ඉන්දියාව තුළ බහුලව වගා කරන සැවැන්දරා යනු අභය,සුගන්ධිමූලක,රතාප්‍රිය,ජලවාස, ඉන්ද්‍ර ගුප්ත යන ආදී නාමයන් තිස් දෙකකින් පමණ හඳුන්වන ඖෂධීය ගුණ රැසක් අඩංගු මානා කුලයට අයත් ශාකයකි.
Vetiveria zizanioides නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සැවැන්දරා ආයුර්වේදය තුළ රෝග සමනය කිරීමට මෙන්ම රූපලාවණ්‍ය සත්කාර සඳහා ද බහුලව යොදා ගනු ලබයි.
සැවැන්දරා මුල් ඉතා සුගන්ධවත් වන නිසාම වර්තමානය වන විට සැවැන්දරා මුල් යොදා ගෙන තෙල් වර්ග, සබන් වර්ග,සුවඳ විලවුන් වර්ග නිශ්පාදනය කරනු ලැබේ.
සැවැන්දරා ඖෂධීය ගුණ

කාන්තා ප්‍රදර රෝග සමනය කරයි.සැවැන්දරා මුල්, ඉරිවේරිය, ගල්කූර මුල්, ඉරමුසු, හාතවාරිය මුල්, වැල් මී, වැල්මදට, මානෙල් අල, මුද්දරස්පලම් කලං එකයි මදටිය හතර බැගින් ගෙන වතුර පත අටක් දමා පත එකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීමෙන් කාන්තා ප්‍රදර රෝග සමනය කර ගත හැකිය.
ගැස්ට්‍රයිටීස් සමනය කරයි.සැවැන්දරා මුල්, සුදු හදුන්, වී පොරි, ඉරිවේරිය දඩු, මානෙල් අල සමාන ප්‍රමාණයෙන් ගෙන ඊට ජලය දමා පත අට එකට සිඳුවා කෂායක් ලෙස සකස් කර පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ලපිත්තය සමනය කර ගත හැකිය.
එමෙන්ම සැවැන්දරා මුල්, උක් පුරුක්, නුග මුල්, මානෙල් අල, වැල් මී, අලු කෙසෙල් අල, නෙලුම් රේණු, මුද්දරස්පලම්, නුග කරටි හා රට ඉදි කලං එක හමාර බැගින් ගෙන පත අට එකට සිදුවා පෙරා පානය කිරීමෙන් ද ගැස්ට්‍රයිටිස් සමනය කර ගත හැකිය.
ශරීර උෂ්ණත්වය සමනය කරයි. සැවන්දරා මුල් ඇල් දියෙන් අඹරා ශරීරය පුරා ආලේප කොට පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම මගින් ශරීරය සිසිල් කර ගත හැකිය.
එමෙන්ම සැවන්දරා මුල්, සුදු හදුන්, උක් ගස් හා මුද්දරස්පලම් හොඳින් කුඩුකර ඇල් ජලයට දමා රැයක් පෙගෙන්නට තබා පසුදින උදෑසන
සියල්ල පොඩිකර යුෂ පෙරා පොරි කුඩු හා සීනි මිශ්‍රකර පානය කිරීමෙන් ද ශරීරය සිසිල් කර ගත හැකිය.
මුත්‍රා දැවිල්ල සමනය කරයි.සැවැන්දරා මුල් කුඩු කර වතුර වීදුරුවකට දමා රැයක් තබා උදෑසන පෙරා පානය කිරීමෙන් මුත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය.
ඊට අමතරව සැවැන්දරා මුල්, සුදු හදුන්, වී පොරි, ඉරිවේරිය දඩු, මානෙල් අල සමාන ප්‍රමාණයෙන් රැගෙන වතුර පත අටක් දමා පත එකට සිඳවා පානය කිරීම ගුණදායකය.

කුරුලෑ සුව කරයි.සැවැන්දරා මුල් සුදු හඳුන් අඹරා මුහුණ මත ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හැරීමෙන් කුරුලෑ ඇති වීම වළක්වා ගත හැකිය.
තුවාල සුව කරයි.සැවැන්දරා මුල් පෙඟෙන්නට තබා එම ජලයෙන් සෝදා හැරීම මගින් තුවාල ඉක්මනින් සුව කරගත හැකිය.
හිසේ කැක්කුම සමනය කරයි.සැවැන්දරා මුල් අඟුරු කබලකට දමා එමගින් නගින දුම ආග්‍රණය කිරීමෙන් හිසේ කැක්කුම සහ හිසේ බර ගතිය සමනය කර ගත හැකිය.
වමනය සුව කරයි. නොනවත්වා ඇතිවන වමනය සුව කිරීම සඳහා සැවැන්දරා තෙල් බින්දු දෙකක් දිවග ආලේප කිරීම යෝග්‍යය වේ.
මානසික රෝග සමනය කරයි.සැවැන්දරා තෙල් ආලේපය හා දුම් ආග්‍රහණය කිරීම මගින් ස්නායු ලිහිල් කර මනස සැහැල්ලු කර ගත හැකිය. එනම් ඉන් මානසික රෝග සුවපත් කර ගත හැකිය.ඊට අමතරව
- සම පැහැපත් කරයි
- සෙම හා පිත සමනය කරයි.
- සුවබර නින්දක් ලබා දෙයි.
- ආහාර රුචිය වඩයි.
- හිසකෙස් වර්ධනය කරයි.
- ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
මේ ආදී වූ රෝග රැසක් සමනය කිරීමට සැවැන්දරා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය නමුත් යම් රෝගයකට ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.