වැඩි වශයෙන් කාන්තාවන්ට හැදෙන සිරුරේ වතුර පිරීමේ රෝගය සුව කරන ක්‍රම 12 ක්

health tips

මිනිස් සිරුරේ නීරෝගිබවට සහ පැවැත්මට ජලය පානය කිරීම ඉතා වැදගත් වෙයි. අපේ සිරුරේ 60%ක්ම සමන්විත වන්නේ ජලයෙනි.එහෙත් ඇතැම් විට ඔබේ සිරුරේ අතිරික්තව ද ජලය තිබෙන්නට පුළුවන්. මෙය හඳුන්වන්නේ තරල තැන්පත්වීම (water retention) ලෙසයි.විශේෂයෙන්ම කාන්තාවන් තුළ ගැබිනි සමයේදී සහ ඔසප් සමයේදී මේ තත්වය වැඩි වශයෙන් ඇතිවීමේ ප්‍රවණතාවක් තිබිය හැකියි.සිරුරේ තරල තැන්පත්වීමත් සමඟ සිරුරේ බර වැඩිවීමට පටන්ගනියි.එහෙත් මේ තත්වය පහසුවෙන් පාලනය කරගැනීමට අනුගමනය කළ හැකි ක්‍රම තිබෙනවා.

  1. නිතිපතා ව්‍යායාම වල නිරතවෙන්න මෙමඟින් සිරුරේ ජල බර අඩුකරගැනීමට හොඳ සහයක් ලැබෙයි.පැයක් පමණ කාලයක් ව්‍යායාම කිරීමේදී ලීටර් 1/2-2ක් පමණ තරල සිරුරෙන් ඉවත්වෙන බව සඳහන්.එමෙන්ම ව්‍යායාම කිරීමේදී සෛල තුළ තැන්පත් වූ ජලය මාංශ පේශී වෙත පැමිණීමට පටන්ගනියි.ව්‍යායාම වලදී සිරුරෙන් හොඳින් දහඩිය පිටවෙයි. 
  1. හොඳ නින්දක් ලබාගන්න රාත්‍රියේදී සුවබර නින්දක් ලැබීම සිරුරේ ජලය එකතුවීමෙන් බර වැඩිවීමේ අවදානම අවම කරයි.සිරුරට හොඳ විවේකයක් ලැබීම ආහාර පාන සහ ව්‍යායාම වගේම ඉතා වැදගත් දෙයක්. ඔබ හොඳ නින්දක් නොලබන විට එය ඔබේ වකුගඩු වල ස්නායු වෙත බලපෑම් එල්ල කරයි.සිරුරේ සෝඩියම් සහ ජලය අතර සමතුලිතතාව නියාමනය කරන්නේ වකුගඩු විසිනි.දිනකට පැය 7-9ක නින්දක් ලැබීම සිරුරේ සජලතාව නියාමනයට, සිරුරේ තැන්පත් වූ ජලය ප්‍රමාණය අඩුකිරීමට සහය වෙයි.
  1. ආතතිය අඩුකරගන්න දිගු කලක් තිස්සේ ආතතියකින් පෙළෙන විට ඔබේ සිරුරේ අධිකව කෝර්ටිසෝල් හෝර්මෝන නිපදවෙයි.මෙම ආතති හෝර්මෝන සිරුරේ තරල තැන්පත්වීම වැඩිවීමට හේතුවෙයි.කෝර්ටිසෝල් මඟින් මෙම බලපෑම ඇතිකරන්නේ ඒවා මඟින් සිරුරේ ජල සමතුලිතතාව පාලනය කරන ADH හෙවත් ප්‍රති-මූත්‍රාවර්ධක හෝර්මෝන (Antidiuretic hormone) ඉහළ දැමීම සිදුකරන නිසයි.ADH නම් හෝර්මෝන මඟින් කොපමණ ප්‍රමාණයක් ජලය සිරුර තුළට පොම්ප කළ යුතු දැයි වකුගඩු වෙත සංඥා නිකුත්කරයි.ආතතිය අඩුකරගනිමින් මානසික සෞඛ්‍ය සාමාන්‍ය තත්වයට පත්කරගැනීම හරහා මෙම හෝර්මෝන මට්ටම් ඉහළ යාම පාලනය කරගැනීමට හැකිවේවි.
