කුරුලෑ සුව කරන සැවැන්දරා ශාකය

health tips

Vetiveria zizanioides නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සැවැන්දරා යනු ආයුර්වේදය තුළ නොයෙක් රෝග සමනය කිරීම සඳහා භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධයකි.  එනම් මානා කුලයට අයත් තෘණ වර්ගයක් වූ සැවැන්දරා වඩාත් ප්‍රසිද්ධ වන්නේ සුවඳවත් මූල පද්ධතියකට හිමිකම් ලද නිසාය. එනම් දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තෙත් සහිත ප්‍රදේශයකද විදේශීය වශයෙන් ඉන්දියාවේද සැවැන්දරා  වගා කරනු ලැබේ. එනම් හෙලවෙදකම තුළ සැවැන්දරා නාමයන් තිස් දෙකකින් පමණ හඳුන්වන අතර ඉන්ද්‍ර ගුප්ත, අභය,සුගන්ධිමූලක,රතාප්‍රිය,ජලවාස… ආදී නම් ඒ අතර කිහිපයකි. කෙසේ නමුත් වැඩි වශයෙන් භාවිතා වන්නේ සැවැන්දරා යන නාමයයි. සැවැන්දරා මුල් ඖෂධ ලෙස මෙන්ම සබන්, සුවඳ විලවුන්, ආලේපන වර්ග, තෙල් නිශ්පාදනය කිරීම සඳහා ද  පැදුරු හා විජිනිපත්, සැකසීමට  කොළද වැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ. මීට අමතරව ආයුර්වේදය තුල නොයෙක් රෝග නිවාරණය කිරීම සඳහා ඖෂධයක් ලෙස සැවැන්දරා ශාකය භාවිතයට ගනු ලැබේ. 

සැවැන්දරා ඖෂධීය ගුණ 

මුත්‍රා දැවිල්ලට සහනය සලසයි.පීඩාකාරී රෝග තත්ත්වයක් වන මුත්‍රා දැවිල්ල සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස සැවැන්දරා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සැවැන්දරා මුල් කුඩු කර වතුර වීදුරුවකට දමා රැයක් තබා උදෑසන පෙරා පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල සමනය කරගත හැකිය. 

ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය සමනය කරයි. වර්තමානය වන විට බාල මහළු සෑම දෙනාටම පාහේ පවතින රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනාගත හැකිය. එනම් මෙම රෝගය සමනය කිරීම සඳහා හෙළ වෙදකම තුළ සැවැන්දරා ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ එනම් මේ සඳහා. සැවැන්දරා මුල්, උක් පුරුක්, නුග මුල්, මානෙල් අල, වැල් මී, අලු කෙසෙල් අල, නෙලුම් රේණු, මුද්දරස්පලම්, නුග කරටි හා රට ඉදි කලං එක හමාර බැගින් ගෙන පත අට එකට සිදුවා පෙරා පානය කිරීමෙන් මෙම රෝගයට සහනය සලසා ගත හැකිය. ඊට අමතරව සැවැන්දරා මුල්, සුදු හදුන්, වී පොරි, ඉරිවේරිය දඩු, මානෙල් අල සමාන ප්‍රමාණයෙන් රැගෙන ඊට වතුර  පත අටක් දමා පත එකට සිඳවා පානය කිරීම සුදුසුවේ. 

තුවාල සමනය කරයි.බොහෝ විට ශරීරයේ ඇතිවන සුළු තුවාල සමනය කිරීම සඳහා සැවැන්දරා මුල් පෙඟෙන්නට තබා එම ජලයෙන් සෝදා හැරීම සුදුසුවේ. 

