හිසකෙස් සම්බන්ධ ගැටළු අපි හැමෝටම තියෙනවා. හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් දුර්වල වීම ආදී මෙකී නොකී ගැටලු බොහොමයක් තිබුණත් ඒ ගැටළුවලටත් වඩා ප්‍රබල, දැඩි ලෙස අපිව පීඩාවට පත් කරන ගැටලුවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි උකුණු කරදරය. විශේෂයෙන්ම දරුවන් අතර මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්නට පුළුවන්. දකින අයෙකුට ඉතා අප්‍රසන්න පිළිකුල් හැඟීමක් ඇති කරන්නට සමත් මේ උකුණු කරදරේ නිසා ඔබත් පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ඔබට ඉතා වැදගත් වේවි.
කොතරම් දිගු නීරෝගී වරලසක් තිබුණත් ඒ කොණ්ඩය උකුණන්ට වාසස්ථානයක් වෙලා නම් නිතර හිස කැසීම, හිසේ තුවාල ඇතිවීම, සිරුරට උකුණන් වැටීම ආදිය නිසා ඔබ බොහෝසෙයින් ලැජ්ජාවට හා පීඩාවට පත්වෙනවා. ඒ වගේම දකින අයටත් යම් පිළිකුලක් ඒ නිසා ඇති වෙන්නට පුළුවන්. නමුත් උකුණන් වාසය කරන්නේ රසායනික දේවල් එකතු කළ වෙනස් කළ කොණ්ඩයක නම් නෙවෙයි. උකුණන් වර්ධනය වෙන්නේ බොහෝවිට ඉතා නීරෝගී කෙස් කලබක.

ඉතින් මේ උකුණන් කියන්නේ හිසකෙස් රෝම ආශ්‍රිතව ජීවත් වෙන කුඩා පරපෝෂී ජීවියෙක්. සාමාන්‍යයෙන් උකුණාගේ ආයු කාලය දවස් හතළිහක් විතර වෙනවා. මේ කාලය තුළ එක් සතෙක් බිත්තර 250 ක් පමණ දමනවා. කොහොමවුණත් ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන්ගේ කොණ්ඩවල වගේම වැඩිහිටි තරුණ අයගෙත් හිසකෙස්වල උකුණන් වර්ධනය වෙන්නට පුළුවන්.
උකුණන් ඇති වෙන්නට හේතු කිහිපයක්ම බලපානවා.
අඩු සනීපාරක්ෂාව
හවුලේ භාණ්ඩ භාවිතය
විශේෂයෙන්ම පනාව, කොට්ටය, තුවාය, බෙඩ් ශීට්, කොණ්ඩා කටු හෝ ඇදුම් ආදිය මගින් උකුණන් බෝ වෙන්න පුළුවන්. උකුණන් බෝ වුණොත් එයින් මිදෙන්න හරි අපහසු නිසා නිරන්තරයෙන් අපි උත්සාහ කරන්නට ඕන උකුණන් බෝවීම වළක්වා ගන්නට.
බොහෝදෙනා උකුණන් වඳකර ගන්නට විවිධාකාරයේ රසායනික අඩංගු සැර බෙහෙත් වර්ග හිසේ ගල්වනවා. නමුත් එවැනි දේ ගැල්වීම මගින් උකුණන් ඉවත් වුණත් ඇස්වලට හානිදායක වෙන්නට පුළුවන්. ඒ වගේම හිසකෙස් ගැලවී යාමටත් එය හේතුවක් වෙනවා.විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ හිසට නිතර නිතර මේ රසායනික අඩංගු උකුණු බෙහෙත් ගැල්වීම නිසා දරුවාගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා කෘතීම ආලේපනවලින් තොරව උකුණන් ඉවත් කර ගන්නට ස්වාභාවික ක්‍රමවේද භාවිතා කරන්නට අපට පුළුවන්.
