අද කාන්තා පිරිමි බොහෝදෙනා හිසකෙස් ගැලවීයාම වළක්වා ගන්නට හිසකෙස් වර්ධනයට සමේ පැහැපත්භාවයට ආදී රූපලාවන්‍ය ප්‍රතිලාභ සඳහා වැඩි වශයෙන් මේ විටමින් E ඖෂධය භාවිතයට ගනු ලබනවා. බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් පවා මේ විටමින් වර්ගය භාවිතා කරන ලෙස උපදෙස් ලබා දෙනවා.වෙළදපොලේ බහුලව විවිධ නාමයන් යටතේ විවිධාකාර ද්‍රව්‍යයන් විදියට මේ විටමින් E විකිණීමට තියෙනවා. ඒ නිසා නිසි අවබෝධයකින් තොරව මේ විටමින් E භාවිතා කරන්නට බොහෝදෙනා පුරුදු වෙලා ඉන්නවා. නමුත් සැබැවින්ම විටමින් E වලින් අපි බලාපොරොත්තුවන කරුණු කාරණා ඉෂ්ට වෙනවාද කියන කාරණය පිළිබඳව බොහෝ අය දරන්නේ මිත්‍යා අදහස්. මොකද විටමින් E සිරුරට බාහිරින් ලබා ගන්නට අවශ්‍ය වන විටමිනයක් නොවෙයි. ඒ වගේම අධික ලෙස හිතුමතේට මේ විටමිනය ගැනීම ලෙඩරෝග බොහොමයකට අතවැනීමක් බව බොහෝදෙනා දන්නේ නැහැ. ඉතින් අනවබෝධයෙන් බොහෝදෙනා භාවිතා කරන විටමින් E පිළිබඳවයි අද ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ.
ඇතැම් විට ඔබ දැනටමත් වෛද්‍ය නිර්දේශය ඇතුව හෝ ඔබේ අවශ්‍යතාවය අනුව මේ විටමින් E භාවිතා කරනවා වෙන්නට පුළුවන්. ඇතැම් පුද්ගලයන් මේ විටමින් E අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයන් වලක්වා ගන්නට භාවිතා කරනවා. ඒ වගේම වයස්ගත වෙද්දි ඇතිවන මතකය අඩුවීම කියන තත්ත්වය වළක්වා ගන්නටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇතිවීම වළක්වා ගන්නටත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා නීරෝගීව තබා ගැනීමේ අරමුණින් පවා මේ විටමින් E භාවිතා කරනු ලබනවා. ඒ වගේම හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරගන්නට වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය සම හිසකෙස්, නිය ආදියේ දුර්වලතා වළක්වා ගන්නට ඒවායේ නීරෝගී පැවැත්මට විටමින් E භාවිතා කරනු ලබනවා.
නමුත් මේ වන විට විටමින් E සතුව ඉහත සඳහන් රෝගවලින් වැළකෙන්නට හැකියාව ඇති බව පර්යේෂණවලින් සනාථ කරගෙන නැහැ. විශේෂයෙන්ම මීට වසර 30 ට පමණ පෙර වෛද්‍යවරුන් හදවත් රෝගීන්ට විටමින් E නිර්දේශ කළත් පසුව කළ සායනිකව කළ අත්හදා බැලීම්වලින් එහි සත්‍යතාවයක් නොමැති බව හෙළි කරගෙන තියෙනවා. ඒ වගේම පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ සප්ලිමන්ට් එකක් ලෙස බාහිරින් මේ විටමින් E ලබා ගන්නවාට වඩා අප ගනු ලබන ආහාර මගින් ඒ අවශ්‍ය කරන විටමින් E ලබා ගැනීම වඩා සුදුසු වන බවයි.

විටමින් E බහුල වශයෙන් අන්තර්ගත වන ආහාර
- කැනෝලා තෙල් හා ඔලිව් තෙල්
- කජු, රට කජු, ආමන්ඩ්
- සූරියකාන්ත ඇට
- මස් මාළු, බිත්තර ආදී සත්ත්ව ආහාර
- නිවිති, බ්රොකෝලි සහ කොළ පැහැති පලා වර්ග
- අඹ, කිවි
විටමින් E
- මේද ද්‍රාවී විටමින් වර්ගයකි
- මේදය සමඟ දියවෙමින් ශරීරයට අවශෝෂණය කරගනියි
- විවිධ ස්ථානවලට මේදය මගින් පරිවහනය කරයි
- ශරීරය තුළ එක්රැස්වීමේ හැකියාව පවතියි.
- ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
විටමින් E ,
- නින්දේදී කෙණ්ඩා පෙරළීම වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරයි.
- මීට වසර 4 ට පෙර සිදු කරන ලද අධ්‍යයනයට අනුව ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ නිසා ඇතිවන සංකූලතාවයක් වන රුධිර ගලනය අඩු කරන්නට විටමින් E යොදාගත හැකි බව හෙළි කරගෙන ඇත.
- ශරීරයේ සෛල විනාශ වී යාම අඩු කිරීමට උපකාර කරයි.
- සමේ සුළු පිළිස්සීම්වලදී හිරු එළියට සම පිළිස්සීමේදී තාවකාලික විසඳුමක් ලෙස විටමින් E ආලේප කරයි.
විටමින් E අධිකව ගැනීමෙන් සිරුරට ඇතිකරන අහිතකර බලපෑම්

