අවලස්සන ලෙස ඉදිරියට නෙරා ඇති බඩ අඩුකරගන්න ඇතැම් අය නොකරන දෙයක් නැහැ. මේද තැන්පත්වීමෙන් බඩ නෙරා ඒම සහ සිරුරේ බර වැඩිකම (අධිබර හා ස්ථූලතාව) පුද්ගලයා කනස්සල්ලට පත්කරවයි. ආහාර පාලනය හා ව්‍යායාම හරහා හොඳ ප්‍රතිඵල අපට අත්කරගත හැකි බව ඔබ හොඳින්ම දන්නා දෙයක්. කෙසේවෙතත් ඊට අඛණ්ඩ බව හා කැපවීම ඉතා වැදගත් වෙනවා.බර අඩුකරගන්න මේ ක්‍රම උත්සහ කරන අතරේ ඊට ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදෙන රසවත් ඖෂධීය පානයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.ඒ තමයි ඉඟුරු වතුර (ginger water). ඉඟුරු වල සිරුරට ගුණදායි ජින්ජරෝල් වැනි පෝෂක බහුලයි.විශේෂයෙන්ම නොයෙකුත් ලෙඩ රෝග වලින් සිරුර ආරක්ෂා කරන ඖෂධීය ගුණ බහුලයි.

සිරුරේ මේද තැන්පත් වීම, ස්ථූලතාව හා ප්‍රදාහය අතට කැපී පෙනෙන සම්බන්ධයක් පවතියි. ඉඟුරු වල ප්‍රබල ප්‍රතිප්‍රදාහක ගුණ අඩංගුයි.එම නිසා සිරුරේ ඔක්සිකාරක ආතතිය හා හානිවීම් ඇතිවීමෙන් වළකයි.ඉඟුරු සිරුරේ නරක කොලෙස්ටරෝල් හා අඩු ට්‍රයිග්ලිසරයිඩ වැනි අතිරික්ත ලිපිඩ මට්ටම් අඩුකරයි.අනවශ්‍ය මේද දහනය කරයි.කොලෙස්ටරෝල් මට්ටම අඩු කරමින් ධමනි තුළ මේදමය ද්‍රව්‍ය බැඳී ඒවා අවහිර වීම ද පාලනය කරයි. ඒ අනුව ඉඟුරු හෘද සෞඛ්‍යය වඩවන ඔසුවක් ලෙස ද හැඳින්වීමට හැකියි. රුධිර සංසරණය ක්‍රමවත් කර නාළ අවහිර වීම් , ඒ හේතුවෙන් හෘදයාබාධ, ආඝාත වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම් පාලානය කරයි. එමෙන්ම ඉඟුරු මඟින් රුධිර සීනි මට්ටම් නිසි ලෙස නියාමනය වීමට සහය ලබාදෙයි.මද්‍යසාර හේතුවෙන් නොවන ෆැටි ලිවර් (අක්මාවේ මේද තැන්පත්වීමේ) රෝගයේ බරපතල අතුරුබලපෑම් හටගැනීම පාලනය කරයි.
සිරුරේ මේද තැන්පත්වීමට ආතතිය ප්‍රබල හේතුවකි. ආතතිය ඉහළ යන විට සිරුරේ කෝර්ටිසෝල් මට්ටම් ඉහළ යයි. මෙම හෝර්මෝන අධික වීමෙන් සිරුරේ ඉණ ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත්වීමට පටන්ගත හැකි බව අධ්‍යයන හරහා පෙන්වාදි තිබෙයි.ඉඟුරු වල ඇති ගුණ මඟින් සිරුරේ එම කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම් අනවශ්‍ය ලෙස ඉහළ යාම් වළකයි.ඒ හරහා මේද දහනය වීම හා බර අඩුවීමට ඇතිවන බාධා අවම කෙරෙයි.ඉඟුරු මඟින් ආහාර ජීර්ණය ද වැඩිදියුණු කරයි. ආමාශය හිස්වීම පහසු කරයි. අජීර්ණය, බඩේ කැක්කුම්, උගුරට ඒම (අම්ල ප්‍රතිවාහ) වැනි ගැටලු අවදානම් බොහෝදුරට වළකයි.ඉඟුරු සිරුරේ පරිවෘත්තිය වේගය එනම් ආහාර පාන ශක්තිය ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරවයි. මේ හරහා සිරුරේ වැඩි මේද හා කැලරි ප්‍රමාණයක් දහනය කරගැනීමට ඔබට හැකියාව ලැබෙයි.
ඉඟුරු වතුර පිළියෙල කරගන්නේ කෙසේද?
මේ සඳහා මෙම අමුද්‍රව්‍ය සූදානම් කරගන්න:
- වතුර කෝප්ප 3-4ක්
- අඟල් 2ක පමණ ඉඟුරු කැබැල්ලක්.

ක්‍රමය:බඳුනක් ලිප තබා එයට වතුර කෝප්ප 3-4ක් එක්කර හොඳින් උණු කරගන්න. වතුර නටන විට ඊට ගාගත් (ග්‍රේට් කරගත්) ඉඟුරු ටික එක්කරන්න.පියනකින් වසා ලිප නිවන්න.මිනිත්තු 5ක් පමණ මද රස්නෙන් මෙය තැම්බෙන්නට හරින්න.පසුව, ඉඟුරු වතුර ටික උණුවතුර බෝතලයකට පෙරාගන්න.ඔබට මෙය උණුසුම්ව හෝ සිසිල් කර පානය කළ හැකියි. එය ඔබේ ප්‍රියතාව අනුව තෝරාගන්න. අවශ්‍ය නම් මෙහි රසය මෙන්ම ගුණය තවත් වැඩිකරගැනීමට ස්වභාවික පිරිසිදු මී පැණි හෝ නැවුම් ලෙමන් හෝ දෙහි යුෂ වලින් මේස හැඳි 1-2ක් පමණ එක්කරගන්න.
උදෑසන අවදි වූ පසු හිස්බඩ මෙම ඉඟුරු වතුර කෝප්පයක් පානය කරන්න. උදෑසන හිස්බඩ පානය කරන විට උණුසුම් වශයෙන් එය පානය කිරීමට හැකිනම් එය වඩාත් යෝග්‍ය වේවි.මෙය දිනපතා කිරීම ඔබේ ශරීර සෞඛ්‍ය වැඩිදියුණු කරනු ඇත.පරිවෘත්තිය වේගවත් වී සිරුරේ මේද දහනය වීම ද වේගවත් වේ.තවත් ක්‍රමයක් ලෙස සෑම ආහාර වේලකටම මිනිත්තු 15-20කට පෙර උණුසුම් ඉඟුරු වතුර කෝප්පයක් පානය කිරීමට හුරුවන්න. මින් ප්‍රමාණය ඉක්මවා ආහාර පාන ගැනීම වළක්වාගත හැකියි. එනම් අනවශ්‍ය ලෙස කැලරි ශරීරගත වීම පාලනය වෙයි. මෙම පානය බර වගේම බඩ අඩුකරගන්න උත්සහ කරන ඔබට බොහෝ හොඳින් ප්‍රතිලාභ දෙනු ඇත.