  1. ඉලෙක්ට්‍රොලයිට ලබාගන්න ඉලෙක්ට්‍රොලයිට වලට අයත් වන්නේ පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණයි.සිරුර තුළ ජල අන්තර්ගතය නියාමනය කිරීම වැනි වැදගත් කාර්යන් ‍රැසක් මෙම ඉලෙක්ට්‍රොලයිට මඟින් සිදුකරයි.මෙම මට්ටම් අසමතුලිත වී මෙන් (වඩාත් අඩු හෝ වඩාත් වැඩි වීමෙන්) සිරුර තුළ තරල තැන්පත්වීමට බලපෑ හැකියි.මෙහිදි ඔබේ සිරුරේ බර ද වැඩිවෙයි. ඔබ සිටින්නේ උණුසුම් පළාතක නම්,ඔබ ව්‍යායාම කරන හෝ අධිකව දහඩිය දමන කෙනෙක් නම් සිරුරෙන් පිටවන ඉලෙක්ට්‍රොලයිට සහිත ජලය ප්‍රමාණය වැඩි නිසා  මේ ගැන වඩාත් සැලකිලිමත්වන්න.ඔබ දිනකට ගොඩක් ජලය පානය කරනවා නම් එය සමතුලිත වීමට එලෙක්ට්‍රොලයිට ද සිරුරට ලබාගත යුතුයි.ලුණු අධික ආහාර සහ එලෙක්ට්‍රොලයිට අඩංගු සප්ලිමන්ට් වර්ග අධිකව නොගත යුතුයි. එවිට සිරුරේ බර වඩාත් වැඩිවීමට වුව ඉඩ තිබෙයි.
  1. ලුණු පරිභෝජනය සීමා කරන්න සිරුරේ ඇති ඉලෙක්ට්‍රොලයිට අතරින් වඩාත් බහුල සෝඩියම් ය.දිනපතා අප ගන්නා ආහාර පාන වල සෝඩියම් අනිවාර්යෙන් අඩංගු වීම ඊට හේතුවයි.වඩාත් අඩුවෙන් හෝ වඩාත් වැඩියෙන් ලුණු පරිභෝජනය නොකළ යුතුයි.සැකසූ ආහාර (processed food) වල ලුණු ඉතා අධිකයි.හොඳින් ජලය පානය නොකිරීම හා ව්‍යායාම නොකිරීමෙන් මෙම අධික සෝඩියම් මට්ටම් සිරුරේ තැන්පත්වීමට පටන්ගනියි.මින් සිරුරේ බර වැඩිවීමට බලපෑම් එල්ල වෙයි.
  1. මැග්නීසියම් අතිරේක පෝෂක ලබාගන්න මැග්නීසියම් සිරුරට අත්‍යවශ්‍ය පෝෂකයකි.සිරුරේ ක්‍රියාකාරීත්වයන් 600කට අධික ප්‍රමාණයක් සඳහා මැග්නීසියම් වැදගත් බව පර්යේෂකයින් සඳහන් කරයි.සිරුරේ ජලය තැන්පත්වීමේ මට්ටම ද එම කාර්යන් අතරින් එකකි.සිරුරේ ජලය අධික වීම නිසා බර වැඩිවීම පාලනය කිරීමට මැග්නීසියම් උපකාරි වෙයි.මේවා අඩංගු අතිරේක පෝෂක හෙවත් සප්ලිමන්ට් වර්ග ගැනීමෙන් සිරුරට ප්‍රමාණවත් තරම් මැග්නීසියම් පෝෂණයක් ලබාගත හැකියි. නමුත් නිසි වෛද්‍ය උපදෙස් යටතේ ඒවා ලබාගැනීම ඉතා වැදගත්.මැග්නීසියම් බහුල ආහාර පාන වර්ග ද පරිභෝජනයට එක්කරගන්න.
  1. ඩැන්ඩේලියන් තේ ඩැන්ඩේලියන් තේ සහ වෙනත් අතිරේක පෝෂක වර්ග සිරුරේ තරල තැන්පත්වීම අඩුකරවයි.ඩැන්ඩේලියන් වල මූත්‍රාවර්ධක ගුණාංග ඇති නිසා වකුගඩු වල ඇති අතිරික්ත සෝඩියම් මට්ටම් මූත්‍රා සමඟ බැහැර වීමට සලස්වයි.
