අපි අද ආහාරයට ගන්නා බොහොමයක් එළවළු පලතුරු බහුලවම කෘෂි රසායනික භාවිතා කර වගා කරන ලද දේවල්. අපි වකුගඩුවලට හානිදායක වෙනත් කිසිවක් නොකළත් මේ ගන්නා ආහාරවල ඇති විෂ රසායන අපේ වකුගඩු හානියට පත් කර වකුගඩු ආශ්‍රිතව විවිධ ලෙඩ රෝග ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා මේ විෂ රසායන ද්‍රව්‍ය වකුගඩුවලින් සක්‍රියව ඉවත් වීම සිදු විය යුතු වෙනවා.
අපේ ශරීරයේ එකතු වෙන විෂ අපද්‍රව්‍ය ඉවත් කරන ඉන්ද්‍රියන් අතුරින් ඉතා වැදගත් ඉන්ද්‍රියක් තමයි මේ වකුගඩු. යූරියා, යූරික් අම්ලය, ක්‍රියටිනයින් ආදී නයිට්‍රජනීය අපද්‍රව්‍ය මුත්‍රා සමඟ බැහැර කරවීම, හෝමෝන නිෂ්පාදනය සහ රුධිරයේ පවතින අතිරේක තරල සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, රුධිර පිරිපහදු කිරීම ආදී ඉතා සුවිශේෂී කාර්යභාරයන් රාශියක් ඉටු කරන සුවිශේෂී අවයවයක් වන වකුගඩු දුර්වල වීම නිසා විවිධ රෝග තත්ත්වයන් අපිට ඇති වෙනවා.
දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය භාවිතය, අරිෂ්ට වර්ග භාවිතය සහ දීර්ඝකාලීන ඖෂධ භාවිතය වගේම දියවැඩියාව, මුත්‍රා ආසාදන, අධික රුධිර පීඩනය ආදී නොයෙකුත් ගැටලු හේතු කරගෙනත් වකුගඩු හානියට පත් වෙන්නට පුළුවන්. වකුගඩුවල ක්‍රියාකාරිත්වය දුර්වල වුණොත් අපේ ශරීරයේ එකතුවන විෂ නිසි පරිදි බැහැර නොවෙන නිසා එය වකුගඩු අකර්මන්‍ය කරන්නට වගේම අපේ සෞඛ්‍යයට හානිදායක බලපෑමක් ඇති කරන්නට හේතු වෙනවා.
ඒ නිසාවෙන් නිරෝගීව ජීවත් වෙන්න වකුගඩුවල විෂහරණය සඳහා අවශ්‍ය කරන ආහාර පාන අපි ලබාගත යුතු වෙනවා. ඒ නිසාවෙන් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ වකුගඩු පිරිසිදු කරන ස්වභාවික පාන වර්ග කිහිපයක් පිළිබඳව. මේ පාන වර්ග වකුගඩුවල ක්‍රියාකාරීත්වය මනාව සිදු කර ගන්නටත් ස්වභාවිකව වකුගඩු පවිත්‍ර කරවන්නත් නිරෝගී කරවන්නත් උදව් වෙනවා.
ජලය
ශරීරය විචලනය වීම වකුගඩු ගල් ඇතුළු වකුගඩු ආශ්‍රිත ගැටලු බොහොමයක් ඇති කරන්නට හේතුවක් වෙනවා .ඒ නිසා ශරීරය සජලව තබා ගන්නට අනිවාර්යෙන්ම ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට ලබා දීම අනිවාර්ය කාරණයක්. විශේෂයෙන්ම ඔබ නිතරම ව්‍යායාම් කරන කෙනෙක් නම් කාලගුණය ඉතා උණුසුම් නම් ඔබ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍යයි. ඉතින් ඉවත් වූ තරලවල අඩුපාඩුව පිරිමැසීම සඳහා හොඳින් ජලය පානය කිරීම කළ යුතු නමුත් වකුගඩු ආශ්‍රිතව යම් රෝගයකින් පෙළෙන කෙනෙක් නම් වැඩිපුර ජලය පානය කිරීම නොකළ යුතුයි.
කිවි පානය
අවශ්‍ය ද්‍රව්‍ය
කිවි ගෙඩි එකක්
කෙසෙල් ගෙඩි එකක්
දෙහි ගෙඩි භාගයක යුෂ
නැවුම් පාස්ලි දඬු කෑල්ලක්
වතුර කෝප්ප එකක්
සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයකට දෙහි ගෙඩි භාගයක යුෂ එකතු කර ගන්න. පොතු ඉවත් කරගත් කෙසෙල් සහ කිවි කැබලිවලට කපා එයටම එකතු කරගෙන පාස්ලී කැබැල්ලත් දමා වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මේ පානය දින හතක් පමණ උදේ ආහාරය ගැනීමට පෙර පානය කිරීමෙන් වකුගඩු ඉතා හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්.
ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් යුෂ පැසවීමකට ලක් කිරීම මගින් නිෂ්පාදනය කරන ඇපල් සයිඩර් විනාකිරි වකුගඩුවල විෂ ඉවත් කිරීමට සහ පෙරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට උදව් වෙනවා. ඒ වගේම අහිතකර රසායනික වර්ග ඉතාමත් හොඳින් දියකර මුත්‍රාවලට එකතු කරන්නට උදව් වෙනවා. වකුගඩුවල ගල් ඇති වීමේ ගැටලුවට ඇපල් සයිඩර් විනාකිරි හොඳම විසඳුමක්. වකුගඩු ගල් ඇති කරන්නට හේතු වෙන ඛනිජ වර්ග එක්රැස් වීමට ඉඩ නොදී ඒවා දියකර හරින්නට මෙය උදව් වෙනවා.
සාමාන්‍ය වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි තුනක් පමණ දමා පානය කිරීම පමණයි කරන්න තියෙන්නේ. මෙය දින තුනකට වරක් සිදු කිරීමෙන් වකුගඩුවල එකතු වෙලා තියෙන විශ ක්‍රමානුකූලව දියකර හරින්නට හැකියාව ලැබෙනවා.
පැණි කොමඩු යුෂ
පැණි කොමඩුවල ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. වකුගඩුවල අවක්ෂේප විදිහට තැන්පත් වෙන්නට ඉඩ තියෙන පොස්පේට් සල්ෆේට් ඇතුළු ලවන බොහොමයක් ජලයේ දියවෙන පොටෑසියම් ලවන බවට පත් කරලා මුත්‍රා සමග පිට කරන්නට පැණි කොමඩුවලට විශේෂ හැකියාවක් තියෙනවා.ඒ නිසා වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම පාලනය කරගන්නත් පවතින ගල් දියකර හරින්නත් මේ පැණි කොමඩුවලට පුළුවන්. පැණි කොමඩු ආහාරයක් විදිහට ගන්නවා වෙනුවට ඒවා යුෂ වශයෙන් පිළියෙල කර පානයට ගැනීමෙන් මේ ප්‍රතිලාභ අත්විඳින්නට පුළුවන්.
බීට් රූට් යුෂ
ලෝකය පුරාම ශරීරයේ විෂබීජහරණයට විශාල කාර්යභාරයක් සිදු කරන පානයක් විදිහට බීට්රූට් යුෂ ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසා මෙය වකුගඩුවල විෂ ඉවත් කරගන්නත් ඉතාම සුදුසු පානයක්. බීට් යුෂවල අඩංගු වෙන බීටයින් කියන සංයෝගය මෙහිදී ඉතාම වැදගත්. ප්‍රතිඔක්සිකාරකයක් වෙන මෙය මුත්‍රාවල ආම්ලික බව වැඩි කරන්නටත් උදව් වෙනවා.

මෙයින් වකුගඩුවල පෙරීමේ ක්‍රියාවලිය ඉතා පහසු කරමින් ඒවායේ ඇති විෂ ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම වකුගඩුවලට අහිතකර කැල්සියම්, පොස්පේට් එක්‍රැස් වීම අවම කරගන්නත් බීට් යුෂ උපකාරී වෙනවා. අමු බීට් රූට් ගෙඩියක් බ්ලෙන්ඩර් කර මේ පානය ඔබට සාදා ගන්නට පුළුවන්.සතියකට දින කිහිපයක් මේ පානය ලබාගැනීමෙන් ඔබේ වකුගඩු පිරිසිදු කරගන්න.
තක්කාලි යුෂ
විටමින්, ඛණිජ ද්‍රව්‍යය සහ තන්තු බොහොමයක් අඩංගු තක්කාලි යුෂ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර දේහයේ නිරෝගී පැවැත්ම සඳහා වූ කාර්යයභාරයන් රැසකට දායක වුණත් තක්කාලි යුෂ වඩාත්ම බලපාන්නේ අපේ වකුගඩුවලට. මේ තක්කාලි යුෂ මඟින් වකුගඩු ප්‍රතිස්ථාපනය හොඳින් සිදුවීම නිසා වකුගඩුවල පෙරීමේ ක්‍රියාවලිය මැනවින් සිදු වෙන්නට උදව්වක් වෙනවා.
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩර් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කර මේ පානය සකසා ගන්නට පුළුවන්.
කහ
විෂබීජනාශක ගුණයෙන් යුක්ත බහුකාර්ය නිවෙස් පිළියමක් විදියට සැලකෙන කහ බොහෝ රෝග සඳහා ඉතාම ගුණදායක ඔසුවක්. ප්‍රති ප්‍රදාහ ද්‍රව්‍ය අඩංගු වෙන නිසා වකුගඩු ප්‍රදාහය වගේම වෙනත් වකුගඩු ගැටලු ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්. ආහාර වේලට එකතු කර ගැනීම වගේම ඔබ පානය කරන කිරි වලට කහ තේ හැන්දක් එකතු කර කිරීම මගින් පවා වකුගඩු හොඳින් පිරිසුදු කිරීම ඇතුළු බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නත් හැකියාව ලැබෙනවා.
සතියකට දින කිහිපයක් මෙවැනි පානයන් ගැනීම වකුගඩු වගේම අක්මාව බඩවැල් ආදි අවයව පිරිසිදු කරගන්නත් උපකාරී වෙනවා