බර අඩු කර ගන්න අනුගමනය කර යුතු ක්‍රම 7 ක්

health tips

කෘෂ පුද්ගලයන් මහත් වෙන්නට උත්සාහ දරන අතරේ මහත පුද්ගලයන් ශරීරයේ බර අඩු කරගෙන කෙට්ටු වෙන්නට උත්සාහ කරනවා. ඉතින් අධික ලෙස සිරුරේ බර අඩුවීම වගේම අධික ලෙස ශරීරයේ බර වැඩිවීම කියන කාරණා දෙකම අපේ නීරෝගී පැවැත්මට බාධාවක්. ලෙඩ රෝග බොහොමයක් ඇතිවෙන්නට බලපාන මූලික හේතුවක්. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වන්නේ අධික ස්ථුලතාවය නැති කර ගන්නට අනුගමනය කළ යුතු විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව. අද වැඩි දෙනෙකුට පවතින ගැටළුවක් තමයි ශරීරයේ මනා හැඩය පවත්වාගෙන යාමට බාධාවක් වන මේ අධික බර අඩු කරගැනීම. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඒ ඒ පුද්ගලයන් ශරීරයේ බර අඩු කර ගන්නට විව්ධාකාරයේ ක්‍රමවේද අනුගමනය කරනු ලබනවා. ඒ ක්‍රමවේද අතර වඩාත් ජනප්‍රිය ක්‍රමවේද කිහිපයකුත් තියෙනවා. 

විශේෂයෙන්ම ගනු ලබන ආහාරයේ ප්‍රමාණය අඩු කිරීම, ආහාර වේල් මගහැරීම, විශේෂ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර ගැනීම, ඖෂධ  ලබා ගැනීම, ව්‍යායාම්වල නිරත වීම, විවිධ සප්ලිමන්ට භාවිතා කිරීම බොහෝදෙනා භාවිතා කරන පොදු ක්‍රමවේදයන් ලෙස හඳුනා ගන්නට පුළුවන්. නමුත් මේ ක්‍රමවේද අනුගමනය කළත් ඇතැම් අයට එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණත් තවත් අයෙකුට සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා බර අඩු කර ගන්නට අනුගමනය කරන ක්‍රමවේද එක් අයෙක්ගෙන් තවත් අයෙකුට වෙනස් ප්‍රතිඵල අත්කරදෙනු ලබනවා. මේ ක්‍රමවේද මගින් සැමටම එකම ආකාරයේ ප්‍රතිඵල නොලැබෙන්නේ ඇයි ද යන කාරණාව පිළිබඳව වගේම ඔබ අනුගමනය කරන බර අඩු කර ගැනීමේ ක්‍රමවේදවල ඵලදායිතාවය පිළිබඳවත් දැන සිටීම ඉතා වැදගත්.

ආහාර අඩුවෙන් ගැනීම -බොහෝදෙනා ශරීරයේ බර අඩුකර ගන්නට ගනු ලබන ආහාර ප්‍රමාණය අඩු කරනු ලබනවා. නමුත් ආහාර ප්‍රමාණය අඩු කළ පමණින් ශරීරය කෙට්ටු වෙන්නේ නැහැ.අපේ ශරීරයේ සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් ආමාශය විසින් අත්කරගෙන සිටිනවා. ආහාරයක් ලැබුණු විට එහි සංවේදන මොළයට දැනුම් දෙන්නට අවශ්‍ය කරන සංවේදක මේ ආමාශයේ පවතිනවා. ආමශයට ඇතුල් වන ආහාරයේ බර ඒ ඇතුල් වුණු ආහාරය නිසා ආමාශය ප්‍රසාරනය  වන ප්‍රමාණය මොළයට දැනුම් දිය යුතු වෙනවා.එවැනි සංවේදනයක් මොළයට දැනෙන්නේ නැත්නම් ආමාශයට ආහාර ලැබෙන්නේ නැත්නම් අපේ ශරීරය පවත්වාගෙන යන්නට අපහසුයි. ශරීරය එය ආමාශයට ඇතිවුණු ආතතියක් විදියට සලකා අඩුවෙන් ලැබුණු ආහාර ප්‍රමාණය තවදුරටත් අඩුවෙන් භාවිතා කර වැඩි ප්‍රමාණයක් අනාගතය සඳහා ඉතිරි කරනවා. ඒ නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා අඩුවෙන් ආහාර ගැනීම එතරම් සුදුසු ක්‍රමවේදයක් වෙන්නේ නැහැ.

බර අඩු කරන ව්‍යායාම -බර අඩු කර ගැනීම සඳහා කරනු ලබන ව්‍යායාමත් හැමදෙනාටම සමාන ආකාරයෙන් ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ. එයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති ශරීරයේ ප්‍රමාණය හා හැඩය වෙනස් වීම. ජාතීන්ට අනුව, ප්‍රදේශය අනුව, ජාන සංයුතිය අනුව පුද්ගල ශරීරය අයෙකුගෙන් අයෙක්ට වෙනස් වෙනවා. ඒ නිසා කොතරම් ව්‍යායාම කළත් යම් ප්‍රමාණයකට ශරීරයේ බර අඩු වුණත් ඒ ව්‍යායාම නතරකළ විට හෝ සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් ශරීරයට ලැබුණු විට ඒ ශරීරය පෙර පුරුදු හැඩයටම වෙනස් වෙනවා.

