නහර ගැට ගැසීම වළකන උපක්‍රම 6 ක්

health tips

වර්තමානය වෙද්දි කාන්තා පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනා අතර දකින්නට ලැබෙන තවත් එක් රෝගයක් තමයි නහර ගැට ගැසීම කියන්නේ. වෙරිකෝස් වේන් කියන නමින් හඳුන්වන මේ නහර ගැට ගැසීම spider Veins හා Varicose Veins විදියට ආකාර දෙකකින් හඳුනා ගන්නට පුළුවන්. Spider veins කියන තත්ත්වයේදී බාහිරට නෙරා ඒමක් දකින්නට නොහැකි වුණත් varicose veins තත්ත්වයේදී බාහිරව නෙරා ආ ස්වභාවයක් දකින්නට පුළුවන්. ඉතින් මේ කුමන ආකාරයකින් නහර ගැට ගැසීම සිදුවුණත් එය පාලනය කරගැනීම අප සිදුකළ යුතුමයි. මොකද මේ තත්ත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් හෝ පාලනය නොකිරීමෙන් වඩා බරපතල ආකාරයේ සෞඛ්‍ය ගැටළු ඇති වෙන්නට ඉඩකඩ පවතින නිසාවෙන්.ඒ නිසාම අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ නහර ගැට ගැසීම සුවකරගන්නට පාලනය කරගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද මොනවාද කියන කාරණාව පිළිබඳවයි.

අපේ ශරීරයේ රුධිරය ගමන් කිරීම සඳහා රුධිරනාල වර්ග දෙකක් තියෙනවා ධමනි සහ ශිරා නමින්. හෘදයේ සිට සිරුර පුරා පිරිසිදු රුධිරය ගමන් කරන්නේ ධමනිවලින් වන අතර අවයවවලින් අපිරිසිදු රුධිරය හෘදය කරා ගෙන යන්නේ ශිරා මගින්. මේ නහර ගැට ගැසීම සිදු වෙන්නේ ශිරා කියන රුධිර වාහිනී ආශ්‍රිතව. යම්විටෙක පාදයේ සිට හෘදය දෙසට රුධිර ගමන් කිරීමක් ගත්තොත් එවිට  රුධිරය ගලන්නේ පොළව දෙසට විරුද්ධව.ඒ වගේම ඒ රුධිර ගමන් කිරීමේ ක්‍රියාවලියට රුධිරවාහිනී තුළ තියෙන කපාටවල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් වෙනවා. මේ කපාට හෘදය දෙසට පමණක් රුධිරය ගලායන ආකාරයටයි පිහිටා තියෙන්නේ. 

ඒ කපාට මගින් විරුද්ධ දෙසට රුධිරය ගලායාම වළක්වනු ලබනවා. ඒ අනුව රුධිරය හෘදය වෙතට ගෙනයාම මගින් සිදු කරනවා.නමුත් වයස්ගතවීමත් සමඟ හෝ වෙනත් රෝගාබාධ නිසා හෝ යම් යම් පෝෂණ ඌණතාවන්ගෙන් පෙළෙන විට මේ කපාටවලට හානිවීමක් හෝ කපාට දුර්වලවීමක් පුළුවන්. එවැනි අවස්ථාවක නිසිපරිදි පාදය දෙසට රුධිරය සැපයීම සිදු වන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඒ ස්ථානවල මේ රුධිරය එක්රැස් වෙමින් මේ වෙරිකෝස් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පාද ආශ්‍රිත ප්‍රදේශවල මේ රුධිරවාහිනී එකිනෙකට ඇඹරීයාමෙන් මේ තත්ත්වය හටගනු ලබනවා.

මේ නහර ගැට ගැසීම සඳහා බලපාන හේතු සාධක අතර මූලිකම හේතුවක් වෙන්නේ පවුල් පරිසරය එහෙම නැත්නම් ජානමය සාධක. එවන් අවස්ථාවක ඔබටත් එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව හඳුනා ගත යුතු වෙනවා. එබැවින් මේ නහර ගැටගැසීම ඇතිවීම වළක්වා ගන්නට වගේම පැතිරීම වළක්වා ගන්නට උනන්දුවීම වැදගත් වෙනවා.ඒ සඳහා අනුගමනය කල හැකි වෙනස් කරගත යුතු පුරුදු බොහොමයක් පවතිනවා.

සිරුරේ බර අඩුකර ගැනීම ස්ථුලතාවය කියන කාරණය පුද්ගලයෙකුට මේ නහර ගැට ගැසීම ඇති කරන්නට හේතුවෙන සාධකයක්. එබැවින් උසට සරිලන ආකාරයේ නිසි බරක් පවත්වා ගැනීම ඉතා වැදගත්.

