ව්‍යායාම කරන විට ඒ භයානක ලක්ෂණ ආවොත් ඔබ අනිවාර්යෙන්ම කල යුතු දේ 

health tips

නිරෝගීව ජීවත් වෙන්නට නම් ව්‍යායාම අපේ ශරීරයට  අත්‍යවශ්‍යයි. ශාරීරික ක්‍රියාකාරකම් අඩු ජීවන රටාවක් ගත කරන කෙනෙක් නම් එවැනි පුද්ගලයන්ට විවිධ රෝග තත්ත්වයන් බහුලවම වැළඳෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ව්‍යායාම්වලින් තොර ඡීවන රටාව බොහෝ නිදන්ගත රෝගවලට හේතුවක්. නමුත් ශාරීරික  ක්‍රියාකාරීත්වය අඩු නම් ඔබ ව්‍යායාම් ආරම්භ කළ යුත්තේ ක්‍රමානුකූලවයි. අනතුරුව ක්‍රමයෙන් තවත් ව්‍යායාම් එකතු කරන්නට පුළුවන්. 

 කොහොම වුණත් මේ ව්‍යායාම් සිදුකරන අතර ඔබට මේ අපි කියන ලක්ෂණ ඇති වෙනවා නම් ඒවා වඩාත් සැලකිල්ලට භාජනය කළ යුතු ලක්ෂණ විදිහට සඳහන් කරන්න පුළුවන් මොකද ව්‍යායාම් කරන අවස්ථාවේදී ඇතිවන වෙහෙසත් එක්ක මෙවැනි ලක්ෂණ ඇතිවීම සාමාන්‍ය ලෙස සලකන නිසා බොහෝ විට ඔබට හෘදයාබාධයක් වුණත් මගහැරී යන්නට පුළුවන්. එහෙනම් බලමු මේ ලක්ෂණ මොනවද කියලා. 

හුස්ම හිරවීම

 ව්‍යායාම්වල නිරත වෙද්දී  පෙනහලුවලට වාතය ගමන් කරන මාර්ග අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වීම ව්‍යායාම්වල නිරත වෙන බොහෝ අයට ඇතිවන සාමාන්‍ය තත්වයක්. නමුත් මේ හති දැමීම සමගම තියුණු පපුවේ වේදනාවක් ඇති වේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව ඔබ වටහා ගත යුතුයි. ඔබ ව්‍යායාම්වල නිරත වෙද්දී හුස්ම හිරවීම සහ පපුවේ තියුණු වේදනාවක් දැනෙනවා නම් එය හදවතේ යම් ගැටලුවක් හේතුවෙන් සිදුවෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න

කෙටි හුස්ම 

ක්‍රීඩා කටයුතුවල දී දරාගන්න බැරි තරමට මහන්සි වීමකදී, වේගයෙන් ඇවිදීම හෝ පියගැට පෙළවල් නැගීම් ආදී කටයුතුවල දී කෙටි හුස්ම ඇතිවීමක් සිදු වෙනවා. ඒ වගේම ඇදුම රෝගීන්ටත් මෙවැනි තත්ත්වයන් අත්විදින්නට සිදු වෙනවා. එසේ නැත්නම් හදවතේ  යම් ගැටලුවක් නිසා මේ තත්වය ඇති වෙන්නත් පුළුවන්.  ඒ නිසා ඒ ඇන සැලකිලිමත් වෙන්න.

හෘද ස්පන්දන වේගය වැඩිවීම

ව්‍යායාම් ආරම්භ කරන්නට පෙර සහ පසුව හෘද ස්පන්දන වේගය පවතින ආකාරයට නෙමෙයි ඔබ ව්‍යායාම් කරන අවස්ථාවේදී හෘදය පවතින්නේ. ව්‍යායාම් කරන අවස්ථාවේදී හදවත අධික වේගයෙන් ගැහීමට ලක්වෙනවා . නමුත් ව්‍යායාම් කරද්දී මේ හෘද ස්පන්දනය අසාමාන්‍ය විදිහට වැඩිවීමක් සිදුවෙනවා නම් හෘද ස්පන්ද්නය වෙනස්  ආකාරයකින් සිදු වනවා නම් හෝ හෘදය තදින් ගැහීම, වෙව්ලීම, දෙදරීම සහ ඉහළ පහළ යාම වගේ සංවේදනයන් දැනෙන්නේ නම් එය හෘදයට අධික පීඩනයක් එල්ලවෙමින් පවතින බව පෙන්නුම් කරන්නක්.

