දියවැඩියාව පාලනය කිරීම සඳහා ජීවන පුරුදු, ආහාර රටාව, ව්‍යායාම සහ ඖෂධ යන සියල්ල ප්‍රවේශමෙන් සමබර කරගත යුතුයි. නමුත් බැලූ බැල්මට හිතකරයි මෙන් පෙනෙන එහෙත් ඔබේ සෞඛ්‍යයට සහ රුධිර සීනි මට්ටම අහිතකර ලෙස බලපාන ආහාර නිසා නිවැරදි පෝෂක හඹා යාම තරමක් අපහසු විය හැකියි. ඒ වගේම දියවැඩියාව නොමැති පුද්ගලයන්ට වඩා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට හෘදයාබාධයක් ඇති වීමෙන් හෝ ජීවිතයට තර්ජනයක් විය හැකි ආඝාත තත්ත්වයකට පත් වීමෙන් මරණයට පත්වීමේ 2-4 ගුණයක් දක්වා වැඩි අවදානමක් තිබෙන බව පැවසෙනවා. මීට අමතරව හෘද රෝග, ස්නායු හානි වීම සහ වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් තිබෙන නිසා දියවැඩියාව පාලනය කර නොගත් පුද්ගලයන්ට එය වඩාත් භයානක විය හැකියි.ඒ නිසා දියවැඩියාව පාලනය කර ගැනීමට ඔබේ රුධිර සීනි මට්ටම ඉක්මනින් ඉහළ දමන පහත සඳහන් ආහාර වර්ග වලින් වළකින්න. නමුත් දියවැඩියාවෙන් පෙළෙන අයෙකුගේ ජීවිතය රසවත් ආහාර වලින් තොර විය යුතු නැහැ. ඒ පිළිබඳව දියවැඩියාව සහ පෝෂණය පිළිබඳ විශේෂඥයකු වන සහ ඒ පිළිබඳව සුප්‍රසිද්ධ පොතක් ලියූ ලෝරි සනීනි අදහස් දක්වන්නේ මේ ආකාරයටයි. ” බොහෝ දියවැඩියා රෝගීන් මගෙන් පළමුව විමසන දෙයක් වන ඔවුන්ට තවමත් ඔවුන්ගේ ප්‍රියතම ආහාරය කෑමට ගත හැකිද යන ප්‍රශ්නයට සෑමවිටම මගේ පිළිතුර වන්නේ “ඔව්!” යන්නයි. එයට හේතුව ආහාරය පිළියෙල කරන ආකාරයට අමතරව වඩාත් වැදගත් වන්නේ ආහාර වේලෙහි ප්‍රමාණය සහ එය ලබා ගන්නා වාර ගණන වීමයි”
කෙසේ නමුත් ඔබේ ආහාර වේලෙහි කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයා හෝ ලියාපදිංචි පෝෂණවේදියකුගෙන් ඒ පිළිබඳව විමසා සිටින්න. ඔබ අවම රුධිර සීනි මට්ටමකින් පෙළෙනවා නම් පහත නිර්දේශ වෙනස් විය හැකියි.
- පලතුරු ස්මූති.පළතුරු ඇඹරීමෙන් සාදාගන්නා අඩු තන්තු ස්මූති වර්ග දියවැඩියාව ඇති පුද්ගලයන් වැළකී සිටිය යුතු මූලික ආහාර වලින් එකක්. ස්මූති වර්ග වල කාබෝහයිඩ්‍රේට සහ සීනි විශාල වශයෙන් අඩංගු වෙනවා. විශේෂයෙන්ම එහි ජීර්ණ වේගය අඩු කිරීමට සහ රුධිර සීනි මට්ටම ඉක්මනින් ඉහළ නොදැමෙන සේ තන්තු වලට සමාන ලෙස ක්‍රියාකරන ප්‍රෝටීන හෝ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු නැත්නම්.
