හිසකෙස් ගැලවී යාම සුව කරන එඩරු තෙල් සත්කාරය

health tips

අපි භාවිතා කරන විවිධ තෙල් වර්ග බොහොමයක් අතුරින් එඩරු තෙල් කියන්නේ විස්මිත ගුණ බොහොමයක් ලබාගත හැකි වටිනා තෙල් වර්ගයක්.  ඒ වගේම මෙය එළවලු තෙල් වර්ගයක්. එඩරු පැලෑටියේ තියෙන සාරයෙන් තමයි එඩරු තෙල් නිෂ්පාදනය කරන්නේ. එඩරු ඇටවල රිසිනොලෙයින් කියන විෂ සහිත එන්සයිමයක් අඩංගු වෙලා තියෙනවා. නමුත් එඩරු තෙල් හොඳින් රත් කරද්දි ඒ විෂ සහිත එන්සයිමය විනාශ වෙලා යනවා. ඉතින් එඩරු තෙල් බොහෝ රෝග සුව කරගන්නටත්, රූපලාවන්‍ය කටයුතු සඳහාත් අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ මේ එඩරු තෙල් භාවිතයෙන් අපිට ලබාගත හැකි විස්මිත ප්‍රයෝජන කිහිපයක් පිළිබඳවයි.

එඩරු තෙල් කොණ්ඩයට සමට ඇතුළුව වෙනත් රෝග තත්ත්වයන්වලදී ස්වභාවික ඖෂධයක් ලෙසත් බහුලව භාවිතා වුණත් එය ආහාරයට එකතු කරගත හැකි තෙල් වර්ගයක්. සාමාන්‍යයෙන් එඩරු තෙල් ආහාරයට ගැනීමේදී එය ඉතා කුඩා ප්‍රමාණයකින් ලබා ගැනීමට මතක තබා ගන්න. එඩරු තෙල් විශාල ප්‍රමාණයකින් ලබා ගත්තොත් එය ඔබට බඩ පිපුම, බඩ තද කිරීම , ඔක්කාරය, වමනය අතීසාරය වගේ රෝග වගේම අපහසුතා ඇති කරන්නට පුළුවන්. 

