මාසයක් යන්න කලින් මුත්‍රා ගල් දිය කර හරින අක්කපාන සම්බෝලය

health tips

මේ මිහිතලයේ  අපේ නිරෝගි බව වෙනුවෙන් ස්වභාදහම තිලිණ කරපු දායාද අතරින් ඔසු පැළෑටි කියලා කියන්නේ අගය කියා නිම කරන්නට නොහැකි තරම් වටිනා සම්පත්. නමුත් අපි බොහෝ දෙනෙක්ට නොමිලේ ලැබිලා තියෙන මේ මහඟු සම්පත්වල අගයක් නැහැ. ඒ නිසාම සෑම රෝගයකටම බටහිර ඖෂධ පෙති වර්ග මත යැපෙන එක අපි පුරුද්දක් කරගෙන. ඒ කාරණාවම තමයි අපේ ජීවිතවලට අවාසනාව කැන්දා ගෙන එන්නේ. මොකද අද ලොකු කුඩා භේදයකින් තොරව හැමදෙනාම රෝගීන් බවට පත්වෙලා. ඉතින් අපි අද ඔබට කියන්නේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්න අපේ ආහාරයට එකතු කරගත යුතු වටිනා අහාරයක් ගැන. ඖෂධයක් පිළිබඳව.

 අපිට සොබාදහමෙන් උරුම කර දීපු හරි අපූරු වටිනා පැළෑටියක් තමයි අක්කපාන කියන්නේ. විශේෂයෙන්ම මීට වසර ගණනාවකට පෙර සිටම ආයුර්වේදය තුළ වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමේ සඳහා වූ දිව්‍යමය ඔසුවක් විදිහටයි මෙය සලකනු ලබන්නේ. ගෙවත්තේ හෝ මල් පෝච්චිවල හෝ  ගල් තලාවල ආදී ඕනැම ස්ථානයක වැවෙන අක්කපාන ශාකයේ  රෝස පැහැයට හුරු අලංකාර මල් පොකුරු හටගනු ලබනවා. 

අක්කපාන ප්‍රභේද දෙකක් දකින්නට ලැබෙනවා. එක් ප්‍රභේදයක පත්‍ර සිහින් නමුත් අනෙක් ප්‍රභේදයේ පත්‍ර විශාලයි. ඇතැම් ඒවායේ නාරටිය රත් පැහැ වන නමුත් අනෙක් ඒවායේ නාරටිය සුදු පැහැයක් ගන්නවා. මේ වටිනා ඖෂධය තිත්ත සහ ඇඹුල් රසයෙන් යුක්තයි. අපි බලමු අක්කපාන  භාවිතයෙන් අපේ නිරෝගී කම රැකගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ.

 අක්කපාන පරිභෝජනයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ

  • මුත්‍රා දැවිල්ල, මුත්‍රා හිරවෙන ගතිය සහ මුත්‍රාවල ගල් ආදී මුත්‍රා රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ක්‍රියා කරයි.
  • උෂ්ණ රෝග සඳහා ගුණදායකයි.
  • අමිල පිත්ත රෝගය සුවපත් කරයි. 
  • අර්ශස් රෝගය සුවපත් කිරීම සඳහා උපකාරී වෙයි. 
  • ඔසප් වේදනාව දුරු කිරීම සඳහා වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
  • ඔසප්  රුධිරය අධිකව පිටවන්නේ නම් එය අවම කර ගන්නට උපකාරී වෙයි .
  • ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
  • දහඩිය ගඳ දුරු කරයි.
  • විදුරුමස් රෝග සහ මුඛයේ ඇතිවන තුවාල සුවපත් කරයි.
  • ආමාශයේ තුවාල සුවපත් කරයි. 
  • පිළිකා සෛල විනාශ කිරීම සඳහා දායක වෙයි.
  • කාන්තා ප්‍රජනන පද්ධතිය ආරක්ෂා කරයි.

අක්කපාන සතු ඖෂධීය  භාවිතයන්

 උදරයේ කොරවීම සඳහා, සන්ධිවල වේදනා ඉදිමුම් සඳහා සහ ලේ ගලන තුවාල සඳහා මේ අක්කපාන බාහිරින් ආලේප කරන්නට පුළුවන්. අක්කපාන කොළ කිහිපයක් ගෙන අඹරා ආලේප කිරීමෙන් වේදනාවන් සහ ඒ අපහසුතාවයන් නැති කරගන්නට පුළුවන්. 

ඒ වගේම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන සමේ පිළිස්සුම් තත්ත්වයන් සමනය කර ගන්නටත් අක්කපාන කොළ අඹරා ආලේප කිරීම සුදුසුයි. එය දින පහක් හෝ හයක් එක දිගට සිදුකිරීමෙන් සමේ ඇති අඳුරු බව අවපැහැය නැතිකර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉන්නන් නැති කර ගැනීම සඳහාත් මේ අක්කපාන කොළ යුෂ ඔබට භාවිතා කරන්නට පුළුවන්. 

