සිරුරේ බර වැඩි කරන අනවශ්‍ය මේදය ඉතා ඉක්මණින් දහනය කරන ආහාර 12 ක්

health tips

බොහෝ ලෙඩවල් ඇතිවෙන්නත් සුව වෙන්නත් යන කාරණා දෙකටම වැඩි වශයෙන් බලපාන්නේ  අපි ගන්නා ආහාර පාන. නමුත් අපි ගන්නා ආහාර තෝරා බේරාගෙන ඖෂධයක් වගේ අරගත්තොත් නම් ආහාර වගේ ඖෂධ ලබා ගන්නට අපිට සිද්ධ වෙන්නේ නැහැ .නමුත් අද අපි දිව පිනවන කනට මිහිරි ඇසට ප්‍රිය ආහාර ලබා ගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒවා අපේ සෞඛ්‍ය සම්පන්න බවට එය කොතරම් හිතකරද යන කාරණාව ගැන විමසිලිමත් වීමක් නැහැ නේ.

 මේ නිසාම ශරීර සෞඛ්‍යයට වඩාත් බලපෑම් කළ හැකි නොයෙකුත් රෝග තත්ත්වයන් අපිට වැළඳෙනවා. බොහෝමයක් රෝගවලට හේතුවක් වෙන ශරීරයේ මේද තැන්පත් වීම කියලා කියන්නෙත් අපේ මේ වැරදි ආහාර පාන රටාව හේතු කරගෙන ඇතිවන අහිතකර තත්ත්වයක්. 

කාන්තාවන්ට වගේම පුරුෂ පාර්ශවයටත් ශරීරයේ මේද තැන්පත් වීම හේතු කරගෙන විවිධ රෝග රෝගාබාධ ඇති වෙනවා.ඒ වගේම තමයි ඔබේ පෙනුම අවලස්සන කරන කැත බඩ ඇති වෙන්නත් මෙය බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් නිරෝගීව ජිවත් වෙන්නට නම් කාන්තාවක් දෛනිකව ලබාගත යුතු කැලරි ප්‍රමාණය වෙන්නේ කැලරි 2000 ක් පමණයි. නිරෝගී පුරුෂයෙක් සඳහා දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය 2500 ක්. 

මේ අගයන්වලට වඩා වැඩිපුර ආහාර අනුභව කිරීමේදී වැඩි කැලරි ප්‍රමාණයක් මේදය වශයෙන් අපේ ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වෙනවා. මෙය හේතු කරගෙන අපේ ශරීරය තරබාරුවට පත්වෙනවා. ඉතින් වාසනාවට මේ අපේ ශරීරයේ එකතු වන මේදය පහසුවෙන් දියකර හරින්නට හැකියාව තියෙන ආහාර වර්ග ඕනෑ තරම් තියෙනවා. ඒවා අනුභව කිරීම මගින් මේ ගැටළුවට අපිට ස්වභාවිකව පිළියම් ලබා ගන්නට පුළුවන්.

ආහාර අනුභව කිරීමේ දී ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලින් වේගවත් වීම හේතුකරගෙන ශරීරයේ මේද දහනය වීමත් වේගවත් වෙනවා. ඉතින් අපේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්නට ගත යුතු ආහාර රැසක්ම තියෙනවා. ඉතින් අද අපි ඔයාට කියන්නේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර සිහින් හැඩැති සිරුරක් ලබා ගන්නට උපකාරී වෙන ආහාර වර්ග කිහිපයක් පිළිබඳව.

බතල ගොඩක් දෙනෙක් මහත් වෙයි කියලා කන්නට බියක් දක්වන බතල පිෂ්ඨය බහුල ආහාරයක් වුණාට එහි අඩංගු වෙන්නේ ප්‍රතිරෝධී පිෂ්ඨය. ඒ කියන්නේ මේද දහනය වැඩි කරන පිෂ්ඨය. ඉතින් ඒ නිසා බතල කියන්නේ අපේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනයට උදව් කරන ශරීරය තරබාරු වීම පාලනය කරන සුවිශේෂී ආහාරයක්. බතල ආහාර වේලකට එකතු කර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු කුසගිනි ඇති වෙන්නෙත් නැහැ.

බෝංචි  ප්‍රෝටීන් සහ තන්තු බහුලවම අඩංගු වෙන බෝංචි දෙවන ගණයේ දියවැඩියාව ඇතිවීම පාලනයටත්, දියවැඩියාව නිසා ඇතිවන හදවත් රෝගවලින් ආරක්ෂාව සලසා ගන්නත් අපිට උදව් කරනවා. ඒ වගේම මේවායේ ප්‍රතිරෝධී පිෂ්ඨයත්  ස්වල්ප වශයෙන් අඩංගු වෙනවා. ඉතින් මේ බෝංචිවල අඩංගු වෙන පෝෂ්‍ය පදාර්ථ හේතු කරගෙන අපිට තරබාරු බවින් මිදෙන්නට හැකියාව තියෙනවා.

