වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර හිඟයකට අප රටත් ගොදුරුවීමේ අවදානමක් පවතිනවා. ඈත අතීතයේදී යම් යම් ආහාර හිඟ කාලයන් සඳහා මුහුණ දෙන්නට අපේ පැරැන්නන් විවිධ ක්‍රමවේද අනුගමනය කළා. වත්මනේ අපිට නැවතත් ඒ ක්‍රමවේද ගැන අවධානය යොමු කරන්නට සිදුවෙලා තියෙනවා.ඒ නිසාම මේ කාලය තුළ ආහාර නරක් නොවී බොහෝ කාලයක් තබා ගැනීම ගැන හැමෝම වගේ උනන්දු වෙනවා. ඒ ක්‍රමවේදවලින් බොහොමයක් අද අප අතරින් ගිහිලී ගියත් එදා පටන් අද දක්වාම භාවිතයට ගන්නා ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද ද පවතිනවා. අද අපි ආහාර කල්තබා ගන්නට වැඩි වශයෙන් භාවිතා කරන්නේ ශීතරකරණය. නමුත් ශීතකරණය භාවිතයෙන් ආහාරවල ගුණාත්මක බව රැකෙන පරිදි කල්තබා ගැනීම අපහසුයි. ඒ වගේම නොයෙකුත් ධාන්‍ය වර්ග ශීතකරණයේ ගබඩා කර තබා ගන්නත් බැහැ.
ඒ නිසාවෙන් දුක් මහන්සියෙන් වගා කර නෙලාගත් අස්වැන්න කාලයක් තබා ගන්නා එක ඉතා අපහසු දෙයක්. මේ සඳහා එදා පැරැන්නන් හරි අපූරු ක්‍රමවේද අනුගමනය කරමින් වසර ගණනාවක් ඒවා කල්තබා ගත්තා. අද අපි කතා කරන්නේ ධාන්‍ය වර්ග ඒ ආකාරයට කාලයක් ගුල්ලන්, ඉපියන් ආදීන්ගෙන් ප්‍රවේශම් කරගෙන තබා ගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳවයි.
හාල්, උදු, මුං ඇට, කුරක්කන්, බඩ ඉරිගු ,තල, මෙනේරි, කවුපි, රට කජු, තල, පරිප්පු ආදී ප්‍රෝටීන බහුල මේ ධාන්‍ය වර්ග නිතරම අපේ ආහාරයට එකතු කර ගන්නවා. ඒ වගේම එක් කන්නයකින් වගාකර ගත් අස්වැන්න ඊළඟ කන්නය සඳහා සුරක්ෂිතව ගබඩා කර ගැනීම අවශ්‍ය වෙනවා. නමුත් අපි වෙළදපොලෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගවලට ගුල්ලාගෙන් සිදුවන හානිය වළක්වා ගන්නට විවිධ වූ රසායනික යොදා ගන්නවා. ඒවා අපේ දේහයට හානිදායක නිසා ඔබ ඔබේ ධාන්‍ය අස්වැන්න සුරක්ෂිත කර ගන්නට මේ ස්වභාවික ක්‍රමවේද අනුගමනය කරන්න.
සුරක්ෂිතව ධාන්‍ය ගබඩා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද

- බීජ අව්වේ සතියක පමණ කාලයක් හොඳින් වියළා ගන්න.
- බීජ වර්ග සමඟ හලාගත් දර අළු මිශ්‍ර කරන්න.
මේ ක්‍රමය මුං, උදු ඇට, කවුපි ආදිය කල්තබා ගන්නට භාවිතා කරන්නට පුළුවන්. මේ අළු තෙත ගතියෙන් තොරවීම වැදගත්. ඒ සඳහා අව්වේ වියළා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මුං ඇට කිලෝ එකකට අළු ග්‍රෑම් 500ක් පමණ ප්‍රමාණවත් වෙනවා. මෙය හොඳින් මිශ්‍රකර පිරිසිදු වියළි මුට්ටියක් ගෙන එයට මිශ්‍රණය කරගත් මුං ඇට මුට්ටිය පිරෙන්නට අගල් 2 ක් තබා දමා ගන්න. ඉන්පසු අගල් 2 ක් පමණ අළු තට්ටුවක් දමා ගන්න. ඉන්පසු සීතල නොවන අධික ලෙස උණුසුම් නොවන තැනක තබා ගන්න.
එදා අපේ ගැමියෝ මෙසේ ධාන්‍ය කල්තබා ගැනීම කළේ අමාවක පොහොයක් දිනෙක බවයි සඳහන් වෙන්නේ. මොකද කෙම් ක්‍රම ඔවුන් අතර වඩාත් ජනප්‍රියව තිබුණු නිසා. මෙමගින් වසරක පමණ කාලයක් ධාන්‍ය ගුල්ලන්ගේ හානියට ලක් නොවී කල්තබා ගන්නට හැකියාව තියෙනවා.