ඔබ  ව්‍යායාම්වල නිරත වෙද්දි දිගින් දිගටම මේ තත්ත්වය අත්දකින්නට සිදුවෙනවා නම් එය  නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි.

පපුවේ වේදනාව

 ව්‍යායාම්වල  නිරත වෙද්දී පෙනහලු තුළට වාතය ගමන් කරන කුඩා මාර්ගයේ බාධක හේතුකරගෙන පපුවේ යම් වේදනාවක් හට ගන්න පුළුවන්. මුලින්ම සියුම් අපහසුතාවයක් විදියට හටගන්නා මෙය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. පසුව එය තියුණු පපුවේ වේදනාවක් ලෙස වර්ධනය වෙන්නට පුළුවන්. ඇතැම්විට .මේ පපුවේ වේදනාව ඇතිවී නැතිවෙන වේදනාවක් විදිහට ඇති වෙන්න පුළුවන්. මෙහිදී අධික පීඩනයකින් පපුව පිරි ඇති බවක් හෝ මිරිකීමක්  ඇති බවක් දැනෙනවා නම් ව්‍යායාම් කරද්දී එය  ක්‍රමයෙන් උත්සන්න වෙනවා නම් වේදනාව වැඩි වන්නේ නම් අනිවාර්යෙන්ම ඔබ  වෛද්‍යවරයකු හමුවට යා යුතු වෙනවා.

කරකැවිල්ල 

එක දිගට වී ව්‍යායාම්වල නිරත නොවුණු අයෙකුට  මාංශ පේශිවල විඩාවක් එක්ක වඩා දැඩි අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් ඒ අපහසුතාවයන් හැරුණාම ව්‍යායාම් කරන කාලය තුළදී කරකැවිල්ලක් ඇති වෙනවා නම් එය සාමාන්‍ය තත්ත්වයක් විදිහට සලකන්න බැහැ. මේ වගේ තත්ත්වයක් ඉතාම භයානකයි. ව්‍යායාම්වල නිරත වෙද්දි ක්ලාන්තය කරකැවිල්ල කියන ලක්ෂණ ඔබටත් අත්විදින්නට  සිද්ධ වෙනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවට යා යුතුයි.

මාංශ පේශිවල වේදනාව

ව්‍යායාම්වල නිරත වෙද්දී කොන්ද, බාහු, බෙල්ල, ආදී ශරීරයේ ඕනෑම කොටසක දරුණු වේදනාවක් ඇත්නම් එයත් නොසලකා හැරිය යුතු තත්වයක් නෙමෙයි. අපේ මුළු සිරුරටම රුධිරය පොම්ප කරන්නේ  හදවත මගින්. ඒ නිසා එමගින් එක් එක්  ප්‍රදේශවලට දැනෙන වේදනාව ශරීරයේ තවත් ස්ථානවල ඇති වෙනවා. ඒ නිසා සුළු මොහොතකින් උරහිස්වල බාහුවල වේදනාවන්  මතු වෙනවා නම් ව්‍යායාම නවතා ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යා යුතුයි.

ඔක්කාරය සමග දහදිය

 ව්‍යායාම්ව කිරීමේදී දහදිය පිටවීම සාමාන්‍ය දෙයක්. නමුත් අධිකවම දහදිය දැමීම,දහදිය දමමින් ශරීරයට සීතල දැනීම සහ  ඔක්කාර ගතිය ආදිය දැනෙනවා නම් එය  ශරීර අභ්‍යන්තරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා සිදුවන දෙයක් . ඒ නිසා එවැනි කරුණු ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි.

 ව්‍යායාම්වල නිරත වෙද්දී  මේ කරුණු කාරණා  ගැන ඔබ සැලකිලිමත් වුණොත්  හදවතේ ගැටළු වඩාත්  බරපතළ වෙන්නට පෙර හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර  ලබාගන්නට හැකියාව ලැබෙනවා.