එළවලු පලාවල වස විස ඉවත් කර ගත හැකි ක්‍රම 5 ක්

health tips

අද බොහෝදෙනා කාබනිකව ආහාර වගා කිරීමට මුල පිරුවත් වඩා සරු අස්වැන්නක් ලබා ගැනීමට එය බාධාවක් වී තියෙනවා. ඒ නිසාම එළවලු පලතුරු සහ පලා වර්ග වගා කරන්නේ රසායනික ද්‍රව්‍යයන් බොහොමයක් භාවිතා කරමින්. කෘමි උවදුරුවලින් බෝග ආරක්ෂා කර ගන්නට කෘමිනාශක වගේම දිලීර නාශකත් වැඩිපුර භාවිතා කිරීම දකින්නට පුළුවන්. ඒ හැරුණාම කණගාටුදායකම කාරණය වෙන්නේ වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මේ එළවලු පලා වර්ග සඳහා කෘමිනාශක මාත්‍රාව ඉක්මවා යෙදීම. ඒ වගේම තමයි වෙළදපොළට යවන්නට නෙළා ගන්නට දින කිහිපයකට කලින් පවා විවිධ ආකාරයේ කෘමිනාශක ඉසීම. ඉතින් අද අපි ආහාරයට ගන්නා එළවලු පලතුරු පලා ආදී සෑම ආහාරයකටම අසීමිත ලෙස කෘමිනාශක යොදා තියෙනවා. ඒවා ආහාරයට ගන්නා ජනතාව නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ නිසා අද වෙද්දි වස විසෙන් තොර ආහාර ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව වැඩි කතාබහට ලක් වෙනවා.

බොහෝදෙනා අනවබෝධයෙන් කෘමිනාශක සහ දීලිර බෝගවලට යෙදීම නිසා රටේ බොහෝ පිරිසක් ලෙඩුන්  පත් කරන්නට සමත්වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් කෘමිනාශක කෘමින්ගේ දේහ ක්‍රියාකාරිත්වය ව්‍යාකූලත්වයට පත්කර බෝගවලට සිදුවන හානිය අඩු කරනවා. මේ කෘමිනාශක සහ දිලීර නාශකවල අඩංගු වෙන කැඩ්මියම්, ඊයම්, ආදී බැරලෝහ නිතර වගාවට එකතුවීම ඉතාම බරපතල ගැටළුවක්. මොකද මේ බැරලෝහ කොතරම් සේදුවත් ඉවත්ව නොයාමත් ඒවා අපි ගනු ලබන ආහාර සමඟ ශරීරගතවීමත් සිදු වෙනවා. ඒ නිසා වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගැනීම සඳහා කළ හැකි හොඳම ක්‍රමය වෙන්නේ තම නිවසේ එළවලු සහ පලා වර්ග වගා කර ගැනීම. ඒ සඳහා කාබනික පොහොර සහ සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතයට ගන්නට පුළුවන්. ගෙවතු වගාවක් මගින් වස විසෙන් තොර ආහාරවේලක් ලබා ගන්නට උත්සාහ කිරීම වගේම අපි වෙළදපොළෙන් මිලට ගන්නා  ආහාරවල වස විස ඉවත් කර ගැනීම පිළිබඳවත් අවබෝධයක් තිබීම වැදගත්.

එළවලු සහ පලා වර්ගවල වස විස ඉවත් කර ගත හැකි ක්‍රම 

එළවලු පලතුරු පලා වර්ග වගේම ධාන්‍ය වර්ගවලටත් විවිධාකාරයේ කෘමිනාශක දිලීර නාශක වගේම කල්තබා ගැනීම සඳහාත් රසායනික ද්‍රව්‍ය ගල්වනු ලබනවා. ඒ නිසා ඒවා යම්තාක් දුරකට හෝ ඉවත් කරගෙන ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයට එයින් ඇතිවන බලපෑම මදක් හෝ අඩුකර ගන්නට පුළුවන්.