මුත්‍රා ගල් ඉවත් කර කර ගැනීම සඳහා අක්කපාන සම්බෝලය මාසයක පමණ කාලයක් ආහාරයට ගැනීමෙන් මුත්‍රා සහ වකුගඩු ආශ්‍රිත ගල් දිය කර ගන්නට පුළුවන්. ඒ හැරුණාම නීරෝගී අයෙක් මාසයකට වරක් දෙවරක් පමණක් මේ අක්කපාන සම්බෝලය ආහාරයට ගැනීමෙන්  මුත්‍රා ගල් ඇති වීමේ හැකියාව බොහෝ දුරට අඩු කරන්නට පුළුවන්.

 ඒ හැරුණම මුත්‍ර රෝග සඳහා අක්කපාන කැකිරි ඇට සහ පෙනෙල ස්වල්පයක් සමඟ තම්බා පානය කිරීම සහ අක්කපාන සහ නීරමුල්ලි මිට බැගින් තම්බා පානය කිරීමත් ඉතා වැදගත්. 

සමේ රැලි ඉවත් කර ගැනීම සඳහා අක්කපාන කොළවලට අපේ සම පුනර්ජීවනය  කිරීමේ විශේෂ හැකියාවක් පවතිනවා. එමඟින් සමේ ඇතිවන රැලි පහසුවෙන් ඉවත්කර ගන්නට උදවු වෙනවා. මේ සඳහා අක්කපාන කොළ යුෂ සමග මී පැණි හැන්දක් මිශ්‍රකර තේ මෙන් පානය කිරීම වැදගත්. ඒ හැරුණාම මේ මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමත් සුදුසුයි.

හිසරදය හෝ ඉරුවාරද සඳහා මේ සඳහා අක්කපාන කොළ දෙක හෝ තුනක් ගෙන උදුනක් භාවිතයෙන් මිනිත්තු කිහිපයක් රත් කරගෙන කොළල සිසිල් වෙන්නට පෙර ඉක්මනින් නල මත තබා ගන්නවා එක පමණ කාලය තුළ කිහිපවතාවක්ම මෙය සිදු කිරීමෙන් හිස්රදය ඉරුවාරදය ආදී වේදනාවන් සමනය කරගන්නට හැකියාව ලැබෙනවා.

පාදවල දිලීර ආසාදන සහ පාද ආශ්‍රිතව ඇතිවන දැවිල්ල පැලීම් ආදී ගැටලු සඳහා භාජනයක් ගෙන එයට උණු වතුර දමා අක්කපාන කොළ කිහිපයක් සහ මින්ට් තෙල් ස්වල්පයක් ද එකතු කරන්න. පසුව ඒ භාජනයට කකුල් දමා මද වේලාවක් තබා සුවපහසු මේස් යුගලක් පැළඳ. නින්දට යන්න. 

අක්කපාන බීම සකසා ගන්නා ආකාරය මුලින්ම අක්කපාන කොළ කිහිපයක් හොඳින් සෝදාගෙන තරමක කැබලිවලට කපාගන්න.  එය බ්ලෙන්ඩරයකට දමා දෙහි යුෂ ස්වල්පයක් සහ ලුණු එකතු කර ජලය ස්වල්පයක් ද දමා අඹරා ගන්න. පසුව ජලය ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කර පෙරා ගන්න. ( නමුත් අර්ශස් රෝග වලින් පීඩා විඳින අය මේ පානය පෙරීමකින් තොරව පානයට ගන්නා එක වඩාත් සුදුසුයි.)  මේ අක්කපාන යුෂයට තව අවශ්‍ය නම් ජලය ස්වල්පයක් සහ දෙහි ස්වල්පයක් එකතු කර රසවත් කරගන්න. මේ පානය විවිධ ලෙඩ රෝගවලිවලින් ආරක්ෂා වීම සඳහා ඔබට භාවිතා කරන්නට හැකි පානයක් නිසා මාසයකට වරක් දෙවරක් ලබා ගැනීම වරදක් නැහැ.

මේ සම්පූර්ණ අක්කපාන ශාකයම තම්බා පෙරාගත් යුෂ භාවිතයෙන් තේ පිළියෙල කරගෙන පානය කිරීමත් නිරෝගීව ජීවත් වෙන්නට ඔබට විශාල උදව්වක් වේවි. අක්කපාන කොළ සිහින්ව ලියාගෙන පොල්, ළූණු, අමු  මිරිස් සහ දෙහි යොදා සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගන්නත් පුළුවන්.

සැලකිය යුතුයි

  • ගර්භිණී කාන්තාවක් නම් අක්කපාන ශාකය භාවිතා නොකරන්න.
  • හෘදයාබාධවලින් පීඩා විඳින අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත පමණක්  අක්කපාන භාවිතා කරන්න.
  • අධික මාත්‍රාවෙන් නිරන්තරයෙන් අක්කපාන භාවිතා කිරීමෙන් වලකින්න. 

ආහාර ජීරණය වීමේ ගැටලු ඇති අයට අක්කපාන සම්බෝලය අජීර්ණ වෙන්නට පුළුවන් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.