හානිවූ  ඇස්වල පෙනීම වැඩිකරන ක්‍රම 13 ක්

health tips

තාක්ෂණයේ දියුණුවත් සමඟ අපිට දායාද වුණු පරිගණකය, දුරකථනය ආදිය ලොකු කුඩා හැමෝටම නැතුවම බැරි උපාංගයක් බවට අද පත්වෙලා.රැකියා ස්ථානයේදී වගේම නිවසේදීත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදීත් පරිගණකය විශාල මෙහෙවරක් සිදු කරන බව නොරහසක්. නමුත් ගැටළුව වන්නේ පරිගණකය කාලයක් තිස්සේ භාවිතයේදී ඇස්වලට යම් ආකාරයකින් හානිදායක බලපෑමක් ඇතිවීමයි. ඉතින් පරිගණකය, දුරකථනය, රූපවාහිනිය යන උපාංග භාවිතයෙන් ඇස්වලට වන හානිය සමනය කර ගන්නත් අනුගමනය කළ හැකි ක්‍රමවේද පවතී ද යන්න ඔබත් අවධානය යොමු කරන සොයා බලන කාරණා වන්නට පුළුවන්.ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ අපේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන ඇස්වල පෙනීම රැක ගන්නා ආකාරය සහ ඇස්වලට වන හානිය අවම කර පෙනීම වර්ධනයට සිදුකළ හැකි ක්‍රමවේද මොනවාද කියන කාරණව පිළිබඳවයි.

ඇස් කියන්නේ ඉතාම සංවේදී අවයවයක්. එය මොළයේම කොටසක් යැයි කියන්නට හැකි තරමටම මොළයත්  සමඟ ඉතා දැඩි වගේම කෙටි සම්බන්ධයක් පවත්වා ගන්නවා. ඒ නිසාම මොළයේ අභ්‍යන්තරයේ වෙනස්වීම් ඇස් පරීක්ෂා කිරීමෙන් පවා හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මොළය තුළ ඇතිවන ගෙඩි හෝ රුධිරය වහනය වීම ආදී තත්ත්වයන් ඒ ආකාරයට ඇස් පරීක්ෂාවකින් හඳුනා ගන්නට හැකියාව පවතිනවා.

ඇස් සම්බන්ධ මූලික දෘෂ්යාබාධ 

නීරෝගි ඇසක අනන්තය සිට පැමිණෙන ආලෝක කිරණ ඇසේ බබා හරහා ඇතුළු වුණාට පස්සේ කාචය හරහා ආලෝක කිරණ වර්තනය කිරීමකට ලක්කර දෘෂ්ටි ස්නායුව මත රූපයක් පතිත කරනවා.මේ ඡායාරූපයේ දත්ත හෙවත් ස්නායු ආවේග මොළයට ගමන් කර අපිට රූපයක් දකින්නට සලස්වනු ලබනවා.

නමුත් ඇතැම් අවස්ථාවලදී ඇසේ ඉදිරියේ ඇති ස්වච්ඡා පටකය හෙවත් කාචය එසේ නැත්නම් ඇසේ බෝලයේ දිග පළල  වෙනස්වීම ආදී දේවල් නිසා මේ පැමිණෙන ආලෝක කිරණ ඇතැම් විට ඇසේ දෘෂ්ටිවිතානයට ගමන් නොකර ඒ දෘෂ්ටිවිතානයට ඉදිරියෙන් ස්ථානයක නාභිගත වෙනවා.මේ නිසා දුර නොපෙනීමේ ආබාධ තරුණ වයසේ ළමයින්ට ඇතිවෙනවා.එවන් අවස්ථාවල බොහෝවිට කණ්ණාඩි පැළදවීමක් සිදුකර නිවැරදි කර ගැනීමක් ලබාදෙන්නට කටයුතු කරනවා. 

