සන්ධි ආශ්‍රිතව අසන්නට ලැබෙන රෝග අතරේ ආතරයිටීස් කියන්නේ වැඩිදෙනෙක් ගොදුරු වෙන රෝගයක්. ශරීරයේ එක් සන්ධියක් හෝ සන්ධි කිහිපයක ඇතිවන ඉදිමුම් තත්ත්වයක් හා වේදනාවක් ආතරයිටීස් රෝගය ලෙස හඳුනා ගන්නවා. මේ ආතරයිටීස් රෝගය වැඩිහිටි පුද්ගලයන්ට පමණක් වැළදෙන රෝගයක් ලෙස සැලකිය නොහැකි තත්ත්වයට අද පත්වෙලා.මොකද සාමාන්‍යයෙන් වයස අවුරුදු 65 වැඩි වැඩිහිටියන් තුළ මේ රෝගය බහුල වුණත් දරුවන් තුළ, තරුණ තරුණියන් අතරේ වුණත් මේ රෝගය දකින්නට පුළුවන්.ඒ හැරුණාම මේ රෝගයට ලිංගභේදයක් බලපාන්නේ නැති වුණත් වැඩි අවදානමක් කාන්තා පාර්ශවයට තියෙනවා.
ජානමය සාධක, සන්ධිවල ඇදීම, ඉරීම වැඩි කරන තරබාරුව, සන්ධියට සිදුවූ අනතුරු හෝ තුවාල, කරනු ලබන රැකියාව (ටයිප් රයිටරය එකදිගට ක්‍රියාකරවන අය, මාර්ග තැනීමේදී එකදිගට බර වාහනවල වැඩ කරන අය), ඇතැම් වෛරස් ආසාදනවල අතුරු ඵලයක් ලෙසත් මේ රෝගය ඇතිවෙන්නට පුළුවන්. (රුබෙල්ලා, හෙපටයිටීස් බී වෛරස් ආසාදන ) ආදිය මේ ආතරයිටීස් රෝගය ඇති කරන්නට බලපාන හේතු වෙනවා. සන්ධිවල ඇති කාටිලේජවලට හානි සිදුවීම නිසා සන්ධිවල වේදනාවක් හට ගන්නවා. ඒ හැරුණාම චලනයේ අපහසුත පවා ඇති වෙනවා. මේ ආතරයිටීස් රෝගය සුව කරගන්නට සහ එය හොඳින් පාලනයටත් අපේ ආහාර රටාව ගැන වගේම චර්යා රටාවත් ඊට සුදුසු පරිදි වෙනස් කරගත යුතු වෙනවා. ඉතින් අපි අද කියන්නට යන්නේ මේ ආතරයිටීස් රෝගය නිසා ඇතිවන වේදනාවට සුව ලබාදෙන පානයන් කිහිපයක් පිළිබඳව.

අන්නාසි කැරට් සැල්දිරි පානය කැරට් කියන්නේ ගුණයෙන් ඉහළ එළවලුවක්. ඒ වගේම යුෂ වශයෙන් සකසා පානය කරන්නටත් බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා. ප්‍රතිඔක්සිකාරක සහ තන්තු බහුල පලතුරක් වෙන ඉදුණු අන්නාසි ව්‍යංජනයක් ලෙසත්, සලාද සකස් කර ගන්නත්, චට්නි, සෝස් කෝඩියල්, සෝස්, පුඩින් ආදිය සකස් කරගන්නත් භාවිතා කෙරෙනවා. සැල්දිරි කියන්නේ සලාදයක් ලෙසත් මැල්ලුම ලෙසත් ව්‍යංජනයක් ලෙසත් ආහාරයට ගන්නට හැකි වටිනා ශාකයක්. මෙය ආහාර රස ගන්වන්නටත් භාවිතා කෙරෙන සුවඳවත් පැලෑටියක්.
- මේ පානය සකසා ගැනීම සඳහා ,
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල 6 ක්
- අන්නාසි ග්‍රෑම් 30 ක්
- සැල්දිරි කැබැල්ලක්
මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් සෝදා පිරිසිදු කරගෙන තරමක කැබලිවලට කපා ගන්න.ඉන්පසු බ්ලෙන්ඩර් කරගෙන පානයක් ලෙස සකස් කර දෙහි යුෂ එකතු කර පානය කරන්න.
අමු අර්තාපල් පානය පිෂ්ඨය බහුල ආහාරයක් වන අර්තාපල් මේ ආතරයිටීස් නිසා හට ගන්නා වේදනාව සමනය සඳහා පානයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්.