ශරීරයට අත්‍යවශ්‍ය  පෝෂක සංඝටක නිසිලෙස ජීර්ණය කර ගැනීමේ අපහසුව -විශේෂයෙන්ම ජනගහනය අධික වීම, ආහාරවලට ඇති අධික ඉල්ලුම හා කල්තබා ගැනීමට භාවිතා කරන යම් යම් ක්‍රමවේද අනුව බොහෝ ආහාර වර්ග සකස් කර තියෙනවා. මේ නැවත සකස් කිරීම තුළින්  ඒ ආහාරවල ඇති ඇතැම් සංඝටක අපේ ශරීරයට හඳුනාගන්නට නොහැකි වෙලා තියෙනවා. ඒවා හඳුනා ගන්නට අපේ ශරීරය වෙනම උත්සාහයක් මහන්සියක් දැරිය යුතු වෙන නිසා එයින් ඇතිවන ආතතිය නිසා ශරීරයට නිසි පරිදි පරිවෘත්තීය කර ගන්නට ඇති හැකියාව නොලැබී යනවා. ඒ නිසා ආහාර තැන්පත් කරන්නට උත්සාහ කරන අතර ඒවා යාමනය කර භාවිතයට නොගැනීම තුළ සිරුරේ බර සම්බන්ධයෙන් ගැටළු ඇති වෙනවා.

බර පාලනය  සඳහා වඩාත් සුදුසු ක්‍රමවේද 

බඩගිනි ඇතිවූ විගසම ආහාර ගැනීම -බඩගිනි නැති අවස්ථාවක, වෙනත් අය ආහාර ගන්නා නිසා හෝ දවසට තුන්වේලක් ආහාර ගත යුතු නිසා හෝ ආහාර නොගෙන තමන්ට කුසගිනි දැනුණු විට ආහාර ගැනීමට පුරුදු වීම බර අඩු කරගන්නට උනන්දුවන ඔබට වැදගත් කාරණාවක්.

  • තමන්ට අවශ්‍ය  ප්‍රමාණයට පමණක් ආහාර ගැනීම 
  • උදේ ආහාරවේල මග  නොහැරීම 
  • වෙනත් කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්ව මනස එක්තැන් කරගෙන සංයමයකින් විනාඩි 20 ක් පමණ කාලයක් ආහාර ගැනීම 
  • ආහාරයක් ඇති වැදගත් පෝෂක සංඝටකයන් මග නොහැර සිටීම 
  • සරල කායික ව්‍යායාම්වල නිරත වීම 

විනාඩි 20 කාලයක තුළ ව්‍යායාම්වල නිරත වීම හා ව්‍යායාම්වල නිරත වන තීව්‍රතාවය අඩු වැඩි කිරීමත් එකම ආකාරයට ව්‍යායාම්වල නිරත නොවීමත් මෙහිදී ඉතා වැදගත්. ඒ වගේම සතියක් සති කිහිපයක් මාසයක් පමණ මේ ව්‍යායාම්වල නිරත වී නැවත එය නතර කර දැමීම තුළින් නිසි ඵල ලබාගන්නට බැහැ. ඒ නිසා එය අඛණ්ඩව කළ යුතු වෙනවා.

සරල මානසික ව්‍යායාම්වල නිරත වීම කයට වගේම මනසටත් වැඩ කටයුතුවලින් විවේකයක් සැහැල්ලුවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගීත ඇසීම, සිතුවම්ඇදීම, පොතක් කියවීම ආදියේ නිරත වෙන්නට ඔබට පුළුවන්.

  • සීනි, පිටි තෙල් අධික ආහාර සඳහා ඇති ඇබ්බැහිය නතර කර ගැනීම 
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම 

එකදිගට ජලය පානය නොකළත් වරින් වර ස්වල්පයක් වශයෙන් ජලය පානය කිරීම ශරීරයේ පැවැත්මට ඉතා වැදගත්.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම – සාමාන්‍යයෙන් පැය 8 ක නින්දක් වැඩිහිටි පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා. ආතතිය වැඩි අයෙකුට නම් ඊට වඩා වැඩික්  කාලයක නින්දක් ලබා ගැනීම ඉතා වැදගත්.ඉහත  කාරණා සියල්ලම අපේ කායික වගේම මානසික නීරෝගීතාවය සඳහා අත්‍යවශ්‍ය කාරණා. ඒ වගේම බර අඩු කර ගැනීම සඳහා සිරුරට අහිතකර තත්ත්වයන් ඇතිකරන ක්‍රමවේදවලින් තොරව මේ ක්‍රම අනුගමනයෙන් අඩු නොවන බර අඩු කරගන්නට ඔබට හැකියාව ලැබේවි.