දරුවන් පමාවීමට බලපාන රෝග 5 ක්

health tips

විවාහ දිවියට ඇතුළත් වුණු යුවලක් සිහින දකින්නේ දරුවෙකු වෙනුවෙන්. ඉතින් අතලොස්සක් පමණ දෙනෙකුට මේ දරු ඵල පමාවීම නිසා මහත් පීඩනයෙන් වගේම කනස්සලෙන් දිවි ගෙවන්නට සිදුවෙලා තියෙනවා. අඹුසැමියන් වෙන්වීමට පවා මේ ගැටළුව ඉතාමත් අවාසනාවන්ත විදියට බොහෝදෙනාට බලපා තියෙනවා. ඒ වගේම දෙමව්පියන්ගෙන් වගේම නෑදෑ හිතවතුන්ගෙන් ඇතිවන බලපෑම මත ඒ පීඩනය තවත් වැඩි වෙනවා. ඉතින් ගැබ් ගැනීම පමාවීමට කාන්තාවගේ වගේම පුරුෂයාගෙත් ගැටළු තත්ත්වයන් හේතු වෙනවා. විශේෂයෙන්ම මදසරුභාවය එකම හේතුව නොවුණත් දරුඵල පමා වෙන්නට එය එක් ප්‍රබල හේතුවක්. මේ මඳසරුභාවය ඇති වෙන්නට විවිධ රෝගාබාධ බලපානු ලබනවා. ඉතින් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ නව යෞවනියක් ලැජ්ජාව නිසා හෝ සඟවා ගෙන සිටි විවිධ රෝග තත්ත්වයන්හි අවසාන ප්‍රතිඵලය විදියට මදසරුභාවය නැත්නම් වඳභාවය ඇති කරන්නට හේතුවෙන එවැනි ලෙඩ රෝග කිහිපයක් පිළිබඳවයි.

වැඩිවිය පැමිණීමත් සමඟ තරුණියන් මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත විවිධ අපහසුතාවලට ලක්වෙනවා. ඒවා රෝග ලෙස නොසලකා හැරීම නිසා වගේම ඇතැම්විට ලජජාව නිසා ප්‍රතිකාර නොකර සඟවා සිටීම නිසා අනාගතයේදී වඩාත් බරපතල තත්ත්වයන් ඇති වෙනවා. කාලයක් තිස්සේ මෙවැනි රෝග සඟවා ගෙන සිටීම නිසා විවාහ දිවියට ඇතුළත් වුණත් දරු සුරතල් බලන්නට ඇති අවස්ථාව ඒ නිසා අහිමිව යන්නට පුළුවන්. ඉතින් කාන්තා ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු දරුඵල පමාවිය හැකි රෝග කිහිපයක්ම පවතිනවා.

ඇමිනෝරියාව (Amenorrhoea )මල්වරවීමෙන් පසුව දින 28- 30 ට වරක් සිදුවන ඔසප්  වීමේ ක්‍රියාවලිය සිදු නොවී නතරව තිබීම බොහෝවිට යම් රෝගයක් වන්නට පුළුවන්. ඇතැම්විටෙක වැඩිවිය පැමිණීමෙන් පසුව වසරක පමණ කාලයක් ආර්තවය සිදුනොවීම, දරුවකු ප්‍රසූත කළ පසුව දරුවාට කිරි දෙන මුල් මාස කිහිපයේදී ආර්තවය සිදු නොවීම , දරුවකු පිළිසිද ගැනීම කියන හේතු කාරණාවලින් තොරව යම් තරුණියකගේ ඔසප්වීම නතරවීම සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඔසප් චක්‍රය යම් කාන්තාවකගේ නීරෝගීභාවය පිළිබඳව දැන ගැනීමට හැකි ප්‍රධානම සිදුවීමක්. නමුත් මේ ආකාරයට ඔසප්වීම අසාමාන්‍ය ලෙස නතරවීම කිසිදු ආකාරයකින් දරුවෙකු පිළිසිද නොගැනීමට හේතුවෙනවා. 

මෙසේ ඔසප්වීම නතරවීම සඳහා බලපාන හේතු අතර ලබා ගන්නා ඖෂධ, අධික ලෙස ව්‍යායාම් කටයුතුවල නිරත වීම, සිරූරේ බර අඩුවීම, මානසික ආතතිය ප්‍රධාන වෙනවා. ඒ හැරුණාම ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව විවිධාකාරයේ විකෘතිතා ඇතිවීම, පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත රෝග, ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග සහ ශරීරයේ හෝර්මොනවල අඩුවැඩිවීම් ආදියත් ආර්තවය සිදු නොවීමට හේතුවෙනවා. මෙසේ ආර්තවය නතරව තිබීම කියන තත්ත්වයක් රෝගයක් ලෙස නොසලකා හැරීම යම් දිනෙක දරුඵල අහිමිවීමට හේතුවන්නට පුළුවන්.

එන්ඩොමෙට්‍රෝසීස් (Endometriosis ) මේ එන්ඩොමෙට්‍රෝසීස් රෝගයෙන් පෙලෙන කාන්තාවන්ගෙන් 30%-40% අතර සංඛ්‍යාවකට දරුවෙකු පිළිසිද ගැනීමේ හැකියාව අඩුවී යනවා. මේ රෝගය බොහෝ කාන්තාවන් අතර බහුල සිරුරට වඩාත් අහිතකර ලෙස බලපාන රෝගයක්.