- සුදු පාන්.ඔබට පාන් ආහාරයට ගත හැකි වුණත්, ඒ සුදු පැහැති වර්ගය නම් නොවෙයි. සුදු පැහැති සැන්ඩ්විච් පාන් පරිපූර්ණ ධාන්‍ය නොවන අතර ඒවා සාදන්නේ පිරිපහදු කල ධාන්‍ය වර්ග වලින්. එහි ග්ලයිසිමික් දර්ශකය වැඩි අගයක් ගන්නා නිසා ආහාරයට ගත් විට සෘජුවම රුධිර සීනි මට්ටම ඉහළ දැමීමට දායක වෙනවා. මේ නිසා සුදු පාන් වෙනුවට පරිපූර්ණ ධාන්‍ය වලින් නිපදවූ පාන් (Whole grain bread)තෝරාගන්න.
- සෘජුවම ගින්දරට අල්ලා ග්‍රිල් කරගන්නා මස් (Char-grilled meat)මේ ආකාරයට පුළුස්සා ගන්නා ලද මස් වල, ප්‍රෝටීන හෝ ලිපිඩ රුධිර ධාරාවේදී සීනි වලට නිරාවරණය වීම නිසා තැනෙන හානිකර සංයෝග ( AGEs) වලින් සමන්විතයි. ඒවා නිසා සෛල ප්‍රතිග්‍රාහක වලට හානි වීම සහ ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීම සිදුවිය හැකියි. මේ ආකාරයෙන් මස් පිලිස්සීමේදී සුළු වශයෙන් කර වීම වැළැක්විය නොහැක්‌කක්. නමුත් විශාල ප්‍රදේශයක් කළු පැහැ වී තිබෙනවා නම් ආහාරයට ගැනීමට පෙර ඒ කොටස කපා ඉවත් කරන්න.
- ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඔබ අර්තාපල් ආහාරයට ගැනීමෙන් වැලකිය යුතු නැහැ. නමුත් ඔබ ඒවා පිසින ආකාරය සහ ආහාරයට ගන්නා වාර ගණන ගැන සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් වශයෙන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නොහොත් බැදපු අල පෙති ඔබට සුදුසු වන්නේ නැහැ. ඒවා දියවැඩියාවට අහිතකර සංයෝග වන සරල කාබෝහයිඩ්‍රේට සහ මේද වලින් අනූනයි. ඒවා නිසා ඉක්මනින්ම ඔබේ රුධිර සීනි මට්ටම ඉහළ යන අතර එය බොහෝ වේලාවක් එලෙසම රැඳී පවතින්නේ මේදය ජීර්ණය වීමට වැඩි කාලයක් ගත වෙන නිසයි.
- ෂෝර්ට්නින් (Shortening)ෂෝර්ට්නින් යනුවෙන් අදහස් කරන්නේ කාමර උෂ්ණත්වයේදී ඝන තත්ත්වයේ පවතින, පේස්ට්‍රි ඇතුළු බේකරි නිෂ්පාදන තැනීමට භාවිතා කරනා මේද වර්ග වලටයි. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී බටර් ඝන තත්වයේ පැවතුණත් මෙහිදී ෂෝර්ට්නින් යනුවෙන් බොහෝ විට අදහස් වන්නේ මාජරින් වර්ගයි.දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට හෘද රෝග සහ ආඝාතය ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ නිසා ඒ පිළිබඳව ප්‍රවේශම් වීමට හැකි හොඳම ක්‍රමය වන්නේ සන්තෘප්ත මේද වර්ග වලින් ඈත් වී සිටීමයි. මේ නිසා පාම් තෙල්, මේදය ඉහළ මස් වර්ග සහ කිරි නිෂ්පාදන භාවිතා කළ යුත්තේ මධ්‍යස්ථ වශයෙන්. පැකට් කරන ලද ආහාර වර්ග මිලදී ගැනීමේදී හයිඩ්‍රජනීකෘත තෙල් වර්ග ඇත්දැයි ලේබලය පරීක්ෂා කරන්න. එසේ තිබෙනවා නම් එයින් අදහස් වන්නේ එහි ට්‍රාන්ස් මේදය අඩංගු බව වන අතර (එහි ට්‍රාන්ස් මේද ප්‍රමාණය – 0g බව සඳහන් කර තිබුනත්) මේ නිසා එය මිලදී ගැනීමෙන් වැළකී සිටීමයි වඩාත් සුදුසු.