අමු අර්තාපල් ගෙඩියක් ගෙන හොඳින් සෝදා සිහින්ව ලියා ගන්න.එසේ කපාගත් අර්තාපල් පෙති වතුර වීදුරුවකට දමා තබන්න. පසුදා උදෑසන හිස් බඩ ඒ වතුර පානය කිරීමෙන් මේ වේදනාවන් අඩුකර ගන්නට පුළුවන්.

බ්ලූ බෙරි ගස්ලබු පානයකැලරි ප්‍රමාණය අඩු තන්තු බහුල ආහාරයක් වන බ්ලූ බෙරි ප්‍රතිඔක්සිකාරකවලින් බහුලයි. වයසටයාම පාලනය, පිළිකාවලින් ආරක්ෂාව ලබාදීම, හදවත් රෝග ඇතිවීම පාලනය, ආදී ප්‍රතිලාභ බොහොමයක්ම එයින් අපිට ලබාදෙනවා. ගස්ලබු කියන්නෙත් විටමින් වර්ග බොහොමයකින් පොහොසත් ගුණවත් පලතුරක්. ආතරයිටීස් හේතුවෙන් ඇතිවන වේදනාව සමනය සඳහා මේ පලතුරු එකතු කර සාදා ගන්නා පානය ඉතා විශේෂයි.
නැවුම් බ්ලූ බෙරි කප් දෙකක් සමඟ ඉදුණු ගස්ලබු එකතු කර ජූස් එකක් ගෙන සාදා පානයට ගන්නට හැකියි.
ගෝවා මල් කැරට් පානය ගෝවා මල් පිළිකා අවදානම අඩු කරන පෝෂණ ගුණයෙන් ඉහළ එළවලුවක්.ගෝවා සමඟ කැරට් එකතු කිරීමෙන් සාදා ගත හැකි පානය ආතරයිටීස් නිසාවෙන් ඇතිවන වේදනාව සුවකර ගන්නට උපකාරී වෙනවා.මේ සඳහා
- නැවුම් ගෝවා මල් කෝප්ප භාගයක්
- මධ්‍යම ප්‍රමාණයේ කැරට් අල 3 ක්
- ඇට ඉවත් කරගත් ඇපල් ගෙඩියක්
- ලෙමන් ගෙඩියක්
සෝදා පිරිසිදු කරගත් ගෝවා මල්, කැරට් සහ ඇපල් බ්ලෙන්ඩරයට දමා එයට ලෙමන් ගෙඩියක යුශත් එකතු කර ජූස් එකක් ලෙස සාදා ගෙන පානය කිරීම ආතරයිටීස් රෝගය සාර්ථකව පාලනය කරගන්නට උදව් වෙනවා.
චෙරි දෙළුම් පානය දෙළුම් කියන්නේ ගුණයෙන් ඉතා ඉහළ දුර්ලභ පලතුරක්. මේ දෙළුම් සමඟ නැවුම් චෙරි ගෙඩි එකතු කර දෙහි යුෂ එකතු කර පානය කිරීමෙන් ආතරයිටීස් සාර්ථකව මැඩ පවත්වා ගන්නට පුළුවන්.
කිරල පානය වගුරු බිම්මවල වැවෙන කිරල ශාකයේ ගෙඩි අමුවෙන් වගේම ඉදුණු පසුත් ආහාරයට ගන්නට පුළුවන්. මිහිරි රසයක් සහිත කිරල පානය දේහයට ඉතාම ගුණදායකයි. නමුත් ඉදුණු ගෙඩිවල පණුවන් හටගන්නා නිසා ආහාරයට ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
ඉදුණු කිරල ගෙඩි සෝදා එයට පොල් කිරි වීදුරුවක් දමා හොඳින් අතින් පොඩිකර ගනිමින් ඇට ඉවත් කරගෙන සකසා ගත හැකි පානය ආතරයිටීස් රෝගීන්ට හරිම ගුණදායකයි.
ඒ වගේම කොළ ගෝවා, වියළි මිදි,පෙයාර්ස් සහ රතු අල කියන්නෙත් පානයන් ලෙස නැතත් ආහාරයට එකතු කරගත යුතු එළවලු සහ පලතුරු. මේ ආහාර ගැනීමෙන් ආතරයිටීස් රෝගයෙන් පීඩා විදින ඔබට යම් සහනයක් සලසා ගන්නට හැකියාව ලැබෙනවා.