එන්ඩ්‍රොමෙට්‍රියම කියන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති පටලයක්. මේ පටලය මසකට වරක් සිදුවන ආර්තවයේදී ගැලවී යනවා. මේ එන්ඩොමෙට්‍රෝසියස් රෝගයේදී සිදු වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියම් පටලයේ සෛල කොටස් ගැලවී ගිහින් උදර කුහරයේ යම් යම් ස්ථානවල තැන්පත් වීම. මේ එන්ඩොමෙට්‍රියම් පටල කොටස්  ඩිම්බකෝෂය මතුපිට හෝ  ගර්භාෂයේ පිට බිත්තිය මත, පැලෝපීය නාල මත තිබෙන්නට පුළුවන්. ඒ වගේම  ඇතැම් අයගේ මුත්‍රාශය මත වෙන්නට පුළුවන්. ඇතැම් විට නාභියේ පවතින්නට පුළුවන්.මේ එන්ඩොමෙට්‍රියම් හෝර්මෝනවල ක්‍රියාකාරිත්වයට අනුව ක්‍රියාත්මක වෙලා සෑම මාසයකම පිටවෙලා යනවා. 

ඒ නිසා යම් අයෙකුගේ නාභියේ මේ සෛල කොටස් තිබුණොත් ඔසප්වීමේදී නාභියේ රුධිර වහනයක් වෙන්නට පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයේ වෙනත් ස්ථානවල මේ පටල කොටස් තිබුණොත් එය තරලයක් බවට පත්වෙන්නට පුළුවන්. නමුත් එය ඉතා විශාල ලෙස සිදුවන රුධිර වහනයක් නොවෙයි.නමුත් මේ තරලයට පුළුවන් යම් යම් දේවල් අලවා ගන්නට. ඒ නිසා ඔසප්වීම නතර වෙන්නට පුළුවන්.මේ රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් කෙට්ටු අයට පවතින බව සඳහන් වෙනවා.

මේ රෝග  තත්ත්වය හඳුනාගත හැකි මූලිකම ලක්ෂණය වෙන්නේ ආර්තවය සිදුවන විට අධික වේදනාවක් ඇතිවීම. ඉතින් මෙවැනි තත්ත්වයක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස නොසලකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනාගතයේදී දරුවෙකු පිළිසිද ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු මගහරවා ගන්නට පුළුවන්.

ගර්භාෂයේ ගෙඩි (Fibroid) මේ රෝගයත් අද සමාජයේ කාන්තාවන් බොහොමයක් දෙනා පෙළෙන රෝගී තත්ත්වයක් .මෙය ගර්භාෂයේ මෘදු පටකවල ඇතිවන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. රුධිරයේ ඊස්ට්‍රජන් අධික වීම නිසා හට ගන්නා මේ ෆයිබ්‍රොයිඩ් රෝගයේදී ඇතිවන ගෙඩි කුඩා ප්‍රමාණයේ සිට ඉතා විශාල ප්‍රමාණය දක්වා ඇතිවීමේ හැකියාව පවතිනවා.මේ රෝගය හඳුනා ගතහැකි ප්‍රධානම රෝග ලක්ෂණය වෙන්නේ නිතරම මුත්‍ර පහ කරන්නට ඇතිවන අවශ්‍යතාවයයි. මේ රෝග තත්ත්වය දරු ඵල පමාවීමට වගේම වඳභාවයටත් හේතු වෙනවා.

පැලෝපීය නාල අවහිරවීම ගැබ් ගැනීමට ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙන්නේ පැලෝපීය නාලවලදී . මේ නාලවල යම් අවහිරතාවයක් ඇතිවුණොත් ගැබ් ගැනීමේ හැකියාවක් නැහැ.මෙවැනි තත්ත්වයන් විෂබීජ ආසාදන නිසා ඇතිවූ සංකූලතාවයම හේතුවෙන් හෝ සැත්කම් නිසා ඇති වෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඒ අවහිරතාවය නිවැරදි කිරීමට කළ හැකි සැත්කම් සඳහා යොමුවෙන්නට හැකි නමුත් ඒ වෙනුවට IVF ක්‍රමය භාවිතා කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

ඩිම්බකෝෂ වයස්ගත වීම කාන්තාවකගේ ඩිම්බ පිටවීම වයස්ගත වීමත් සමඟ සම්පූර්ණයෙන්ම නතරවීමට පෙර වෙනත් හේතු මත ඩිම්බකෝෂ අක්‍රීය වන්නට පුළුවන්. එවන් අවස්ථාවක් කාන්තාවට ඩිම්බ පිට නොවන නිසා ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක වෙනත් කාන්තාවකගේ ඩිම්බ ලබාගෙන IVF ක්‍රමයට ගර්භාෂයේ තැන්පත් කරන්නට පුළුවන්.

දරුවෙකු පිළිසිද ගැනීමට බාධා කරන මේ රෝග තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර ඒ සඳහා  අවශ්‍ය ප්‍රතිකාර  ගැනීමත්, තරුණ වයසේදී ක්‍රමවත් ආර්තව චක්‍රයක් පවත්වා ගැනීමට අවධානය යොමු කිරීමත් මගින් මේ දරු ඵල පමාවීම යන ගැටළු නිරාකරණය කර ගන්නට පුළුවන්.