- ක්‍රීඩා පාන. (Sports drinks)ක්‍රීඩා පාන වර්ග අධි ක්‍රියාශීලී සෞඛ්‍යය සම්පන්න පුද්ගලයන්ට සුදුසු වුණත්, දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක් නම්, ඔහු නිතර ජිම් එකට ගොස් ව්‍යායාම කලත්, ක්‍රීඩා පාන වර්ග වලින් ඈත් වී සිටිය යුතුයි. මේවා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු විශේෂයෙන් වැළකී සිටිය යුතු සෝඩියම්, කැලරි සහ අමතර සීනි වල අනවශ්‍ය ප්‍රභවයක් වන අතර ව්‍යායාම අතරතුරදී විජලනය නොවී සිටීමට සීතල වතුර (වඩාත්ම සුදුසු විකල්පය) හෝ ස්වභාවික,විද්‍යුත් විච්ඡේද්‍යය අඩංගු කරන ලද අඩු කැලරි ක්‍රීඩා පානයක් තෝරාගන්න.
- සෝඩා.සෝඩා වර්ග දියවැඩියාවට නුසුදුසු බව ඔබ දැනටමත් දන්නවා විය හැකි වුණත්, එය ඔබට කොතරම් හානිකරද යන්න පිළිබඳ ඔබ දැනුවත් නැතුව ඇති. සෝඩා පානය කොට පළමු මිනිත්තු 10 ඇතුළත සීනි තේ හැඳි 10ක් පමණ ඔබේ පද්ධතියට ඇතුළු වෙනවා. ඒවා ඉක්මනින් අවශෝෂණය වී ඉන්සියුලින් ස්‍රාවය වීම සඳහා සංඥා කෙරුණත්, එය දියවැඩියාව සහිත පුද්ගලයන්ට ගැටළුවක් වන්නේ ඔවුන් ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වන නිසයි.
- ඩයට් සෝඩා.බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් සෝඩා වර්ග වෙනුවට ඩයට් සෝඩා තෝරාගන්නේ එය වඩාත් සෞඛ්‍ය සම්පන්න බව සිතන නිසයි. නමුත් ඇත්තෙන්ම ඒවා සෞඛ්‍යාරක්ෂිත වන්නේත් නැහැ. පැණිරසකාරක, සීනි වලට වඩා 200-600 ගුණයක් පමණ පැණි රස වන අතර එයින් අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ස්‍රාවය වීමට සංඥා කෙරෙනවා. මේ නිසා ඔබ සෘජුවම සීනි පරිභෝජනය නොකළත් තවමත් ඉන්සියුලින් ස්‍රාවය කිරීම සඳහා අක්‍රමික කායික විද්‍යාත්මක සංඥා නිකුත් කරනවා.
- සිනමන් රෝල්ස්.සීනි අඩංගු ඩෝනට්ස් සහ මෆින් වර්ග ඔබට සුදුසු නැති බව ඔබ දැන සිටියා වියහැකි වුනත් කුරුඳු අඩංගුකොට සාදන මෙම “සිනමන් රෝල්ස්” නම් එම ප්‍රනීත පේස්ට්‍රි වර්ගය ඔබට කෙතරම් අහිතකරදැයි ඔබ නොදන්නවා ඇති. මෙවැනි පේස්ට්‍රි එකක දියවැඩියාව සහිත පුද්ගලයෙකු දිනකට පරිභෝජනය කළ යුතු ප්‍රමාණයටත් වඩා සීනි සහ සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු වෙනවා.
- කෘතිම පැණිරසකාරක.ජනප්‍රිය මතය කෙසේ වුනත්, මෙම ව්‍යාජ පැණිරසකාරක දියවැඩියාව සහිත පුද්ගලයන්ට කිසිසේත් සුදුසු වන්නේ නැහැ. අධ්‍යනයකට අනුව කෘතිමව රස කරන ලද පාන වර්ග දිනපතා පානය කිරීමෙන් පරිවෘත්තීය සින්ඩ්‍රෝම ඇතිවීමේ 36%කින් වැඩි අවදානමක් සහ දෙවන ගනයේ දියවැඩියාව ඇතිවීමේ 67% වැඩි අවදානමක් තිබෙනවා. විශේෂඥයන් විශ්වාස කරන පරිදි එයට හේතුව කෘතිම පැණිරසකාරක, සාමාන්‍ය සීනි වලට වඩා 180-20,000 ගුණයක් පමණ පැණි රසෙන් වැඩි වීමයි. මේවා නිරන්තරයෙන් භාවිතා කිරීම නිසා ඔබේ රසාංකුර වෙනස්කම් වලට භාජනය විය හැකි අතර ඒ නිසා එළවළු සහ පලතුරු ඔබට නීරස, තිත්ත දෙයක් ලෙස දැනීමට පුළුවන්. මේ නිසා නිතැනින්ම ඔබ සෞඛ්‍යය සම්පන්න එළවළු පලතුරු හැර දමා ඒ වෙනුවට වැඩි වැඩියෙන් පැණි රස වලට යොමු වීම සිදුවෙනවා.