  • බඩවැල් පිරිසිදු කරයි අපේ බඩවැල් ඇතුළේ තියෙන ඝන ද්‍රව්‍ය තල්ලු කර මාංශපේශීවල ක්‍රියාකාරිත්වය වැඩි කරන්නට එඩරු තෙල් බෙහෙවින් උපකාරී වෙනවා.  ඒ විතරක් නෙවෙයි බඩවැල් පිරිසිදු කරන්නටත් අපූරු හැකියාවක් ඇති එඩරු තෙල් විරේචකයක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා තාවකාලිකව ඇති වෙන්නට හැකි මලබද්ධය දුරුකර ඒ නිසා ඇතිවන අපහසුතා සියල්ල දුරු කරනු ලබනවා.සාමාන්‍යයෙන් එඩරු තෙල් අපේ ශරීරයට ගත් පසුව ඒවා අපේ බඩවැල්වලදී කුඩා අංශුවලට කැඩී ගොස් රිසිනොලොයික් අම්ලය පිටකරනු ලබනවා. මේ රිසිනොලොයික් කියන්නේ එඩරු තෙල්වල තියෙන ප්‍රධාන මේද අම්ලයක් . බඩවැල් විසින් මේ අම්ලය උරා ගැනීමෙන් තාවකාලික මලබද්ධය සුවකරනු ලබනවා. නමුත් බොහෝ කාලයක් තිස්සේ පවතින මලබද්ධයකදී නම් එඩරු තෙල් භාවිතය සුදුසු වෙන්නේ නැහැ.
  • ස්වභාවිකව සමේ තෙතමනය ආරක්ෂා කරයි එඩරු තෙල්වල රෙසිනොලික් කියන අසංතෘප්ත මේද අම්ලය අඩංගු වෙනවා. මේ මේද අම්ල මගින් හෘදයාබාධ ඇතිවීම වගේම  ප්‍රදාහයන් ඇතිවීමත් අඩු කරනු ලබනවා. එය සමේ වියළි බව අඩුකර තෙතමනයත් ආරක්ෂා කරනවා. සමේ අභ්‍යන්තරයේ ඇති ජලය පිටතට යා නොදී තෙතමනය ආරක්ෂා කරනවා. ඇතැම් විලවුන් වර්ග නිෂ්පාදනයේදීත් එඩරු තෙල් භාවිතයට ගන්නා අතර ඒවායෙන් අපේ සම සජලන තත්ත්වයේ පවත්වා ගන්නත් උපකාර කරනවා. රූපලාවන්‍ය කටයුතුවලට වගේම සම ඉතා හොඳින් පිරිසිදු කරන්නත් එඩරු තෙල් අපිට භාවිතයට ගන්නට පුළුවන්.මුහුණට වගේම ඇඟටත් එඩරු තෙල් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. නමුත් එඩරු තෙල් ඝනකමින් ඉතා වැඩි නිසා එය භාවිතයට ගන්නා විට ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් හෝ පොල් තෙල් ආදී සමට හිතකර තෙල් වර්ගයක් සමඟ මිශ්‍රකර ආලේප කරන්න. එය ස්වභාවික නිසා සමට හානිවීමක් වන්නේ නැහැ .නමුත් ඇතැම් අයට එඩරු තෙල් අසාත්මිකතා ඇති කරන්නට හැකි නිසා ආලේප කිරීමට පෙර ආසාත්මිකතාවයක් ඇති වන්නේදැයි පරීක්ෂා කරගන්න.
  • තුවාල සුව කරයි තුවාල වටේ එඩරු තෙල් ආලේප කළ විට තුවාල වටේ තෙත සහිත සමක් නිර්මාණය වෙනවා. එය තුවාලය වටා ප්‍රදේශය බොහෝසෙයින් වියළීම අඩු කරනවා. එය තුවාලය ඉතා ඉක්මනින් සුව කරන්නට උදව් වෙනවා.එඩරු තෙල් පටක වර්ධනය උත්තේජනය කරන්නට සමත් වන තෙල් වර්ගයක් නිසා තුවාල සුව කරන්නට සායනිකව තහවුරු කළ ප්‍රසිද්ධ ආලේපනයක් වන venelex වල පවා එඩරු තෙල් මිශ්‍රණයක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම එඩරු තෙල් බාහිර පරිසරයෙන් තුවාලට විෂබීජ ඇතුල්වීමත් පාලනය කරනවා. ඒ නිසා එඩරු තෙල් සමේ ඇතිවන තුවාල වණ ආදීය ඉතා ඉක්මනින් සුව කරගන්නට උදව් වෙනවා.
  • සමේ රතු බිබිලි ඇතිවීම අඩු කරයි. බ්ලැක්හෙඩ්ස් ඇතිවෙන්නට හේතුවක් වන රතු බිබිලි පසුව කුරුලෑවක් බවට පත්වෙලා දැඩි වේදනාවක් ගෙනදෙනවා. ඒ වගේම එය ඉදිමී ආසාදනයට ලක්වෙන්නත් පුළුවන්. මෙය මුහුණේ හෝ වෙනත් ස්ථානයක ඇති වෙන්නට පුළුවන්. මෙය බොහෝවිට තරුණ වයසේ පසුවන අය තුළ දැක ගන්නට හැකි තත්ත්වයක්. බැක්ටීරීයා මගින් ඇතිකරන මේ බිබිලි සුව කරගන්නට එඩරු තෙල් කදිම ප්‍රතිකර්මයක්. මොකද එඩරු තෙල් විෂබීජනාශක ගුණයෙන් සමන්විත නිසා.මේ පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට සමේ එවැනි ආසාදන ඇති ස්ථානවල එඩරු තෙල් ආලේප කරන්නට පුළුවන්. එමගින් එවැනි රතු බිබිලි ඇතිවීම වගේම එයින් ඇතිවන වේදනාවත් සමනය කර ගන්නට පුළුවන්.
  • සමේ දැවිල්ල සමනය කරයි එඩරු තෙල් සතු රෙසිනොලික් අම්ලයට සමේ දැවිල්ල නැති කිරීමේ හැකියාවක් ද පවතිනවා. එඩරු තෙල් දිනපතාම වගේ ආලේප කළ විට සමේ දැවිල්ල ඇතිවන ස්ථානවල වේදනාව අඩු කරනවා. ඒ නිසා එඩරු තෙල් රක්තවාත ආතරයිටීස්, සොරයිසීස් කියන චර්ම රෝගවලටත් සහනයක් සලසා ගන්නට බෙහෙවින් උදව් වෙනවා.එඩරු තෙල් මගින් දැවිල්ල කැසීම වගේම වේදනාවත් නැති කරනවා.
  • දිලීරවලට එරෙහිව සටන් කරයි.දත්මූල්වල හා මුඛයේ ඇතිවන ආසාදනයන් දිලීර හේතුවෙන් ඇතිවෙන තත්ත්වයන්.නමුත් එඩරු තෙල්වලට මේ දිලීර සමඟ සටන් කරන්නට ඇති හැකියාව නිසා ඒවා විනාශ කර යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නට උපකාරී වෙනවා. කෘතීම දත් කුට්ටම් පැළදීම නිසා ඇතිවන ප්‍රදාහයන්ට හේතු වෙන්නෙත් කැන්ඩිඩා කියන දිලීර වර්ගය. මේ දිලීර නැති කරන්නට කදිම ප්‍රතිකාරය වෙන්නේ එඩරු තෙල්.
  • හිසකෙස් සහ හිස්කබල නීරෝගීව පවත්වා ගෙන යාමට උදව් කරයි  එඩරු තෙල් ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස වැදගත් වන අතර එයින් හානි වූ සහ වියළි වූ  හිසකෙස්වලට හොඳ තෙතමනයක් ලබාදෙනවා. දිනපතාම එඩරු තෙල් හිස් කබලේ ආලේප කරන්නේ නම් හිසකෙස් දිලිසෙන ස්වභාවයක් ගන්නවා. හිස්සොරි නැති කරනවා. ඒ වගේම හිසකෙස්වල ශක්තිමත් බවත් වැඩි කරමින් හිසකෙස් ගැලවී යාම පාලනය කරනවා.සමට කොණ්ඩයට වගේම සිරුරේ නොයෙකුත් බොහෝ ලෙඩවලට භාවිතා කරන්නට හැකි ස්වාභාවික හොඳම සත්කාරය ලෙස එඩරු තෙල් හඳුන්වන්නට පුලුවන්. එමගින් අපිට ලබාගත හැකි සෞඛ්‍යමය වාසි බොහොමයි. ඉතා පහසුවෙන් වෙළදසැල්වලින් ලබා ගන්නට හැකි එඩරු තෙල් භාවිතයෙන් මේ විස්මිත ප්‍රතිඵල ඔබත් අත්විදින්න.