අබ නිරන්තරයෙන්ම භාවිතයට ගන්නා කුළු බඩුවක් වෙන අබ අපේ ශරීරයේ මේද දහන ක්‍රියාවලිය වේගවත් කරන්නට උපකාර වෙන බව නම් ඔයා පිළිගන්න එකකුත් නැහැ. නමුත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙන්නේ අබ මගින් අපේ ශරීරයේ ඇති මේදය  දහනය කිරීමේ වේගය  20% කින් වැඩි කරන්නට හැකියාව ඇති බවයි. අබ වල කැලරි අඩංගු වෙන්නේ නැති නිසා කිසිම බයක් නැතුව ඔයාට ආහාරයට එකතු කර ගන්නටත්  පුළුවන්.

කුරුඳු ලාංකේය අපේ ආහාරවලට අපූරු රසයක්, සුවඳක් වගේම ගුණයක් එකතු කරන්නට නිතර භාවිතා කරන කුළුබඩුවක් තමයි කුරුඳු. ආහාර රසවත් කිරීම හැරුණාම ශරීරයේ අනවශ්‍ය මේදය තාපය විදිහට බැහැර කරන්නට සුවිශේෂී හැකියාවකුත් මේ කුරුඳු සතු වෙනවා. ඉතින් ඒ නිසා නිතර ආහාර වේලට කුරුඳු  එකතු කරගන්න පුලුවන් වගේම කුරුඳු තේ පානයත් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ගන්නට ඔබට භාවිතා කරන්නට පුළුවන්.

ඔලිව් තෙල් අපිට භාවිතා කරන්නට හැකියාව කියන තෙල් වර්ග අතුරින් වඩාත් සෞඛ්‍ය සම්පන්න හිතකර තෙල් වර්ගයක් විදිහට ඔලිව් තෙල් සඳහන් කරන්නට පුළුවන්. ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කර අපේ ශරීරයේ  හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නට ඔලිව් තෙල්වලට විශේෂ හැකියාවක් තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි ශරීරයේ බර අඩුකර ගන්නට උපකාරී වෙන GLP 1 හෝමෝන වර්ගයක් ඔලිව් තෙල් මගින් උත්තේජනය වීම සිදුවෙනවා. මේ හෝමෝනය මගින් ආහාර ගැනීමෙන් පසු නැවත කුස  පිරුණු ස්වභාවයක් බොහෝ වේලාවක් යන තුරු රඳවා තබා ගන්නා අතර ඔලිව් තෙල් අපේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩි දියුණු කරන නිසා අපේ ශරීරයේ එකතු වෙලා තියෙන අනවශ්‍ය මේදය ඉතා පහසුවෙන් දියකිරීමේ  ක්‍රියාවලියත් වේගවත්  කරනවා. 

නිවිති දෛනිකව නිවිති කෝප්ප තුනක් පමණ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන් නම් ශරීරයේ බර සියයට 10 කින් පමණ අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි නිවිතිවල අඩංගු වන ලිපොයික් අම්ලයට හැකියාව තියෙනවා රුධිරයට එකතු වන සීනි ප්‍රමාණය අඩු කරන්න. ඒ නිසා නිවිති  රුධිර සීනි මට්ටම හොඳින් පවත්වාගෙන යන්නටත් හරිම වැදගත්. 

ඇපල් සහ පෙයාස් ශරීරයේ බර අඩු කරගන්නට වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීම ඇතුළු ප්‍රතිලාභ බොහොමයක්ම ඇපල් වගේම පෙයාස් ආහාරයට එකතු කර ගැනීමෙන් අපට ලබාගන්නට පුළුවන්. නමුත් ලාංකීය අපිට මිල මුදල් ගැටලු සහ මේවායේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විශ්වාසයක් නැති නිසාම මෙවැනි ආහාර අපිට ආහාරයට එකතු කර ගැනීමේ දීතරමක බියක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ශරීර බර අඩු කරන විශේෂ හැකියාවක් තියෙන මේ පලතුරු ආහාරයට ගන්නවා නම් රසායන ද්‍රව්‍ය එකතු නොකරන ලද ස්වාභාවික පලතුරු ලෙස ආහාරයට ගන්න උත්සාහ කරන්න. 