- කෘතිම කෙටි කෑම .වරක් වැඩිහිටියන් 3000ක් යොදාගෙන වසර 15ක් තිස්සේ සිදු කළ අධ්‍යයනයකදී සතියකට දෙවතාවකට වඩා කෘතීම කෙටි කෑම ආහාරයට ගත් පුද්ගලයන්, ඒවා ආහාරයට නොගන්නා පුද්ගලයන්ට වඩා දෙගුණයක වේගයෙන් ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීමක් පෙන්වා තිබුණා. පූර්ව දියවැඩියාව සහ දෙවැනි ගණයේ දියවැඩියාව හටගන්නේ මෙලෙස ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීම නිසයි.
- ග්ලූටන් රහිත ආහාර.ග්ලූටන් යනුවෙන් හැඳින්වෙන්නේ තිරිඟු, බාර්ලි, රයි වැනි ධාන්‍ය වර්ග වල හමුවන ප්‍රෝටීනයක්. වර්තමානයේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන බොහෝදෙනා “ග්ලූටන් ෆ්‍රී” නොහොත් ග්ලූටන් රහිත ආහාර ගැනීමට පෙළඹුණත් එය සෑම විටම සෞඛ්‍ය සම්පන්න වන්නේ නැහැ. එයට හේතුව බේකරි කෑම වර්ග වලට ඇදෙනසුලු බව සහ පරිමාව ලබාදෙන්නේ ග්ලූටන් වලින් නිසා ග්ලූටන් රහිත ආහාර ඝනත්වයෙන් වැඩි වීම සහ ඒකක පරිමාවක ඇති කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය වැඩි වීමයි.
- මිශ්‍ර කෝපි පානයන්.චොක්ලට් සෝස්, විප් ක්‍රීම් ආදී අමතර ද්‍රව්‍ය යොදා විශේෂයෙන් සකසන රසවත් කෝපි වර්ග කෙතරම් පොළඹවනසුළු වුණත් දියවැඩියාව ඇති පුද්ගලයකු ඒවායින් ඈත් වී සිටිය යුතුයි. කැෆේ එකකින් මිලදී ගන්නා අයිස් මිශ්‍ර කරන ලද චොක්ලට්-කෝපි පානයක පහසුවෙන්ම සීනි ග්‍රෑම් 44ක් පමණ අඩංගු වන අතර එය සීනි තේ හැඳි 11කට සමානයි. එය සාමාන්‍යයෙන් දිනකට නිර්දේශ කරන සීනි තේ හැඳි 6ට වඩා බෙහෙවින් වැඩි ප්‍රමාණයක්.
- ශක්තිජනක පාන.කැෆේන් 200mgක් පමණ අඩංගු වන සාමාන්‍ය ශක්තිජනක පානයක් මගින් රුධිර ග්ලූකෝස් මට්ටම සහ ඉන්සියුලින් මට්ටම 30%කින් පමණයි ඉහළ යා හැකියි. කෝපි පානය කිරීමෙන් පසු කැෆේන් ඔබේ පද්ධතිය තුල පැය 4-6ක් අතර කාලයක් රැඳී පවතින නිසා රුධිර සීනි මට්ටම නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් නොවීමට හේතුව මේ කැෆේන් උත්තේජකය බව පැවසෙනවා. රුධිර සීනි මට්ටම කෙරෙහි කැෆේන් මගින් සිදුකරන බලපෑමෙහි සැඟවුණු යාන්ත්‍රණය මේ වනතෙක් නිශ්චිතව සොයාගෙන නැහැ.
