විටමින් සී ඌණතාවයක් ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ 8 ක්

health tips

විටමින් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක්. මේ විටමින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරව පවත්වාගෙන යාමට වගේම කාබෝහයිඩ්රේට්, මේදය, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගන්නට උදව් වන එන්සයිම ක්‍රියාකාරී වීමටත් විටමින් වර්ග අවශ්‍ය වෙනවා. ඒ හැරුණාම ශරීරය විවිධාකාරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නට වගේම  මුළු ශරීරයේම වර්ධනයටත් මේ විටමින් අත්‍යවශ්‍ය වෙනවා. විටමින් C කියන්නේ ප්‍රතිලාභ බොහොමයක් අපේ ශරීරයට ලබාදෙන විටමිනයක්. අද අපි ඔබ සමඟ කතා කරන්නේ  අද බොහෝදෙනෙක්  සම පැහැපත් කර ගන්නටත් බහුලවම ලබා ගන්නා  විටමින් C  පිළිබඳව.

ඇස්කොබික් අම්ලය ලෙස හඳුනා ගන්නා විටමින් C ක්ෂුද්‍ර පෝෂකයක් ලෙස හඳුන්වනු ලබනවා. විටමින් C අප ගනු ලබන ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට අවශෝෂණය කර ගැනීමේදී බෙහෙවින් වැදගත් වෙනවා. ඒ හැරුණාම සම, කාටිලේජ, අස්ථි, කණ්ඩරාවන්, දත් රුධිරවාහිනි ආදිය නඩත්තුවට වගේම ප්‍රතිසංස්කරණයටත් අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට විටමින් C විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා. ඒ වගේම සමේ විවිධ ආසාදන සුව කරන්නටත් විටමින්වලට හැකියාව පවතිනවා. ඒ නිසා විටමින් C අපේ ශරීරයට ඕන කරන විටමිනයක් ලෙස වැදගත් වෙනවා. 

නමුත් අපේ ශරීරය තුළ ඒ විටමිනය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති නිසා දෛනිකව අපි ගනු ලබන ආහාරවලින් ඒ විටමින් අවශ්‍යතාවය සපුරා ගනු ලබනවා. ඒ වගේම තමයි මේ විටමින් C  ගබඩා කර තබා ගන්නට හැකියාවකුත් නැහැ. ඒ නිසාවෙන් දෛනිකව විටමින් C අපේ ශරීරයට ලබා ගන්නට සිද්ධ වෙනවා. විටමින් C ඌණතාවයක් ඇතිවිටෙක අපේ ශරීරයට අවශ්‍ය විටමින් C අතිරේකයක් ලෙස ලබා ගන්නටත් විටමින් C බහුල ආහාර මගින් ඒ අවශ්‍යතාවය සපුරා ගන්නටත් හැකියාව ලැබෙනවා. නමුත් මේ විටමින් C අපේ ශරීරයේ  අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඇත්නම් එය බිය වන්නට කාරණවාක් නෙවෙයි. මොකද මේ විටමිනය ජලයේ දියවෙන නිසා එය ශරීරයෙන් ඉතා පහසුවෙන්  මුත්‍රා  සමඟ පිට වී යනවා. නමුත් ඇතැම් විටමින් වර්ග නම් ශරීරයට අධික ප්‍රමාණයකින් ලැබීම නොයෙකුත් ලෙඩ රෝග ඇති කරන්නට සමත් වෙන බවත් මතකයේ තබා ගන්න.

දෛනික විටමින් C අවශ්‍යතාවය පුද්ගලයාගේ වයස, උස, බර වගේම ගර්භනී අයෙක් ද මව්කිරි ලබාදෙන මවක් ද යන්න වගේම ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් දෛනිකව ලබාගත යුතු විටමින් C ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවක් සඳහා විටමින් C දෛනික අවශ්‍ය වෙන ප්‍රමාණය වෙන්නේ  මිලිග්‍රෑම්  75 ක්. පිරිමි පාර්ශවයේ අයෙකුට මිලිග්‍රෑම් 90 ක් දෛනිකව ලබාගත යුතු වෙනවා.පෙති වශයෙන් ගත්විට මිලිග්‍රෑම් 100, 500, සහ මිලිග්‍රෑම් 1000 ආදී වශයෙන් දැක ගන්නට පුළුවන්. නමුත් දෛනිකව අපිට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය මිලිග්‍රෑම් 75-90 ත් අතර ප්‍රමාණයක්.

විටමින් C ලබාගත හැකි හොඳම ක්‍රමය ටැබ්ලට් වශයෙන් විටමින් C ලබාගන්නවාට වඩා වැදගත් වෙන්නේ ස්වභාවික එළවලු සහ පලතුරු ආදිය මගින් දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරා ගැනීම. විශේෂයෙන්ම පැගිරි කුලයේ පලතුරු වගේම තක්කාලි ආදී එළවලුවලත් විටමින් C අන්තර්ගත වෙනවා. මේ විටමින් C පලතුරු හැරුණාම එළවලුවලත් බහුලව අඩංගු වුණත් පිසීමේදී  විටමින් C බොහෝසෙයින් විනාශ වී යාමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම එළවලු හෝ පලතුරු සිහින්ව කැපීමේදී වගේම අධික උෂ්ණත්වය යටතේ ආහාර පිසීමේදීත් මේ විටමින් C විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව  සැලකිලිමත් වෙන්න. 