  • පිරිසිදු ජලයෙන් සේදීම ජලයෙන් සේදීම මගින් එළවලු පලා වර්ග සහ ධාන්‍ය ආදීයේ ඇති  විෂ රසායන යම් ප්‍රමාණයකට හෝ අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා.
  • දෙහි මිශ්‍රිත ජලයෙන් සේදීම ජලයට දෙහි යුශ ස්වල්පයක් එකතු කර කපා ගත් එළවලු එයින් සෝදා ගැනීමත් මේ එළවලුවල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය ඉවත් කර ගන්නට ඉතාම ඵලදායි ක්‍රමවේදයක්. මේ ජලයෙන් සෝදගත් එළවලු නැවත පිරිසිදු ජලයෙන් සෝදා පිසීමට ගත හැකියි.
  • විනාකිරි හා දෙහි මිශ්‍රිත ජලයෙන් සේදීම දෙහි යුෂ තේ හැදි 1 ක් බේකින් සෝඩා තේ හැදි 1 ක් ජලය කොප්පයක දියකර ඒ ජලයෙන් පිසීමට ගන්නා එළවලු සහ පලා වර්ග සෝදා ගන්න. මේ ද්‍රාවණයේ විනාඩි 5 ක් පමණ එළවලු ආදිය තබා ගැනීම ප්‍රමාණවත්.  ඉන්පසුව පිරිසිදු ජලයෙන් දෙතුන් වරක් ඒ ආහාර ද්‍රව්‍ය නැවත සෝදා ගැනීම වැදගත්. ඇතැම්විට බේකින් සෝඩා වැඩි වශයෙන් ශරීරයට ඇතුළු වුණොත් මළපහ බුරුලට පිටවීමක් සිදු වන්නට පුළුවන්.
  • ලුණු මිශ්‍රිත ජලයෙන් සේදීම දෙවනි වර එළවලු ආදිය සේදීමේදී ජලයට ලුණු එකතු කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම කොළ වර්ග පලා වර්ග ලුණු ජලයෙන් සේදිය යුතුමයි. එමගින් ඉතා කුඩා ජීවීන්ගේ බිත්තර විනාශ වීයාමත් විෂබීජ ඉවත්ව යාමත් සිදු වෙනවා.පලා වර්ග පිසීමට පෙර කපා ලුණු ද්‍රාවණයක විනාඩි 5-10 ක් පමණ තබා පිසීමට ගැනීම මගින් ඒවායේ අඩංගුව ඇති දිලීර සහ බැක්ටීරියා විෂ ඉවත්යාමක් සිදු වෙනවා.
  • එළවලු කුඩාවට කපා සේදීම පෝෂ්‍ය පදාර්ථ බොහෝදුරට ආරක්ෂා වෙන ආකාරයට ආහාර පිසීමේදී එළවලු පලා වර්ග ආදිය කුඩාවට කපා ගැනීමට වඩා තරමක් විශාල ලෙස කපා පිසීම වගේම කැපීමට පෙර සේදීමත් වඩා වැදගත් බව අපි දන්නා කාරණයක්. නමුත් වස විස ඉවත් කර ගැනීමේදී එළවලු වර්ග කුඩාවට කපා ගැනීමත් කපා සේදීමත් හරිම වැදගත්. මෙසේ එළවලු කුඩාවට කපා සෝදා ගැනීමෙන් ඒවායේ ඇතුළත කාබනික සංයෝගවල දියවන කෘමි නාශක හා දිලීර නාශක සංයෝග තවදුරටත් ඉවත් කර ගන්නට පුළුවන්. 
  • විනාකිරි මිශ්‍ර ජලයෙන් සේදීම පිරිසිදු ජලය කෝප්පයක් පමණ ප්‍රමාණයකට විනාකිරි තේ හැදි 2 ක් මිශ්‍රකර සකස් කර ගන්නා ජලය එළවලු හා පලා වර්ගවල වස විස ඉවත් කර ගන්නට ඉතාම සුදුසුයි. කාබනික සංයෝගවල දියවන කෘෂි රසායන ද්‍රව්‍ය බොහෝදුරට එමගින් ඉවත් කර ගන්නට පුළුවන්.විනාකිරි මිශ්‍රිත ජලයෙන් සෝදාගත් එළවලු හා පලා වර්ග නැවත පිරිසිදු ජලයෙන් සෝදා පිසීමට ගන්න.ඒ වගේම විනාකිරි  දෙහි යුෂ මිශ්‍ර ජලයත් එළවලු සහ පල වර්ග සේදීමට භාවිතා කරන්නට පුළුවන්.ඉතින් ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටින්නට නීරෝගීමත් ජීවිතයක් ගත කරන්නට බාධාවක් වෙන්නේ මේ එළවලු පලතුරු ධාන්‍ය  සහ පලා වර්ග ආදී වෙළදපොලෙන් ගනු ලබන ආහාර ද්‍රව්‍ය. මොකද ඒවාට යොදන ලද  වස විස ශරීරගත වන්නේ අපි නොදැනුවත්වමයි. ඒ වස විස ශරීරගත වීම අවම කරන්නටත්  ආහාරවල ඇති විස 60 % කින් පමණ ඉවත් කර ගන්නටත් මේ ක්‍රමවේද ඔබට බෙහෙවින්ම වැදගත් වේවි. ඒවගේම ස්වාභාවික විශබීජ නාශකයක් වන වටිනා ගුණයන් බොහොමයක් බොහොමයක් අඩංගු වෙන කහ ඇතුළු කුළු බඩු වැඩියෙන් එකතු කිරීමත් ලුණු අඩුවෙන් එකතු කිරීමත් ඔබට සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් වැදගත් වේවි.