එකම ඉරියව්වකින් වැඩි වේලාවක් නොසිටීම ඇතැම්විටෙක දිගුකාලයක් සිටගෙන සිටීම හෝ හිඳගෙන සිටීම කියන තත්ත්වයන් දෙකම නහර ගැට ගැසීම තත්ත්වය ඇති කරන්නට හේතු වෙනවා.ඒ නිසා යම් වේලාවකින් පසුව ඔබ සිටින ඉරියව්ව වෙනස් කරගන්නට මතක තබා ගන්න.

අධික තද ඇදුම් ඇදීමෙන් වැළකීම නිතර නිතර මාංශපේශී තදවන ආකාරයේ ඇදුම් අදින අයෙකුට මේ තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ගුරුත්වයට විරුද්ධව පහළ සිට ඉහළට රුධිරය ගමන් කිරීමේදී ඒ සඳහා පහසුව සලසා දිය යුතු වෙනවා. ඒ නිසා ඉණ ප්‍රදේශයට වඩාත් තද ඇදුම් ඇද සිටිනවා නම් ඉහළට මේ රුධිරය  කිරීම තරමක් අඩු වෙනවා.

පාද තරමක් ඉහළින් තබා ගැනීම දැනට මේ වෙරිකෝස් තත්ත්වයෙන් පීඩා විදින අයෙක් නම් ඔබට මේ ක්‍රමය අනුගමනය කරන්නට පුළුවන්. ඇදක වැතිරිලා කොට්ට දෙක තුනක තබා ඒ මතින් පාදයන් තබාගෙන විනාඩි 15ක් තරම් කාලයක් විවේකීව සිටින්නට අවශ්‍යයි. එමගින් ඒ ස්ථානවල රුධිරය ඒකාරාශීවීම වළක්වා ගන්නට හැකියාව ලැබෙන නිසා මෙය තවදුරටත් පැතිරියාම අවම කරගන්නට එයින් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ කාර්යය දිනකට තුන් හතර වතාවක් සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

ව්‍යායාම්වල නිරතවීම මාංශපේශීවල ක්‍රියාකාරිත්වය මත රුධිරය ඉහළට ගලායාම සිදුවන නිසා මේ තත්ත්වයෙන් වැළකී සිටින්නට වගේම පාලනය කර ගන්නටත් ව්‍යායාම අත්‍යවශ්‍ය වෙනවා. පාදවල මාංශ පේශී සංකෝචනය වීම  ඉහිල්වීම ඉතා හොඳින් සිදුවන ආකාරයට ව්‍යායාම් තෝරාගැනීම අවශ්‍යයි.  

පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා ගැනීම කපාට දුර්වලවීම පාලනය කරගන්නට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් කාරණයක් තමයි අප ගනු ලබන ආහාරවේලේ පෝෂ්‍යදායි බව. එහිදී විශේෂයෙන්ම තන්තු බහුල ආහාර සඳහා වැඩි අවධානයක් ලබාදිය යුතු වෙනවා. ඒ වගේම ලුණු අඩුවෙන් ආහාරයට එකතු කරගත යුතුයි. විටමින් හා තන්තු බහුල පෝෂ්‍යදායි ආහාරවේලක් වෙරිකෝස් ඇතිවීම වළක්වා ගන්නට වගේම පැතිරීම වළක්වා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.

ඉතින් ආහාර ගැට ගැසීම කියන තත්ත්වය අද බොහෝදෙනා එතරම් සැලකිල්ලට නොගන්නා රෝගී තත්ත්වයක් ලෙසටයි දකින්නට ලැබෙන්නේ. මේ තත්ත්වයේදී වේදනාවක් සහිතවීම හෝ වේදනාවක් රහිතවීම යන තත්ත්වයන් දෙකම දකින්නට ලැබුණත් බොහෝ විට මේ තත්ත්වයේදී වේදනාවන් ඇතිවෙන්නේ හරි අඩුවෙන්. ඒ නිසා ප්‍රතිකාර සඳහා බොහෝ අය යොමු වෙන්නේ නැහැ. නමුත් මෙයින් ඇතිවෙන්නට හැකි තත්ත්වයන් ඉතා බරපතල බව ඔබ දැනගත යුතු වෙනවා.

එවැනි බරපතල තත්ත්වයන් වර්ධනය විමට පෙර මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයෙකු හමුවට යාමෙන් ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව ප්‍රතිකාර කරනු ලබනවා. එහිදී වෙරිකෝස් ඇති ස්ථානවලට ගැළපෙන ආකාරයට compression stocks කියන විශේෂ පළදනාව ලබා දෙනවා. ඒ හැරුණාම ලේසර් ප්‍රතිකාර වගේම ශල්‍ය කර්ම සිදු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා.