භූගත කඳකින් යුක්ත වද කහ පැලෑටිය බොහෝවිට අපට හඳුනාගත හැකි වන්නේ තෙතමනයක් සහිත පරිසර පද්ධති තුළ වේ. විශේෂයෙන් කුඹුරු හෝ වගුරු බිම් ආශ්‍රිතව මෙම පැළෑටිය බහුලව දැකගත හැකිය. තරමක දිගටි පත්‍ර පිහිටන අතර පත්‍රවල මැද නාරටිය ඝනකමින් යුක්ත වේ. එමෙන්ම ද්වීලිංගික පුෂ්ප වද කහ ශාකයේ දැකගත හැකි අතර ඒවා කහ හා කොළ පැහැයෙන් යුක්ත වේ. වද කහ පැළෑටියේ අලය සැර සුගන්ධයක් සහිත වන අතර ඵලයේ බීජ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දැකගත හැකිය.
ඖෂධීය ගුණයෙන් අනූන පැළෑටි විශේෂයක් ලෙස ද වද කහ ශාකය හඳුනා ගත හැකි අතර විශේෂයෙන් වද කහ අල ඇතුළු ශාකයේ සෙසු කොටස් විවිධ රෝග සඳහා ඖෂධ ලෙස භාවිතා කරනු ලබයි.

මෙම පැළෑටියේ ඖෂධීය ගුණ රාශියක්ම පවතින අතර ඉන් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.
වාජිකරණ ගුණය
මස්තිෂ්ක උත්තේජන ගුණය
විස නැසීමේ ගුණය
ඇස් වලට හිතකර ගුණය
ආම දෝෂ නැසීමේ ගුණය
හෘද උත්තේජන ගුණය
ආහාර රුචිය වැඩිමේ ගුණය
චර්ම දෝෂ නැසීමේ ගුණය
වමන කාරක ගුණය
ආදී වශයෙන් ඖෂධීය ගුණ කර්ම රැසක් ලබා ගැනීම සඳහා ඉවහල් වන පැළෑටියක් ලෙස වද කහ පැළෑටිය පෙන්වාදිය හැකිය.
වද කහ පැලෑටියේ පවතින ඖෂධීය වැදගත්කම නිසාවෙන්ම ශරීරයේ ඇති වන බොහෝ ලෙඩ රෝග සඳහා පිළියම් සපයනු ලැබීමට සමත් පැළෑටියකි. ඒ අනුව මිනිස් සිරුරට ලබා ගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳ පහත පරිදි කරුණු පෙන්වා දිය හැකිය.

කුඩා දරුවන්ට ඇතිවන උගුරේ ආසාදන හා කැස්ස සුව කරයි.
විශේෂයෙන් මේ සඳහා පිරිසිදු වදකහ මුල් අවශ්‍ය වන අතර ඒවා හොඳින් සපා ගිලීමට සැලැස්වීමෙන් උගුරේ ඇතිවන ආසාදන තත්ත්වයන් සහ කැස්ස ඉක්මනින් සුවපත් කරගත හැකිය.
මස්තිෂ්ක රෝග සහ අපස්මාරය සුව කරයි.
මෙම රෝග සඳහා සුවයක් සලසාගැනීමට වද කහ අල චූර්ණය භාවිත කරයි. එම චූර්ණය එළඟි තෙල් වලින් හෝ තල තෙල් වලින් ලේහ කොට එලකිරි සමග පානය කිරීමට සැලැස්වීමෙන් බොහෝ දුරට ඉහත කී ආකාරයේ මස්තිෂ්ක රෝග හා අපස්මාරය රෝගවලට සහනයක් සලසා ගත හැකිය.
විස නසයි.
විශේෂයෙන් සර්ප දෂ්ඨනයන් වලදී ඇතිවන විස හා ජාපාල විස නැසීම සඳහා වද කහ චූර්ණය ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස භාවිත කළ හැකිය.
පණූ වමනය සුව කරයි.
මේ සඳහා වද කහ අල කැබැල්ලක් අවශ්‍ය වන අතර එය උණු අළු පල්ලේ දමා තම්බා දෙහි ඇඹුල් හා මී පැණි වලින් ගලගා වරකට බිංදු 10 – 15 අතර ප්‍රමාණයක් පානය කිරීමට ලබා දිය යුතුය. එවිට පණු වමන තත්ත්වය සුවපත් කරගත හැකිය.
කුඩා දරුවන්ගේ උදර වේදනා සුවපත් කරයි.
මෙහිදී උදර වේදනා පමණක් නොව පාචන තත්ත්වයන්, බඩ පිපුම තත්ත්වයන් ආදිය ද සුවපත් කර ගැනීම සඳහා අමු වද කහ අල කැබැල්ලක් ගලගා එම ආලේපනය දරුවාගේ පෙකිනිය වටේට ආලේප කළ යුතුය. එමඟින් සුවයක් සලසාගැනීමට හැකියාව ලැබේ.
මීට අමතරව වදකහ අල කැබැල්ලක් උණු අළු පල්ලේ තම්බා තන කිරෙන් හෝ දෙහි ඇඹුලින් ගලගා ඉන් බින්දු කිහිපයක් පෙවීම මගින් ද ඉහත කී ආකාරයේ උදර වේදනා තත්ත්වයන් සුවපත් කරගත හැකිය.
කුඩා දරුවන්ට ඇතිවන අතීසාර තත්ත්වයන් සුව කරයි.
විශේෂයෙන් මේ සඳහා වද කහ අල කැබැල්ලක් පුළුස්සා එම අළු මී පැණි වලින් දියකර රෝගියාට පෙවීම හරහා ළදරු අතීසාරය මෙන්ම ජල සන්නිය ද සුවකර ගත හැකිය.
මීට අමතරව කුඩා දරුවන්ට ඇතිවන අතීසාර තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා පහත කසාය ද වඩාත් සුදුසු වේ. ඒ සඳහා වියලි වද කහ අල, කෙලිඳ සහල්, කටුවැල් බටු, වැල්මී හා වෙනිවැල්ගැට සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන කසාය සකසා ගත යුතුය.
ආසාත්මිකතා සුව කරයි.
විශේෂයෙන් මිනිස් සිරුරේ ඇතිවන ආසාත්මිකතා විවිධාකාර වේ. ඒ අනුව වමනය සහ ඔක්කාරය ඇති වීම, හිසරදය ඇතිවීම, ශරීරයේ පලු මතුවීම, ශරීරයේ කැසීම් ඇතිවීම, ඇස් රතුවීම, ශරීරය ඉදිමීම, උණ ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුතා ආදී ආසාත්මිකතා ඇතිවුවහොත් වද කහ අල දෙහි ඇඹුලින් ගලගා එම යුෂ පානය කිරීමට ලබා දීම සිදුවේ. එවිට ඉහත ආසාත්මිකතා සුවකර ගත හැකිය.
සෙම්ගෙඩි නසයි.
සෙම්ගෙඩි තත්ත්වයන් ඇති වූ විට ඒවා සුවපත් කර ගැනීම සඳහා වද කහ අල කැබැල්ලක් ලුණු වතුරින් ගලගා එය ඇඹුල් දොඩම් යුෂ වලින් අනා උගුරේ ආලේප කිරීම සිදු කරයි. එමගින් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.
හිසේ කැක්කුම සුව කරයි.
වදකහ අල හා හීං අරත්ත අල උණු වතුරින් අඹරා එම ආලේපනයෙන් නලලේ පැලැස්තර යෙදීම මගින් හිසේ කැක්කුම සුවපත් කරගත හැකිය.
වාත අමාරු සුව කරයි.
මේ සදහා වදකහ අල විනාකිරි භාවිතයෙන් අඹරා ආලේප කිරීම සුදුසු වන අතර වාතය කිපීමෙන් ඇතිවන වේදනාවන් ඉන් සුවපත් කරගත හැකි ය.
බුද්ධි වර්ධනය කරයි.
මේ සදහා වියලාගත් වදකහ අල කුඩු අවශ්‍ය වන අතර වරකට මදටිය ඇටයක ප්‍රමාණයක් එලකිරිත් සමග පානය කිරීමට සැලැස්වීම වඩාත් යෝග්‍ය වේ. එව්ට බුද්ධි වර්ධනය වීම සිදු වේ.
ඉහත රෝග වලට අමතරව පහත ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ද වදකහ භාවිතයෙන් සපුරාගත හැකි ය.
කල්ගත වූ ආමවාතය සුව කරයි.
මුත්‍රා රෝග සුව කරයි.
හික්කා රෝග නසයි.
බෝවන රෝග වලින් ආරක්ෂාව සලසයි.
අන්ත්‍රදෝශ නසයි.
ආහාර අරුචිය නසයි.
ගණ්ඩමාල හා ගලගණ්ඩය සුව කරයි.
ආදී වශයෙන් පෙන්වාදිය හැකි ය.
එමෙන්ම ඈත අතීතයේ පටන්ම වදකහ ඖෂධය හා බැදුණු ඓතිහාසික කරුණු පවතී. එනම්,
කුඩා දරුවන්ට මවුකිරි සමග වදකහ යුෂ පෙවීම සිදු කර තිබේ.
විසබීජ වලින් ළදරුවන් ආරක්ෂා කිරීම සදහා වදකහ අල කුඩා කැබලි සිටින සේ කපා නූලක අමුණා ඉනේ බැදීම සිදුකර තිබේ.
ගෘහවාසී කුඩා කෘමීන් නැසීමට වියලි වදකහ කුඩු හා කපු පුලුන් මුසු කර සකස් කර ගන්නා බෝල ගෘහයේ තැන් තැන් වල තැබීම සිදුකර තිබේ.
සුවද විලවුන්, දන්තාලේප හා රූපලාවණ්‍ය නිශ්පාදනය සදහා වර්තමානයේ දී වදකහ භාවිත කරයි.
මේ අනුව පැහැදිලි වන්නේ වදකහ පැලෑටිය මිනිසාට ඖෂධීය වශයෙන් ඉතා වටිනා ශාකයක් බවයි.