- වියළි පළතුරු.ස්වභාවික ආහාරයක් වූ පමණින් මෙය ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. සාමාන්‍ය පළතුරු වල ජලය සහ තන්තු අඩංගු වෙනවා. නමුත් ඒවා වියළුණු විට, විශේෂයෙන්ම වියළි මිදි සහ රටඉඳි වල අවුන්ස 1.5ක් වැනි කුඩා ප්‍රමාණයකත්, පිළිවෙලින් කාබෝහයිඩ්‍රේට 34g සහ 74gක් බැගින් අඩංගු වෙනවා.
- දොඩම් යුෂ.විටමින් C වලින් අනූන ස්වභාවික පානයක් වුණත් එය සීනි වලින්ද අනූන වන අතර රුධිර සීනි මට්ටම ඉහළ යාම වැළැක්විය හැකි ප්‍රෝටීන හෝ තන්තු වැනි පෝෂක අඩංගු වන්නේද නැහැ. සාමාන්‍ය දොඩම් යුෂ වීදුරුවක සීනි ග්‍රෑම් 36 ක් පමණ අඩංගු වන අතර එය පැණිරස ඩෝනට් 4කින් ලැබෙන සීනි ප්‍රමාණයට සමානයි. දොඩම් යුෂ වල පැණි රසින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ උදරයේ මේදය තැන්පත් වීමට හේතු වෙන සීනි වර්ගයක් වන ෆ්රක්ටෝස් වලින්.
- මෆින්.වාණිජව නිපදවන සාමාන්‍ය මෆින් එකක පාන් පෙති පහක අඩංගු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයට සමාන කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් අඩංගු වෙනවා. මීට අමතරව මෆින් එකක කැලරි 520ක් සහ දිනකට ලබාගත යුතු මේද ප්‍රමාණයෙන් 1/3ක් පමණ තරම් වන අති විශාල කැලරි හා මේද ප්‍රමාණයක්ද අඩංගු වෙනවා. මෙවැනි ආහාර සමග “දැන් භාගයක් ආහාරයට ගෙන ඉතිරිය පසුව කෑමට තබා ගන්නවා” වැනි බලාපොරොත්තු ප්‍රායෝගික නොවන්නේ කාබෝහයිඩ්‍රේට, මේද සහ සීනි වලින් අනූන ආහාර අතිශයින් ඇබ්බැහි වන සුලු වීම නිසයි.
- සීරියල් බාර්.ධාන්‍ය වර්ග භාවිතා කොට සාදන මෙවැනි සීරියල් බාර් වර්ග ඇතැම් පුද්ගලයන්ගේ “හදිසි උදේ ආහාරය” බවට පත් වුණත් ඔබ දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක් නම් එවැනි උදේ ආහාරයක් ලබා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුයි. මේවා බොහෝවිට සමන්විත වන්නේ පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට වලින් වන අතර ධාන්‍ය වර්ග එකට අලවා රඳවා තබා ගැනීම සඳහා සීනි සහ පැණි රස සිරප් වර්ග බොහෝමයක් යොදාගන්නවා. සාමාන්‍ය සීරියල් බාර් එකකින් කාබෝහයිඩ්‍රේට 30ක් පමණ ලබා ගත හැකි අතර එයින් 16gක් පමණ සෘජුවම සීනිය. එහි තන්තු අඩංගු වන්නේ 1g එකක් වැනි සුළු ප්‍රමාණයක් නිසා ආහාරයට ගත් විට රුධිර සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහළ නැගීම වැළැක්විය නොහැක්කක්.
- රස කරන ලද යෝගට්.වෙළඳපොළේ ඇති පලතුරු රසැති යෝගට් වල බොහෝවිට සත්‍ය පළතුරු අඩංගු වන්නේ ඉතාම සුළුවෙන් වන අතර ඒ වෙනුවට සීනි බොහෝ ප්‍රමාණයක් යොදාගෙන රස ගැන්වීම සිදු කරනවා. පලතුරු රස යෝගට් වලට අමතරව ඇතැම් වෙළෙඳ නාමයන් වල වැනිලා යෝගට් වල පවා කාබෝහයිඩ්‍රේට 31gක් පමණ අඩංගු වන අතර එයින් 28g පමණ සීනිය. නමුත් එම විශාල සීනි ප්‍රමාණය සමග සමබර වීමට ඇත්තේ මේද 2.5g ක් සහ ප්‍රෝටීන 7gක් පමණි.