සාමාන්‍යයෙන් දෛනිකව අපේ ශරීරයට විටමින් E ලබාගත යුතු ප්‍රමාණය වන්නේ 15 mg ක් තරම් ඉතා අඩු ප්‍රමාණයක්. නමුත් අපි සප්ලිමන්ට් ලෙස මෙය ලබා ගැනීමේදී 400 mg 500 mg වගේ ඉහළ අගයන්වලට යනවා. නමුත් සාමාන්‍යයෙන් දිනක් තුළ ආහාර මගින් හෝ ආහාර අතිරේක මගින් හෝ ලබා ගත හැකි උපරිම විටමින් E ප්‍රමාණය වන්නේ 1000mg .මේ ප්‍රමාණයට වඩා පුද්ගලයෙකු විටමින් E භාවිතා කළොත් එය බොහෝ රෝගයන් ඇතිකිරීමේ අවදානමක් ඇති කරනවා.
- ශරීරයේ ආසාදන ඇති කරයි
- විෂබීජ ශරීරගතවීම නිසා ඇතිවන උණ තත්ත්වයන් බහුලව ඇති වෙයි
- දීර්ඝ කාලයක් විටමින් E ලබාගැනීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩි කරයි
විටමින් Eලබා ගැනීමේදී නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්
- වෙනත් ඖෂධ ලබාගන්නා අතරේ විටමින් E ලබා ගැනීමත් අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන්.
- විශේෂයෙන්ම ඇස්පෙරීන්, වෝපරීන් ආදී ඖෂධ ලබ ගන්නා විට විටමින් E ඒ ඖෂධ සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් ඒ ඖෂධවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි .
- පියයුරු පිළිකා සඳහා භාවිතා කරන ටැමොක්සිෆන් කියන ඖෂධය සමඟත් විටමින් E අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව පවතියි.
- අවයව බද්ද කිරීමකින් පසුව ලබාදෙන සයිකෝස්පොරින් කියන ඖෂධය සමඟින් භාවිතා කිරීමේදී සැලකිලිමත් වියි යුතුයි.
- වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයෙක් නම් එවැනි අයෙකුගේ සිරුරේ අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවිය හැකි නිසා එය අවදානම වැඩි කරයි. විටමින් E සතු රුධිර කැටි ගැසීම වැළැක්වීමේ හැකියාව නිසා බාහිර තුවාලයක් වූ විට හෝ අභ්‍යන්තර රුධිර ගැලීමකදී රුධිරය කැටි ගැසීම නිසා රුධිර වහනය නතර නොවීමෙන් භයානක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මොළයේ රුධිර පාලනයන් නිතර සිදු වෙන්නටත් මේ විටමින් E හේතු වෙන්නට පුළුවන්.

විටමින් E සප්ලිමන්ට් ලෙස භාවිතා කිරීම අත්‍යවශ්‍ය ද? අද බොහෝදෙනා ඉහත සඳහන් කල විවිධ අරමුණු උදෙසා මේ විටමින් E සප්ලිමන්ට් ලෙස ලබා ගත්තත් එය අත්‍යවශ්‍ය නොවන වග පර්යේෂණවලින් පෙන්වා දී තියෙනවා. දිනකට පුද්ගලයෙකුට ඉතා කුඩා ප්‍රමාණයක් විටමින් E අවශ්‍ය වන නිසා සහ කෘතීමව නිපදවන අතිරේකයන් ගැනීම ශරීරයට අහිතකර නිසාත් සාමාන්‍ය පුද්ගලයන් අතර විටමින් E ඌණතාවයන් දකින්නට ලැබෙන්නේ නැහැ.
විටමින් E ඌණතාවයක් ඇතිවිය හැක්කේ,අක්මාව ආශ්‍රිත ,අග්න්‍යාශය ආශ්‍රිත සහ බඩවැල් ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන්ටයි.එවැනි පුද්ගලයන්ගේ විටමින් E ශරීරයට අවශෝෂණය කරගැනීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට ස්නායු දුර්වල වීම, ශරීරයේ සමබරතාවය නැතිව යාම, රුධිර නාල ඉක්මනින් විනාශ වීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
ඒ වගේම මේ විටමින් E ලබාගත්තත් ඒ සමඟම මේදය ලබා ගැනීම සිදු කරන්නේ නැත්නම් ඒවා අපේ ශරීරයට අවශෝෂණය වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඇතැම්විට කොළ පැහැ පලාවක් ආහාරයට ගන්නා ඔබ ඒ සමඟම මේදය සහිත ආහාරයක් ලබා නොගතහොත් පලා සතු විටමින් E අපේ ශරීරයට අවශෝෂණය වන්නේ නැහැ.ඒ නිසා විටමින් E තම අවශ්‍යතාවය පරිදි පානය කරන අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.