තවත් අවස්ථාවල මේ වගේ අනන්තයේ සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි ස්නායුවෙන් පිටත ස්ථානයක නාභිගත වෙනවා. වයස්ගත වන විට ඇසේ කාචයේ වක්‍රතාවය පාලනය  කිරීම අපහසුවෙලා 40 ඇදිරිය කියන  ළඟ නොපෙනීමේ දෘෂ්ටික ආබාධයක් හට ගන්නවා. ඒ වගේම වයසත් සමඟ ඇසේ කාචයේ ඇති පාරදෘෂ්‍යාභාවය නැතිවී ගොස් සුද ඇතිවී ආලෝකය ඉදිරියට ගමන් නොකිරීමෙන් ඇසේ පෙනීමට බාධා වෙනවා. මෙය තාවකාලික අන්ධභාවය වගේම ස්ථිර අන්ධභාවය ඇති කරන්නත් හේතු වෙනවා.

කුඩා අවධියේදී උපැස් යුවලක් හෝ සිවි කාචයක් ආධාරයෙන් යථා තත්ත්වයට පත්කළත් මැදි වයසේ සහ වයස්ගත වෙත්ම ඇතිවන දියවැඩියාව, අධි රුධිර පීඩනය හා පෝෂණ ඌණතා නිසා ස්නායු ආබාධ පහසුවෙන් යථා තත්ත්වයට පත් කරන්නට නොහැකියි. 

ඇසේ ක්‍රියාකාරිත්වය වෙනස් වන ආකාරය 

දෘෂ්ටි ආබාධයක් ඇති අයෙක් හෝ එවැනි ආබාධයක් නැති කෙනෙක් හෝ නිදහසේ ඈත බලා සිටින විට ඇස් දෙක පිහිටන්නේ එකිනෙකට සමාන්තර ස්ථාන දෙකක.එසේ සමාන්තරව පිහිටා තිබෙන විට ඇස් දෙක නිදහසේ පිහිටා තියෙනවා.අභ්‍යන්තරයේ රැඳී ඇති කාචයේ වක්‍රතාවය ගොඩක් අඩු ස්ථානයක රැඳී තියෙනවා.එවිට ආලෝකය නිදහසේ ඇස් හරහා අභ්‍යන්තරයට නාභිගත කරනවා.

නමුත් පරිගණක තිරයක් හෝ පොතක් ආදී ළඟ ඇති දෙයක් දකින්නට උත්සාහ කරන විට සමාන්තරව තිබුණු ඇස් දෙක නාසය දෙසට එකතු වෙනවා. එය සිදුවෙන්නේ ඇස් බෝලවලට පිටතින් තියෙන මාංශපේශීන් ක්‍රියාත්මකවීමෙන්. එවිට කාචයේ වක්‍රතාවය දැඩි කිරීම හා ඇසේ බබා සංකෝචනය වී  සිදුරේ නැත්නම් බබාගේ ප්‍රමාණය අඩුවීම කියන තත්ත්වයන් ඇතිවෙනවා. කුඩා දරුවෙකුගේ අක්ෂි බෝලයේ වර්ධනය සිදුවෙමින් පවතින කාලයක මේ සිදුවීම දිගින් දිගටම සිදු වෙමින් පැවතියහොත් මාංශපේශීන්ගේ හෙඅකිළීමක් සිදු වෙනවා.  කාචයේ වක්‍රතාවයේ ළඟ පවත්වා ගන්නට ළඟ බලන්නට වක්‍රතාවය වැඩිවෙමින් පවතින නිසා මාංශපේශී දිගහැර ගන්නට අපහසු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට දුර පෙනීමේ ආබාධයක් ඇතිවෙනවා. ඒ නිසා කුඩා දරුවන්ට මේ ආකාරයේ ළඟ ඇති දෙයක් දෙස බොහෝවේලාවක් බලාසිටීම ඇස්වල මෙවැනි ආබාධ හට ගන්නට හේතුවක්. මේ තත්ත්වයේදී හිසරදයක් පවා ඇති වෙන්නට පුළුවන්.