- අල පෙති.අල පෙති වඩාත්ම ඇබ්බැහිවනසුලු කෙටි කෑම වලින් එකක් බවට පත් වීමට හේතුව, ඒවා සාදා ගන්නේ අර්තාපල් හොඳින් අඹරා, මේද වල පොඟවා, හොඳින් ලුණු යොදා ඇති නිසයි. රුධිරයේ සීනි මට්ටම වහාම ඉහළ දැමිය හැකි ලෙස කාබෝහයිඩ්‍රේට සහ මේද විශාල ප්‍රමාණයක් එකවර මුදාහරින බෝම්බයක් වැනි නිසා අල පෙති දියවැඩියාව ඇති පුද්ගලයන්ට අතිශයින්ම අහිතකරයි.
- පෑන් කේක්.පෑන්කේක් උදේ ආහාරයක් වශයෙන් ඇති සුප්‍රසිද්ධ විකල්පයක් වුනත් එහි පෝෂක අඩංගු වන්නේ ඉතාමත් අඩුවෙන්. පෝෂ්‍යදායි උදේ ආහාරයකට වඩා එය පේස්ට්‍රි එකකට සමාන වන අතර පෑන්කේක් බොහෝවිට ආහාරයට ගන්නෙත් සීනි වලින් අනූන සිරප් වර්ග සහ සංතෘප්ත මේදය අඩංගු බටර් වර්ග සමගයි. සංතෘප්ත මේදය සහ සීනි යන දෙකෙහි එකතුව, රුධිරයේ වැඩි වූ සීනි මට්ටම බොහෝ වේලාවක් පැවතීමට හේතු වෙනවා.
- මේද රහිත ෆ්‍රෝසන් යෝගට්.මේද රහිත නිසා බොහෝවිට ෆ්‍රෝසන් යෝගට් (Frozen yoghurt) අයිස්ක්‍රීම් සඳහා වන සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස සැලකුනත්, මේදය ඉවත් කර ඇති නිසා රසය සඳහා වැඩිපුර සීනි එකතු කිරීම සිදුවෙනවා. මෙය රුධිර සීනි මට්ටම ඉක්මනින් ඉහළ යාම සඳහා හේතුවක්. මීට අමතරව වෙළඳසැල් වලින් මිලට ගන්නා ෆ්‍රෝසන් යෝගට් වර්ග බොහෝවිට ලබා දෙන්නේ අධික ලෙස සීනි අඩංගු විවිධාකාරයේ රසවත් ටොපින් වර්ග සමග නිසා එය වඩාත් අහිතකරයි.
- මේද රහිත කිරි (Skim milk)සියළුම මේදය ඉවත් කර ඇති නිසා බොහෝ දෙනෙක් ස්කිම් මිල්ක් වඩාත් සුදුසු යැයි සිතනවා. නමුත් සම්පූර්ණයෙන්ම මේදය ඉවත් කර ඇති විට එය මූලික වශයෙන් කාබෝහයිඩ්‍රේට පානයක් බවට පත් වෙනවා. මේ නිසා රාත්‍රී කාලයේ පානය කරන මෙවැනි කිරි වීදුරුවක් නිසා උදෑසන වන විට රුධිර සීනි මට්ටම ඉහළ ගොස් තිබෙන්නට පුළුවන්.
- එළවළු තෙල්.අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකෘත තෙල් වර්ග ට්‍රාන්ස් මේදයෙහි ප්‍රභවයන් වෙනවා. මේ නිසා පාම් තෙල් සහ සෝයාබෝංචි තෙල් වැනි අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකෘත තෙල් වර්ග පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වෙනුවට පොල්තෙල්, සුපිරිසිදු ඔලිව් තෙල්, අලිපේර තෙල් හෝ ග්‍රේප්සීඩ් තෙල් ආහාර පිසීම සඳහා වඩාත් සුදුසුයි.