කොහොඹ කොළ සහ දෙහි කොළ අව්වේ වියළාගත් මුට්ටියකට කොහොඹ කොළ තට්ටුවක් සහ දෙහි කොළ තට්ටුවක් දමා ධාන්‍ය දමන්න. නැවත කොහොඹ කොළ සහ දෙහි කොළ තට්ටුවක් ආදී වශයෙන් මාරුවෙන් මාරුවට දමා මුට්ටිය උඩින් කොහොඹ කොළ හොඳින් කුඩු කර තට්ටුවක් සේ දමන්න.වී කෘමී හානිවලින් තොරකර ගන්නටත් කොහොඹ කොළ වී අළු අතරට දැමීම හෝ වී මළුවලට දැමීම සාර්ථක ක්‍රමයක්. මෙමගින් ඉපියාගෙන් වී වලට වන හානිය වළක්වා ගන්නට පුළුවන්.
ගඳපාන මල් වී නොයෙකුත් කෘමි හානිවලින් ආරක්ෂා කරගෙන කල්තබා ගැනීම සඳහා මේ ගඳපාන මල් භාවිතා කරන්නට පුළුවන්. ගඳපාන මල් හොඳින් කුඩු කර වී ගෝනිවලට දියරක් සේ සකසා ගෙන ස්ප්‍රේ කරන්න.එය ගුල්ලන් වගේම ඉපියාගෙන් වී වලට ඇතිවෙන හානිය වළක්වා ගන්නට උපකාරී වෙනවා.

තල තෙල්, එළගිතෙල් හෝ මී තෙල් එකතු කරන්න. වෙළදපොලෙන් ගෙනෙන කුඩා ධාන්‍ය වර්ග ප්‍රමාණයක් සඳහා මේ ක්‍රමය භාවිතා කරන්නට පුළුවන් ගුල්ලන්ගෙන් වන හානිය වළක්වා ගන්නට. හිතකර මෙවැනි තෙල් වර්ග තේ හැන්දක් පමණ ගෙන එය ධාන්‍යවලට එකතු කර හොඳින් මිශ්‍රකර ගත යුතු වෙනවා සෑම බීජයකම තෙල් ආලේප වන ආකාරයට.එමගින් ධාන්‍ය කෘමි හානි වලින් වළක්වා ගන්නට පුළුවන්.
- කරාබු නැටි කිහිපයක් සහල්වලට කලවම් කර තබන්න.
- වැඩිපුර දෙහි කොළ ටිකක් ගෙන සෝදා වේලා ධාන්‍යවලට එකතු කර සුළං නොවදින සේ වසා තබන්න.
- පොතු ඉවත් කරගත් අමුකහ පොතු පෙති කපා වියළි සහල්වලට එකතු කරන්න.
- කුරුඳු කොළ සහ කුරුඳු පොතු ධාන්‍යවලට එකතු කරන්න.
- කරපිංචා රම්පේ එකතු කරන්න.
- ගම්මිරිස් ඇට කුඩුකර ධාන්‍යවලට එකතු කර මිශ්‍ර කරන්න.
- දෙහි පොතු, ලෙමන් ගෙඩිවල පොතු වියළා ධාන්‍යවලට කලවම් කරන්න.
මේ ක්‍රම හැරුණාම සතියකට වරක් පමණ හොඳ සැර අව්වේ ධාන්‍ය වර්ග වියළා ගැනීමත් ඉතාම සුදුසුයි මේ ගුල්ලන්ගෙන් ආහාර ආරක්ෂා කරගන්නට. එදා ගැමියන් ධාන්‍ය වර්ග කරල් පිටින්ම දුම් මැස්සට දැමීම කළත් අද අපේ නිවෙස්වල දුම් මැස්සක් දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසා ඒ ක්‍රමය අපිට අනුගමනය කරන්නට අපහසුයි. ඒ හැරුණාම ලුණු කුඩු කලවම් කරලා අව්වේ තියලා ගුල්ලන් ඉවත් කරගෙන කරාබු නැටි කිහිපයකුත් එකතු කර වීදුරු බෝතල්වල ඇසිරීමත් ගුල්ලන්ගේ කරදරයෙන් මිදෙන්නට හොඳ ක්‍රමයක්. ඉතින් මේ ස්වභාවික ක්‍රම අනුගමනයෙන් ඔබටත් ඔබේ ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගෙන වසර කිහිපයක් වුණත් තබා ගන්නට පුළුවන්.