කුඩා දරුවන්ගේ ඇස් මෙවැනි ආබාධවලින් ආරක්ෂා කර ගන්නට  අනුගමනය කළ හැකි කරුණු 

  • පරිගණකය භාවිතා කරන විට  විනාඩි 30-40 ට වරක් තිරයෙන් ඇස් ඉවතට ගෙන  මද වේලාවක් විනාඩි 1-2ක් ඈත පවතින වස්තුවක් දෙස බලාගෙන හොඳින් ඇස්පිය ගසන්න.
  • සෑම පැය 2 ට වරක් ඇස් වසා ගෙන සුළු විවේකයක් ලබා ගන්න.
  • පරිගණකය දෙස බලා සිටින විට ඇසේ වියළි බව දුරු කරගන්නට නිතර ඇස්පිය ගසන්න.
  • විදුලි පංකාව ඇත්නම් එය ඔබේ පසුපසින් යොමුවෙන ආකාරයට තබා ගන්න. 
  • පරිගණකය සමඟ වැඩ කටයුතු කරන අතරේ වරින් වර වතුර බෝතලයක් ළඟ තබාගෙන ජලය උගුර උගුර  පානය කරන්න. එය ඇසේ වියළීම අඩු කරන්නට හේතුවෙනවා.
  • ඇස් කණ්ණාඩි පලදින අයෙක් වුණත් කණ්ණාඩි පැළද සිටින කාලය අඩු කරන්න. හැකි සෑම අවස්ථාවකම ඇස් කණ්ණාඩි පැළද නොසිටීමට වග බලා ගන්න.
  • ගමන් කරන විට ළඟ ඇති වස්තූන් දෙස නොබලා හැකිතාක් දුර ඇති වස්තූන් දෙස බලන්න. 
  • උණුසුම් ජලයෙන් ඇස් සේදීම 
  • ඇස් මුළු දවස පුරාම විඩාවට පත් වෙනවා. කියවීම, පාඩම් කිරීම, රිය පැදවීම, පරිගණකය දෙස බලා සිටීම ආදිය නිසා ඇස්වලට ඉතා විඩාබර ගතියක් දැනෙන්නට ගන්නවා. මේ වගේ අවස්ථාවක මද උණුසුම් ජලයෙන් ඇස් සේදීම ඉතා හොඳ ක්‍රමයක්.
  • බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන්  එකදිගට මේ තිරය සමඟ රැඳී නොසිටින්න.එය ශරීරයේ වෙනත් ආබාධ පසුකාලීනව ඇති කරන්නට හේතුවක්.
  • අපේ නීරෝගීභාවය සඳහා බිත්තර,ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න, කැරට්, අමු රතු ළූණු,  දම් පැහැ බෙරි වර්ග, කොළ පැහැ එළවලු ආදිය ආහාරයට එකතු කර ගන්න. 
  • ආමන්ඩ් ඇට 5-6 ක් ගම්මිරිස් ඇට කිහිපයක්, සූකිරි එකතු කර කොටා පානයක් ලෙස ගන්න. මෙය තේ සමඟ හෝ එළකිරි සමඟ හෝ උණු ජලය සමඟ පානය කරන්නටත් හැකියි. උදෑසන හිස්බඩ පානය කිරීමයි මෙය වඩා සුදුසු වන්නේ.

පරිගණකය භාවිතයේදී කුඩා දරුවන්ට අනාගතයේ දී ඇතිවිය හැකි අක්ෂි ආබාධ දුරු කරගන්නට වගේම වැඩිහිටියන්ටත් ඇස්වල පෙනීම ජීවිත කාලය පුරාවටම පවත්වා ගන්නටත් මේ උපදෙස් ඔබට බොහෝසෙයින් වැදගත් වේවි.