ප්‍රමාණයෙන් ඉතා කුඩා වාර්ෂික පැළෑටි විශේෂයක් ලෙස සන්නිනායම් හඳුනාගත හැකිය. ඖෂධීය ගුණයෙන් අනූන පැළෑටියක් වන මෙහි ස්වරූපය ගත් විට එය උපරිමයෙන් මීටර් එකහමාරක් පමණ උසට වැඩේ. ශාක කඳෙහි බූව සහිත වන අතර දාර වැනි ස්වරූපයක් දැකගත හැකිය. ඒකාන්තර සරල පත්‍ර පිහිටන මෙම ශාකයේ නිල් දම් පැහැයෙන් යුක්ත පුෂ්ප හට ගනී. කළු දුඹුරු පැහැයෙන් යුක්ත සිහින් දිගටි බීජ හටගනු ලැබේ.
සන්නිනායම් ශාකය සඳහා පර්යාය නාමයක් පවතින අතර එම නාමය වන්නේ “සෝමරාජ” වේ. මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවන අතර හඳුන්වාදී වගා කරන ලද ශාකයකි. එනමුත් මෙහි ඖෂධීය වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.
බොහෝවිට ඖෂධ සකස් කිරීමේදී මෙම ශාකයේ ඇට, කොළ හා මුල් බහුලව භාවිත කරයි. එසේ භාවිතා කරමින් සකස් කරන ඖෂධ කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය. සෝම රාජ ඍතය, සෝම රාජ තෛලය, මකුළු ඇට ලේපය ආදී ඖෂධ සන්නිනායම් ශාකයේ කොටස් යොදා ගනිමින් සකස් කරනු ලබයි.
මෙම ශාකයේ ඖෂධීය ගුණ කර්ම කීපයක්ම පවතී. ඒවා වන්නේ,
- පණු රෝග නැසීමේ ගුණය
- රුධිරය පිරිසිදු කිරීමේ ගුණය
- මුත්‍රාකාරක ගුණය
- විස නැසීමේ ගුණය
- විරේචන ගුණය ආදී ගුණ කර්ම වේ.
මෙම ශාකයේ ඖෂධීය භාවිතයන් ද රැසක් පවතී.

සන්නිනායම් ඇට වල යුෂ භාවිතා කිරීම. මෙම ඖෂධීය ශාකයේ බීජ වලින් වෙන් කරගන්නා යුෂ ශරීරයේ හටගන්නා රෝග කිහිපයකටම ගුණදායක ඖෂධයකි. විශේෂයෙන් උණ, ඇදුම හා කැස්ස ඇතිවීම, බඩ පිපුම තත්වයන් ඇතිවීම, නිතර ඇතිවන ඉක්කාව, අක්මා රෝග ඇතුළු ශරීර දුර්වලතා වැනි බොහෝ රෝග තත්ත්වයන් වලට ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
සන්නිනායම් බීජ පැලැස්තර යෙදීම. ශරීරයේ ඇතිවන රෝග තත්ත්වයන් කිහිපයකටම මෙම ප්‍රතිකාරය ද වඩාත් යෝග්‍ය වේ. ඒ අනුව සමේ ඇතිවන කැසීම්, ලප කැළැල් හා ඉදිමුම් තත්වයන් වලට මෙම පැලැස්තරය භාවිතා කිරීම කදිම විසඳුමකි.
සන්නිනායම් කොළ යුෂ පානය. මෙම ශාකයේ කොල හොඳින් කොටා වෙන්කර ගන්නා යුෂ නිතර නිතර නාසයෙන් සොටු දියර ගලන පුද්ගලයින්ට ලබාදීමෙන් වඩාත් හොඳ සුවයක් ලබාගත හැකිය.
සන්නිනායම් ඇට ආලේපනය. මෙම ඖෂධීය ආලේපනය සකසා ගනු ලබන්නේ හිරියල් ග්‍රෑම් හතරකට සන්නිනායම් ඇට ග්‍රෑම් දාසයක් යොදා ගනිමින් ය. මෙම ඖෂධ දෙක ගව මුත්‍රාවලින් අඹරා ආලේපනය සකස් කර ගන්නා අතර සුදු කබර රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්ට එය කදිම ඖෂධයකි. මෙම ආලේපනය සුදු කබර පවතින ස්ථානවල ආලේප කිරීමට සුදුසු වේ.

සන්නිනායම් මුල් හා කොළ ආලේපනය. සිරුරේ ඇතිවන සන්ධි ඉදිමුම් තත්වයන් සදහා මෙම ශාකයේ මුල් හා කොළ හොඳින් අඹරා සාදාගන්නා ආලේපනය ගැල්වීම වඩාත් සුදුසුයි.
සන්නිනායම් ඇට චූර්ණය. සන්නිනායම් ඇට චූර්ණය ද සිරුරේ ඇතිවන ඇතැම් රෝග තත්ත්වයන් වලට ප්‍රත්‍යක්ෂ ඔසුවකි. විශේෂයෙන් කුසගිනි වැඩීමට, මුත්‍රා පහසුවෙන් පිටවීමට, ශරීර ශක්තිය ඇතිවීමට මෙම ඖෂධීය චූර්ණය 10mg – 30mg අතර ප්‍රමාණයක් ජලය සමඟ පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. මීට අමතරව උණ රෝගය, මුත්‍රා දැවිල්ල, උදර වේදනා, මව්කිරි සම්බන්ධ ගැටලු, පක්ෂගාත රෝගය, ඉදිමුම් සහිත වන යනාදී රෝග තත්ත්වයන් සඳහා ද මෙම සන්නිනායම් ඇට චූර්ණය වඩාත් සුදුසු වේ.
තවද පණු රෝග සඳහා ද ගුණ දෙන ප්‍රබල ඔසුවක් ලෙස මෙම ඖෂධීය චූර්ණය හඳුනාගත හැකිය. මෙම චූර්ණය මී පැණි සමඟ අනා ආහාරයට ගැනීමෙන් වටපණු රෝගය සුව වෙයි. ඒ වාගේම කොකු පණු රෝගය සුවකර ගැනීම සඳහා මෙම සන්නිනායම් චූර්ණය එඬරු තෙල් ස්වල්පයක් සමග මිශ්‍ර කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. කිරි පණු රෝගය සුව කර ගැනීමට මෙම ඇට සිදීමෙන් ලබාගන්නා තෙල් යෝග්‍යවේ. මේ ආකාරයට පණු රෝග සුවකර ගැනීම සඳහා ද සන්නිනායම් ඇට චූර්ණය භාවිත කළ හැකිය.
මිනිස් ශරීරයේ රෝග සුවයට හේතු වන ඖෂධිය ශාකයක් වශයෙන් පමණක් නොව මෙම ශාකය ඇතැම් සතුන්ගේ රෝග සඳහා ද භාවිතා කළ හැකි ඖෂධයකි. විශේෂයෙන් සන්නිනායම් ඇට සතුන්ට ඇතිවන බඩ පිපුම, ඉදිමුම් තත්වයන්, අජීර්ණ තත්ත්වයන් හා උදර වේදනා යනාදියට ඖෂධ ලෙස භාවිතා කරයි. ඉහත දක්වා ඇති කරුණු වලට අනුව පැහැදිලි වන්නේ සන්නිනායම් යනු ඖෂධීය ගුණයෙන් අනූන පැලෑටි විශේෂයක් බවයි.