දිනකට දෙහි යුෂ හෝ දොඩම් යුෂ වීදුරුවක් ආදී වශයෙන් ගන්නට හැකි නම් සහ විටමින් C බහුල එළවලු පලතුරු දෛනිකව ආහාරයට එකතු කර ගන්නට හැකි නම් ඒ පුද්ගලයාට ටැබ්ලට් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් එවැනි ආහාර ගන්නට හැකියාවක් ඇති අයෙක් පෙති වශයෙන් ගන්නට පුළුවන්. එහිදී මිලිග්‍රෑම් 100 වගේම 500ත් භාවිතා කරන්නට හැකි නමුත් මිලිග්‍රෑම් 1000 අපේ ශරීරයට අහිතකර වන්නට පුළුවන්. විශේෂයෙන්ම මිලිග්‍රෑම් 2000 සහ ඊට වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබුණොත් එය අපේ ශරීරයට විෂ සහිත වන්නට පුළුවන්. ඒ නිසා මිලිග්‍රෑම් 1000 ක් විටමින් C ප්‍රමාණයක් ශරීරයට ලබාගෙන අපි ගන්නා අනිකුත් එළවලු පලතුරුවලින් තවත් මිලි ග්‍රෑම් 1000 ක පමණ ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබුණොත් අපේ ශරීරයට විටමින් C අධි මාත්‍රාවකින් ලැබී ඇති නිසා අහිතකර තත්ත්වයක් ඇති වන්නට පුළුවන්.

විටමින් C  ගත යුතු හොඳම වේලාව විටමින් C ගත යුතු හොඳම වේලාව වෙන්නේ උදෑසන කාලය. උදේ ආහාරයට  විනාඩි 45 ට පමණ පෙර  හිස්බඩ පානය කිරීම ඉතාම සුදුසුයි. නමුත් අමිල පිත්ත රෝගය ඇති අයෙක් නම් උදෑසන ආහාරවේලෙන් පසුව එය භාවිතා කිරීම ගැටළුවක් වෙන්නේ නැහැ.

විටමින් C වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ 

  • විටමින් C ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.සිරුරේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන්නට දායක වෙනවා.එය අපේ සම රැළි වැටීම වළක්වා  ගන්නවා වගේම වයසට යාමත් පාලනය කරනවා.
  • පිළිකාකාරක ඉවත් කිරීමට උපකාරී වෙනවා.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් එහි ක්‍රියාකාරිත්වය යහපත්ව පවත්වා ගන්නට උපකාරී වෙනවා.
  • විටමින් C ග්ලූටතයෝන් හායනය වීම වළක්වනවා. එනම් ශරීරය තුළදී ග්ලූටතයෝන්  විනාශ වීම වළක්වා ගන්නට මේ විටමිනය දායක වෙනවා. ඒ නිසා ශරීරයේ ඇති ග්ලූටතයෝන් ප්‍රමාණය වැඩිවෙන නිසා සමට පැහැපත් බවක් ගෙනදෙනවා. නමුත් එය සුදුවීමක් නම් නෙවෙයි. සුදුවීමේ අරමුණින් විටමින් C අධි මාත්‍රාවක් ශරීරයට ගැනීමත් අහිතකරයි වගේම එයින් කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නැහැ. මොකද අනවශ්‍ය විටමින් ප්‍රමාණය මුත්‍රා මගින් ශරීරයෙන් ඉවත්ව යන නිසා.
  • විටමින් C අධි මාත්‍රාවෙන් ගැනීමේ අතුරු ආබාධ විටමින් C අධි මාත්‍රාවෙන් ශරීරයට ලබාගතහොත් විශේෂයෙන්ම මිලිග්‍රෑම් 2000ට වඩා ශරීරයට ලැබීම බොහෝවිට වකුගඩු සහ මුත්‍රා ගල් ඇති වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා දෛනිකව අවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතා කිරීමයි වඩා සුදුසු.ඒ හැරුණාම වමනය වුණත් මේ තත්ත්වයේදී ඇති වෙන්නට පුළුවන්.
  •  විටමින් C ඌණවීමකදී ඇතිවන තත්ත්වයන් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට විටමින් C නොලැබීමෙන්  අපහසුතා ඇති වන්නට පුළුවන්. ඒවා මේ විටමිනය ඌණවී ඇති බව ඉතා පහසුවෙන් හඳුනා ගන්නට උපකාරී වෙනවා.
  • පේශිවල වේදනාව ඇතිවීම 
  • විදුරුමස්වලින් ලේ ගැලීම 
  • නාසයෙන් නිතර ලේ ගැලීම 
  • කොණ්ඩය ගැලවී යාම 
  • දිවා  කාලයේ නිදිමත 
  • නිතර ලෙඩවීම 
  • සම වියළී අඳුරු පැහැයක් ගැනීම 
  • මේ ඌණතාවය කාලයක් පැවතීම සමේ තැන් තැන්වල ලේ පැල්ලම් ඇතිවන්නටත් හේතු වෙනවා.

විටමින් C භාවිතයේදී මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත්ව භාවිතා කිරීමෙන් අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නට ඔබට පුළුවන්.