  1. හොඳින් ජලය පානය කරන්න සිරුරේ තරල තැන්පත්වීම පාලනයට වැඩියෙන් ජලය පානය කිරීම උපකාරී වෙන්නේ කොහොමද කියා ඔබට සිතේවි. සිරුරේ සජලතාව (හොඳින් ජලය ලැබීම) නිසා සිරුරේ වතුර ‍රැ‍ඳෙන ප්‍රමාණය අඩුකරවයි.සිරුරට නිතර ජලය සැපයෙන බව සිරුර හඳුනාගන්නා නිසා මතු අවශ්‍යතා සඳහා ජලය තැන්පත්කරගැනීමට අවශ්‍ය නොමැති බව සිරුර තේරුම්ගනියි.ඒත් මින් අදහස් වෙන්නේ නිතර නිතර අධිකව ජලය පානය කරන්න කියා නම් නොවෙයි.පිපාසය ඇතිවන විට එය නොසළකා නොහැර හොඳින් ජලය පානය කරන්න.හොඳින් ජලය පානය කිරීම අක්මාව සහ වකුගඩු සෞඛ්‍යයට ඉතා හිතකරයි.
  1. සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබාගන්න පොටෑසියම් බහුල ආහාර පාන සිරුරේ ජලය තැන්පත්වීම අඩුකිරීමට සහය දෙයි.සිරුරේ සෝඩියම් මට්ටම් සමතුලිත කර මූත්‍රා පිටවීම වැඩිකරවයි.මැග්නීසියම් බහුල ආහාර පාන (ඩාක් චොකලට්, ධාන්‍ය, කොළ එළවළු) ද ඉතා ගුණදායකයි.බඩ පිපුම ඇතිකරවන ආහාර පාන වලින් වළකින්න. සැකසූ හා ක්ෂණික ආහාර වැනි ලුණු අධික ආහාර පාන වලින් වළකින්න.
  1. කාබෝහයිඩ්‍රේට ආහාර වලින් හැකිතාක් වළකින්න කාබෝහයිඩ්‍රේට අක්මාව සහ මාංශ පේශි තුළ තැන්පත් වීමේදී ජලය ද ඒ සමඟ තැන්පත්කරගනියි. ග්ලයිකොජන් එක් ග්‍රෑමයක් මඟින් ජලය ග්‍රෑම් 3-4ක් පමණ තැන්පත් කරගන්නා බව සඳහන් වෙයි.කාබෝහයිඩ්‍රේට අඩු ආහාර වේලකට (Low-carb diet) මාරු වීමත් සමඟ සිරුරේ වැඩි වෙනසක් ඔබට අත්දැකිය හැකි වන්නේ ද මේ නිසයි.සිරුරේ ග්ලයිකොජන් තැන්පත්වීම අඩුවන විට සිරුරේ තැන්පත් වන ජලය ප්‍රමාණය ද අඩුවෙයි. කාබෝහයිඩ්‍රේට මඟින් සිරුරේ ඉන්සියුලින් මට්ටම් ඉහළ දමයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ සෝඩියම් මට්ටම් මෙන්ම වකුගඩු තුළට නැවත අවශෝෂණය කරගන්නා ජලය ප්‍රමාණය ඉහළ යයි.
  1. කැෆේන්  කැෆේන් අතිරේක පෝෂක, තේ සහ කෝපි වල මූත්‍රාවර්ධක ගුණ ඇත.මූත්‍රා පිටවීම වැඩිකරන නිසා සිරුරේ ජල බර අඩුවීමට සහය වෙයි. අධික කැෆේන් පරිභෝජනය අහිතකරයි.
  1. ඇතැම් පුරුදු වෙනස්කරගන්න වැඩි වෙලාවක් එකම ඉරියව්වෙන් සිටීම, වාඩි වී සිටීම වගේ ක්‍රියාශීලීබව අඩු පුරුදු නිසා මෙම අවදානම වැඩි වෙන්නට පුළුවන්.එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් වාඩි වී ඉන්නා විට සිරුරේ රුධිර සංසරණය අඩුවී යයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස ජල ධාරණය වැඩිවෙයි.යම් ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් පසු බඩ පිපුම් ගතියක් දැනෙනවා නම් නැවත නැවත එම ආහාර පාන ගන්න එපා. සිරුර ඔබට ලබාදෙන එවැනි සංඥා නොසලකා හැරීම නුසුදුසුයි. සෝඩා පාන ගැනීමෙන් වළකින්න.

සිරුරේ තරල තැන්පත්වීම නිසා ඇතිවන ඉදිමුම වැනි රෝග ලක්ෂණ වලින් දිගින් දිගටම පෙළෙනවා නම්  වෛද්‍යවරයෙකු වෙත යොමුවී ප්‍රතිකාර ගන්න.වෛද්‍ය නිර්දේශයෙන් ලබාදෙන මූත්‍රාවර්ධක සහ පෙති ඖෂධ (water pills) මඟින් සිරුරේ තැන්පත්ව ඇති අතිරික්ත ජලය මූත්‍රා ලෙස බැහැර වීමට සලස්වනු ඇත.