අලිගැට පේර වැඩි දෙනෙක් ආහාරයට ගන්නට කැමැත්තක් දක්වන පෝෂණයෙන් ඉහළ පලතුරක් තමයි අලිගැටපේර. විටමින් a, විටමින් k, විටමින් c,  පොටැසියම් බහුලවම අඩංගු වෙන අලිගැට පේරවල මැග්නීසියම්,මැංගනීස් රයිබොප්ලෙවින්  නියසින් වගේම ප්‍රතිඔක්සිකාරකත් බහුලවම අඩංගු වෙනවා. අලිගැට පේරවල අඩංගු වෙන හිතකර මේදය අපේ ශරීරයට ලබා දෙන්නේ හිතකර ප්‍රතිලාභ. ශරීර බර පාලනය කරන්නට, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට සහ රුධිරයේ  සීනි මට්ටම යහපත්ව පවත්වා ගෙන යන්නටත් අලිගැට පේර අපිට උදව් වෙනවා. ඒ වගේම මෙය  ආහාර සෙමෙන් ජීර්ණය කරන්නටත් නිතර කුසගිනි ඇතිවීම පාලනය කරන්නටත් උදව් වෙනවා.  

පැඟිරි කුලයේ පළතුරු ඉතා පහසුවෙන් අවට පරිසරයෙන් සොයාගන්නට හැකි දෙහි, දොඩම්, නාරං වගේ පැඟිරි කුලයට අයත් පලතුරු මේදය දහනය කර හැඩැති සිරුරක් ලබාගන්න අපිට උපකාරී වෙනවා. මේවායේ අඩංගු වෙන ද්‍රාව්‍යමය තන්තු උදව් වෙනවා. ඉතින් ඒ නිසා දිනපතාම දෙහි දොඩම් නාරං ආදිය ආහාරයට එකතු කරගන්නට පුළුවන් නම් එය දේහයේ අනවශ්‍ය මේදය දහනය කරගන්නට වගේම ශරීරය නිරෝගිව තියා ගන්නටත්  උපකාරී වෙනවා.

බිත්තර අඩු මිලකට ශරීරයට වැඩි පෝෂණයක් ලබා ගන්නට තියෙන හොඳම ආහාරය  තමයි බිත්තර . මේවායේ අඩංගු වෙන ඉහළ ප්‍රෝටීන් සංයුතිය ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදය  දියකර හරින්නට උපකාරී වෙනවා. උදෑසන ආහාර වේලට ප්‍රෝටීන් ග්‍රෑම් 25 ක් ලබා ගන්නට පුළුවන් නම් එයින්  අපේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සිදුවන වේගය වැඩි කරගන්නට හැකියාව තියෙනවා. පරිවෘත්තීය ක්‍රියා සිදුවන වේගය වැඩි වෙනවා කියන්නේ අපේ ශරීරයේ තැන්පත් වෙලා තියන අනවශ්‍ය කැලරි  මේදය දහනය වීම වැඩි කරනවා කියන එක. ඉතින් ඒ නිසා දිනපතාම ආහාරයට බිත්තර හැකිතාක් එකතු කරගන්න එක හරිම වැදගත්. 

ගම්මිරිස් පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට උදරයේ ඇති මේද  තට්ටුව දහනය කර ගන්නට භාවිතයට ගන්නට හැකි අපූරු ක්‍රමයක් තමයි ගම්මිරිස්. අපි ගන්නා ආහාර මේදය විදියට තැන්පත් කරනවා වෙනුවට ශක්තිය විදිහට පිට කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ආහාරයට ගන්නට ගන්නා සෑම ආහාරයකටම වගේ ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරන එක ගැටලුවක් නැහැ.

ඇට වර්ග  පෝෂ්‍ය පදාර්ථ බොහොමයක්ම අඩංගු වෙන ශරීරයට ඉතාම ඉහළ පෝෂණයක් ලබා දෙන ආහාරයක් විදියට මේ ඇට වර්ග සලකන්න පුළුවන්. මේවා ශරීරයේ මේදය දහනය කරන්න වගේම ශරීර බර අඩු  කරගන්නත්  අපිට උදව් වෙනවා. අපි ගන්නා ආහාර ජීර්ණය කිරීම සඳහා වැඩි කාල වේලාවක් ගත කරන නිසා නිතර නිතර කුසගිනි ඇති වෙලා ආහාර නැවත ගන්නට අපිව පොළඹ වන්නෙත් නැහැ. ඒ නිසා ශරීරයේ බර අඩු කරගන්නට මේදය  දහනය කරගන්නට මේ ඇට වර්ග ආහාරයට එකතු  කරගන්න ඔබත් උනන්දු වෙන්න.