- පලතුරු ස්නැක්ස්.කුඩා පලතුරු ජෙලි කැබලි වැනි ස්නැක්ස් වර්ග වල ‘පලතුරු’ යන වචනය තිබූ පමණින් රැවටෙන්නට එපා. ඒවායේ සීනි බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඇතැම් අවස්ථා වලදී සැබෑ පළතුරු සාරයන්ගෙන් නිපදවා තිබුනත් ඒවා ආහාරයට ගැනීමෙන් පසු රුධිර සීනි මට්ටම ඉක්මනින් ඉහළ යා හැකියි. මේ නිසා එවැනි කෘතීම ස්නැක්ස් වර්ග වෙනුවට සීනි අඩුවෙන් අඩංගු බ්ලූබෙරි රාස්බෙරි හෝ ඇපල් වැනි පලතුරක් ආහාරයට ගන්න.
- බිස්කට්.බටර් අඩංගුව බිස්කට් වර්ග සෘජුවම කාබෝහයිඩ්‍රේට වන අතර වෙළඳපොළෙන් මිලදී ගන්නා වාණිජ බිස්කට් වර්ග වල ඊට අමතරව බොහෝ අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙනවා. නිවසේදී සාදා ගන්නා බිස්කට් වල පවා අඩංගු වන්නේ පිටි සහ සංතෘප්ත මේද විශාල ප්‍රමාණයක් නිසා සිරුරේ සහ මොළයේ ප්‍රධාහකාරී තත්ව (Inflammation) ඇතිවිය හැකියි. දියවැඩියාවට අමතරව, ප්‍රධාහකාරී තත්ව ස්ථුලතාවය සහ පිළිකාව වැනි සංකූලතා සමගත් සම්බන්ධ විය හැකියි.
- මැක් ඇන්ඩ් චීස්.මැකරෝනි සහ චීස් සාමාන්‍යයෙන් සාදාගන්නේ සුදු පිටි සහ බොහෝ පිරිපහදු කරන ලද නූඩ්ල්ස් වර්ග, ඉහළ මේද ප්‍රමාණයක් අඩංගු කිරි සහ චීස් සමග මිශ්‍ර කිරීමෙනුයි. මෙම පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට සහ සංතෘප්ත මේද තොගය මොළයේ සහ සිරුරේ ප්‍රධාහකාරී තත්ත්වයන්ට හේතු විය හැකි අතර එහි ග්ලයිසිමික් දර්ශකයද ඉහළ අගයක් ගන්නවා.
- රස කරන ලද ක්ෂණික ඕට්ස්.දියවැඩියාවට එරෙහිව හිතකර බලපෑමක් ඇති බීටා ග්ලූකන් නම් තන්තු වර්ගය අඩංගු වන නිසා කිසිවක් එක් නොකරන ලද සාමාන්‍ය ඕට්ස් දියවැඩියාවට ඉතාමත් සුදුසු ආහාරයක් වුවත් සීනි සහ විවිධ රසකාරක යොදා සාදන, කුඩු කර ඇති ක්ෂණික ඕට්ස් වර්ග ඉක්මනින්ම අවශෝෂණය වී රුධිර සීනි මට්ටම ඉහළ යාමට හේතුවක් වෙනවා.
- ක්ෂණික නූඩ්ල්ස්.පැකට් කරන ලද විවිධ ක්ෂණික නූඩ්ල්ස් වර්ග සම්පූර්ණයෙන්ම පාහේ පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට වන අතර එවැනි පැකට්ටුවක දිනකට ලබාගත යුතු මුළු සෝඩියම් ප්‍රමාණයම අන්තර්ගත වීම නිසා ඒවාද රුධිර සීනි මට්ටම ඉහළ දැමීමට හේතු විය හැකියි.
- ග්‍රිල් කරන ලද චීස්.ග්‍රිල් කරන ලද මේදමය චීස් බොහෝ විට ආහාරයට ගන්නේ පිරිපහදු කරන ලද සුදු පාන් සමගයි. මැකරෝනි සහ චීස් වල ආකාරයටම, ග්‍රිල් කරන ලද චීස් වලත් පිරිපහදු කරන ලද පිටි සහ සන්තෘප්ත මේදයට අමතරව යමක් නැහැ. එමනිසා මේවාද සිරුරේ ප්‍රධාහකාරී තත්ව සහ රුධිර සීනි මට්ටම ඉහළ යාමට හේතුවක් විය හැකියි.