උකුණන්ට අත් බෙහෙත්
- සුදු ලූනු සත්කාරය
සුදු ළූණු බික් 3ක්
ළූණු ගෙඩි භාගයක්
පෙපර්මින්ට් කොළ දහයක්
දෙහි ගෙඩි එකක්
මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගෙන හිසකෙස් වල ආලේප කර පැයක පමණ කාලයක් තබා සෝදා හරින්න.
2.නෙලුම් කොල
නෙළුම් කොළ යුෂ ගෙන එය හිසේ ගල්වා පැය භාගයක් පමණ සිට සෝදා හරින්න.
- අමු නෙල්ලි කොල
අමු නෙල්ලි කොල තම්බා හිසේ ආලේප කර මද් වෙලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න.
4.අත්තික්කා ගෙඩි
අත්තික්කා ගෙඩි සහ කොළ
කුරුඳු පොතු සහ කොළ
කීකිරිඳිය
වැල් පෙනෙල
හාතවාරිය
සැවැන්දරා
කොතල හිඹටු
ගෙඩිපහ කොල
වෙනිවැල්ගැට මුල් සහ දළු
මේ ද්‍රව්‍ය සියල්ල සමාන ප්‍රමාණවලින් ගෙන වියලා කුඩු කර ගන්න. එයට තල තෙල් ඔලිව් තෙල් සහ කහ කොහොඹ තෙල් මිශ්‍රකර හිසේ ආලේප කර පැයකින් පසුව සෝදා හරින්න.
5.ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි ඉතාම සුළු ප්‍රමාණයක් අරගෙන එය උණු වතුරට එකතු කර මිශ්‍ර කරගන්න. ඉන්පසුව නිවුණු පසු හිසේ හොඳින් ආලේප කර පැයක පමණ කාලයක් තබා සෝදා හරින්න.
6.කොහොඹ දළු සහ වෙරලු දළු
සෝදා පිරිසුදු කරගත් කොහොඹ දළු සහ වෙරළු දළු එකට කොටා තලපයක් සේ සාදා හිස්කෙස්වල ආලේප කර විනාඩි විස්සක් තබා සිහින් දැති සහිත පනාවකින් හොඳින් හිස පීරා අනතුරුව හිස සෝදා දමන්න.

7.කොහොඹ ගසේ මල් පිරිසුදු ජලයෙන් අඹරා හිසේ ආලේප කර විනාඩි තිහක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න.
8.කරපිංචා
කරපිංචා ගසේ ගෙඩි ස්වල්පයක් ගෙන ඒවා හොඳින් පොඩිකර හිසේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න.
මේ අත් බෙහෙත් භාවිතා කරන්නට පෙර ආසාත්මිකතා පරීක්ෂණයක් කර ගන්නට කටයුතු කරන්න. එහිදී යම් ආසාත්මිකතාවයක් නැත්නම් පමණක් මේ පිළියම් සිදු කරන්න.
ඒ වගේම
මේ ඖෂධීය බෙහෙත් ගැල්වීමෙන් පසුව මියගිය උකුණන් ඉවත් කිරීම සඳහා කොන්ඩය ෂැම්පු කිරීමෙන් පසු හොඳින් පීරන්න. දින කිහිපයක් හෝ සතියකට පසුව ඒ ක්‍රියාපටිපාටිය නැවත සිදු කරන්න.
පනා, කොණ්ඩා කටු, තුවා, ඇද ඇතිරිලි දිනපතාම උණු වතුරෙන් සෝදන්න.
ස්නානය කරන විට ෂැම්පු ගැල්වූ විට සුදු රෙදි කඩකින් හිස මසාජ් කරමින් උකුණන් ඉවත්කර ගන්න.
උකුණු පනාවක් භාවිතා කරන්න.
ඔබේ දරුවාගේ ඇඳුම් උණුවතුරෙන් සෝදා හරින්නත් අමතක කරන්න එපා.