කුළුබඩු අතරින් විශේෂ ස්ථානයක් හිමිකර ගන්නා කහ විශබීජ නාශක ගුණයෙන් ඉතාම ඉහළයි. දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදන නිසා ඇතිවන රෝග තත්ත්වයන් සුවපත් කරගන්නට නිරන්තරයෙන්ම මේ අමු කහ භාවිතයට ගන්නේ ඒ නිසාමයි .
උඳුපියලිය-පයට පෑගුනත් ඇසට ගුණ දෙන හරි අපූරු ඔසුවක් තමයි උඳුපියලිය කියන්නේ. මේ උදුපියලිය කැද වශයෙන් වගේම තම්බා පානය කරන්නත් පුළුවන්. මේ උදුපියලිය බඩේ වේදනාව,බඩේ දැවිල්ල, මුත්‍රා රෝග, ඇස් රෝග නසන්නට වගේම දියවැඩියාවට සහ මවුවරුන්ගේ කිරි වර්ධනයටත් ඉතාම ගුණදායක ඔසුවක් . එසේම විවිධ රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීම සඳහා උදුපියළිය යුෂ බාහිර ආලේපනයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි නියපොතු ආසාදන තත්ත්වයන්වලදී, පරණ තුවාල සහ විසර ගෙඩි ආදිය සඳහාත් අපිට මේ ඔසුව භාවිතයට ගන්න පුළුවන්.
දෙහි කොළ -පැඟිරි කුලයට අයත් වන සුවිශේෂී ගුණ රාශියක් තියෙන දෙහිවලින් ආහාරමය වාසි හැරුනහම දෙහි ගෙඩියේ වගේම දෙහි කොළවලත් ඖෂධීය ප්‍රයෝජන රැසක්ම තියෙනවා. විශේෂයෙන්ම දිලීර නිසා ඇතිවන සමේ ගැටලු නිරාකරණය සඳහා දෙහි කොළ භාවිතයට ගන්න පුළුවන්. දෙහි කොළ සෙම්ප්‍රතිශ්‍යාව ඇති අවස්ථාවලදී හුමාලය ඇල්ලීම සඳහාත් භාවිතයට ගන්නවා. හිස්සොරි ගැටළුවෙන් මිදෙන්නටත් උදව් වෙන දෙහි දළු නියපොතුවල දිරාපත්වීම් ආසාදන තත්ත්ව වළක්වා ගන්නටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙහි ශාකයේ පත්‍ර භාවිතා කර සකස් කර ගන්නා තෙල් වර්ග, සුවඳ විලවුන් වර්ග සහ පිරිසිදුකාරක කාරකත් වෙළදපොලේ ඕනෑ තරම්.

සාදාගන්නා ආකාරය මේ සියල්ලම සම ප්‍රමාණයන්ගෙන් ගෙන සිහින්ව අඹරා ගන්න. ඉන්පසු එය රාත්‍රියට රෝගී වී ඇති නියපොත්තේ ආලේප කර බුලත් කොළයකින් හොඳින් වසා රැයක් තිබෙන්නට හරින්න.
පසුදින උදෑසන නියපොතු හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. මෙය දින 21 ක කාලයක් නොකඩවා සිදු කිරීම මගින් සුවපත් කරගන්නට පුළුවන්.
මේ රෝගයෙන් ඔබ පීඩා විඳින කෙනෙක් නම් කිසිම අවස්ථාවක ඒ නියපොත්තේ සබන්, තෙල්, ඉඳුල් ආදිය තැවරෙන්නට ඉඩ හරින්න එපා. ඒ වගේම මේ රෝගී වුණු නියපොත්ත පාදයේ තියෙනවා නම් ඒ රෝගී තත්ත්වය සුව වන තුරු නියපොත්ත නිරෝගී වනතුරු සපත්තු ආදිය පැළඳීමෙන් වැළකීමත් මඩ ආදිය තැවරෙන්නට නොදී ආරක්ෂා කරගන්නත් වගබලා ගන්න.