- ජෑම් සහ ජෙලි.ජෑම් යනු පාන් හෝ ක්‍රැකර් වැනි පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේටයක් මත තවරන සීනි වර්ගයක් පමණයි. මෙහි බොහෝ විට වෙනත් පෝෂක අඩංගු නොවන නිසා ජෑම් ආහාරයට ගැනීමේදී සිදුවන්නේ දැනටමත් සීනි අඩංගු ආහාරයකට තවත් සීනි එකතු කොට ආහාරයට ගැනීම පමණයි.
- මී පැණි.සම්පූර්ණයෙන්ම ස්වභාවික වූ පමණින් මී පැණි දියවැඩියාව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවන්නේ එහි අඩංගු වන්නේත් ෆ්රක්ටෝස් සීනි වීම නිසයි. මී පැණි ආහාරයට ගත් පසුත් සාමාන්‍ය සීනි ආකාරයටම රුධිර සීනි මට්ටම ඉහළ යාමට හේතු වන අතර ඉන්පසු සාමාන්‍යයෙන් සිදුවන පරිදි අක්මාවේදී බිඳ හෙලීම සිදු වෙනවා.
- රස කරන ලද සීරියල් වර්ග.සීරියල් වර්ග සෞඛ්‍ය සම්පන්න උදේ ආහාරයක් ලෙස සැලකුනත් දියවැඩියාව සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් එය සෑම විටම සත්‍ය වන්නේ නැහැ. ඒවායේ වැඩි ප්‍රමාණයක් අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට වන අතර පරිපූර්ණ උදේ ආහාරයක අඩංගු විය යුතු පරිදි තන්තු හෝ ප්‍රෝටීන එතරම් අඩංගු වන්නේ නැහැ. මීට අමතරව රස කරන ලද සීරියල් වර්ග වල ඔබ සිතනවාට වඩා බොහෝ සීනි අඩංගු විය හැකියි. මේ නිසා ඒවා වෙනුවට බිත්තර, එළවළු හෝ අලිපේර වැනි වඩාත් පෝෂණීය උදේ ආහාරයක් වෙත යොමු වන්න.
- චොක්ලට් කිරි.ව්‍යායාම කිරීමෙන් පසු යථා තත්ත්වයට පත්වීමට රසවත් හා සෞඛ්‍යය සම්පන්න විකල්පයක් ලෙස චොකලට් කිරි හැඳින්විය හැකි වුණත් එය දියවැඩියාවට එතරම් හිතකර වන්නේ නැහැ. චොක්ලට් කිරි වල, සාමාන්‍ය කිරි වල අඩංගු කාබෝහයිඩ්‍රේටය වන ලැක්ටෝස් අඩංගු වන අතර චොක්ලට් මිශ්‍රණයෙන් එකතු කෙරෙන සීනිද අඩංගු වන නිසා රුධිර සීනි මට්ටම ඉහළ යා හැකියි.
- පොප්කෝර්න්.පොප්කෝර්න් ඉතා සරල ආහාරයක් ලෙස සිතුනත් ඒවා සාදා ගන්නේ ඉහළ ග්ලයිසිමික් අගයක් සහිත ඉරිඟු වලින් වීම සහ ඉන්පසු පොප්කෝන් රසගැන්වීමට බටර් හා කැරමල් වැනි අහිතකර අතිරේක ද්‍රව්‍ය එකතු කිරීම නිසා දියවැඩියාව ඇති පුද්ගලයෙකුට පොප්කෝර්න් හිතකර වන්නේ නැහැ.
- අයිස්ක්‍රීම්.සීනි හැරුණකොට අයිස්ක්‍රීම් සමන්විත වන්නේ ධමනි අවහිර වීමට හේතුවන සංතෘප්ත මේද වලිනුයි. සැළකිල්ලකින් තොරව ආහාර ගන්නා පුද්ගලයන්ට අයිස්ක්‍රීම් කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. එයට හේතුව අයිස්ක්‍රීම් මගින් මොලයේ තෘප්තිය දනවන ප්‍රදේශ උත්තේජනය කර, ඔබව තව තවත් ඒවා ආහාරයට ගැනීමට පොළඹවන නිසා ඔබ නොදැනුවත්වම සම්පූර්ණ අයිස්ක්‍රීම් කන්ටේනරයක් වුණත් ආහාරයට ගැනීමට පහසුවෙන් යොමු වීමට ඉඩ ඇති නිසයි.