ශරීරය සිසිල් කරයි.බොහෝ දෙනෙකුට පවතින උෂ්ණාධික ශරීරය සිසිල් කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස සැවැන්දරා ශාකය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සැවැන්දරා මුල් ප්‍රලේපය සමග සුදු හඳුන් ප්‍රලේපය එක්කොට තැඹිලි ගෙඩියකට දමා රැයක් එළිමහනේ තබා එම ජලය පෙරා උදේ සවස පානය කිරීම මගින් ශරීර උෂ්ණත්වය වළක්වා ශරීරය සිසිල් කර ගත හැකිය. එමෙන්ම සැවන්දරා මුල්, සුදු හදුන්, උක් ගස් හා මුද්දරස්පලම් හොඳින් කුඩුකර ඇල් ජලයට දමා රැයක් පෙගෙන්නට තබා පසුදින උදෑසන 

සියල්ල පොඩිකර යුෂ පෙරා පොරි කුඩු හා සීනි මිශ්‍රකර පානය කිරීම ද සුදුසුවේ.  ඊට අමතරව සැවැන්දරා මුල් ගෙන ඇල්දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැයකට පසුව ස්නානය කිරීම යෝග්‍ය වේ. එනම් මින් ශරීරගත දාහය දුරු කර ශරීරය සිසිල් කර ගත හැකිය. 

වමනය නවතයි. නොනවත්වා ඇතිවන වමනය සුව කිරීම සඳහා සැවැන්දරා තෙල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සැවැන්දරා නිස්සාරණය කිරීමෙන් ලබාගත් තෙල් බින්දු දෙකක් දිවග ආලේප කිරීම මගින් වමනය සුව කරගත හැකිය. 

කුරුලෑ රෝග සමනය කරයි.සම මත ඇතිවන කුරුලෑ සමනය කිරීම සඳහා ආයුර්වේදයේ භාවිතා කරන ඖෂධයක් ලෙස සැවැන්දරා ශාකය හැඳින්විය හැකිය. එනම් කුරුලෑ ඇතිවීම වලක්වාගැනීමට සැවැන්දරා මුල් සුදු හඳුන් අඹරා මුහුණ මත ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හැරීම මගින් කුරුලෑ නැවත ඇතිවීම වලක්වා ගත හැකිය. එමෙන්ම මෙමගින් සම පැහැපත් කර ගත හැකිය. 

මානසික රෝග සමනය කරයි.මානසික ආතතිය කාංසාව වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස සැවැන්දරා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සැවැන්දරා දුම් හා තෙල් යොදා ගත හැකිය. එනම් මෙමගින් ස්නායු ලිහිල් කර මානසික රෝග සමනය කිරීම සිදු කරනු ලැබේ. 

කාන්තා ප්‍රදර රෝග සුව කරයි.කාන්තා ප්‍රදර රෝග සුව කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස සැවැන්දරා හැඳින්විය හැකිය. එනම් සැවැන්දරා කෂායක් ලෙස සකසා පානය කිරීම මෙහිදී සිදු කරනු ලබයි. කෂාය සකස් කිරීම සඳහා සැවැන්දරා මුල්, ඉරිවේරිය, ගල්කූර මුල්, ඉරමුසු, හාතවාරිය මුල්, වැල් මී, වැල්මදට, මානෙල් අල, මුද්දරස්පලම් කලං එකයි මදටිය හතර බැගින් ගෙන  වතුර පත අටක් දමා පත එකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම මගින් මෙම රෝග සුව කර ගත හැකිය. 

හිසරදය සමනය කරයි.වේදනා ගෙනදෙන හිසරදය හා හිසෙහි පවතින බර ගතිය සමනය කිරීම සඳහා අඟුරු මතට සැවැන්දරා මුල් කිහිපයක් දමා එම නගින දුම් ආග්‍රහණය කිරීම යෝග්‍ය වේ. 

  • ආහාර රුචිය වර්ධනය කිරීමට
  • සුවබර නින්දක් ලබා ගැනීමට
  • සම පැහැපත් කර ගැනීමට
  • හිසකෙස් වර්ධනය කිරීමට
  • සෙම හා පිත නාශනයට
  • ප්‍රතිශක්තිකරණය වර්ධනයට 

මේ ආදී වූ රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස සැවැන්දරා භාවිතා කළ හැකිය. නමුදු අත් බෙහෙත් භාවිතා කරන විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.