අපි ගන්නා ආහාර අතරේ බිත්තර කියන්නේ සුලභවම අපේ ආහාරවේලට එකතු කර ගන්නා රසවත් සහ ගුණයෙන් සපිරි ආහාරයක්. ඒ වගේම ආහාර රසවත් කර ගන්නටත් විවිධ ආකාරයට අපි බිත්තර භාවිතා කරනවා. කොහොමවුණත් බිත්තර අපේ ශරීරයේ බර අනුව, වයස අනුව වගේම ඒ සෞඛ්‍ය සම්පන්න බව අනුව ගත යුතු ආකාරය සහ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ හැරුණාම බිත්තර ආහාරයට ගැනීම සම්බන්ධයෙන් විවිධ මිත්‍යා අදහස් ද පවතිනවා. නිතර ආහාරයට ගන්නා බිත්තර පිළිබඳව නිවැරදි තොරතුරු දැන කියා ගන්නා එක කාටත් හොඳ නිසාම අද කතා කරමු බිත්තර ගැන අනිවාරයෙන්ම දැනගත යුතු කරුණු කාරණා පිළිබඳව.
සාමාන්‍යයෙන් මාස 6 සපිරුණු කුඩා දරුවෙකුගේ පටන් මහලු වියේ පුද්ගලයෙකු දක්වා ගත හැකි ඉතාම පෝෂ්‍යදායි ආහාරයක් තමයි මේ බිත්තර. විදේස් රටවල් සමඟ ගත්විට ලංකාවේ අපේ බිත්තර පරිභෝජනය ඉතාම අඩුයි. ඒ සඳහා මිනිසුන් තුළ පවතින නොයෙකුත් මිත්‍යා මත මූලික හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොමනමුත් බිත්තරවල ශක්තිය නැත්නම් කැලරි 78 ක් වගේ ඉතා අඩු කැලරි ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒ වගේම බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 7 ක් පමණ අඩංගු වෙනවා. ඒ ප්‍රෝටීන්වලින් වැඩි ප්‍රමාණයක් බිත්තරයේ සුදු මදයේ අන්තර්ගත වෙනවා. බිත්තරවල අපේ දේහයට අත්‍යවශ්‍ය වෙන ඇමයිනෝ අම්ල සියල්ලක්ම වගේ අන්තර්ගත වීමත් අපේ දේහයට ඉතාම වැදගත්.
බිත්තරවල අඩංගු විටමින් ගැන කතා කළොත් විටමින් C හැරුණාම අනෙකුත් සියලුම විටමින් වර්ග මේ බිත්තරවල අන්තර්ගත වෙනවා. ඒ අතරින් බිත්තර කහ මදයේ බහුලවම විටමින් A , විටමින් D , විටමින් B කාණ්ඩයේ විටමින් අඩංගු වෙනවා. ඒ වගේම කෝලීන් කියන විශේෂ විටමිනයත් මේ බිත්තරවල බහුලවම අඩංගු වෙනවා. වැඩුණු පුද්ගලයෙකුගේ දෛනික කෝලීන් අවශ්‍යතාවයෙන් 25 %ක් සපුරා ගන්නට බිත්තරයක් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. මේ කෝලීන් කියන සංඝටකය අපේ දේහයේ පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වා ගන්නටත්, අක්මාවේ ක්‍රියාකාරිත්වයටත් වඩා වැදගත් වෙන සංඝටකයක්. බිත්තරවල අඩංගු තවත් වැදගත් පෝෂකයක් වෙන්නේ සෙලේනියම්. එය අපේ සිරුරේ විෂහරණයටත් ප්‍රතිශක්තිය වර්ධනයටත් දායක වෙනවා.

- බර අඩු කරගන්නට උනන්දු වෙන අයට සුදුසු ආහාරයක්. විශේෂයෙන්ම ආහාර පාලනය කරන අයට ප්‍රධාන ආහාරවේල සඳහාත් අමතර ආහාරයක් ලෙසත් බිත්තර ආහාරයට ගන්නට පුළුවන්. මොකද බිත්තරවල අඩංගු වෙන කැලරි ප්‍රමාණය ඉතා අඩු නිසා. ඒ වගේම ඉතා ඉක්මනින් බඩ පිරුණු ස්වභාවයක් ඇති කිරීමත් බර අඩුකරගන්නා අයට වාසිදායක වෙනවා.
- දරුවන්ගේ උස බර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ආහාරයක්. දරුවාගේ නිසි වයසට අදාල බර උස ආදීය වර්ධනය සඳහා ප්‍රෝටීන අත්‍යවශ්‍ය වෙනවා. අපි ගන්නා ආහාර අතරින් ඉතා ඉහළ ප්‍රෝටීන සහිත ප්‍රභවයක් වෙන්නේ බිත්තර. ඒ නිසා කුඩා දරුවන්ට වගේම තරුණ දරුවන්ටත් ප්‍රෝටීන් නිසි ප්‍රමාණවලින් දේහයට ලැබිය යුතුමයි.
- කාය වර්ධනය කටයුතුවලට උනන්දු වෙන පුද්ගලයන්ට සහ මහලු වයසේ පසුවන පුද්ගලයන්ටත් ගත යුතුම ආහාරයක්.තරුණ වයසේ පුද්ගලයන්ගේ මාංශපේශී වර්ධනය සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි වගේම මහලු වියට පත්වෙද්දි ක්‍රමයෙන් මාංශපේශී ක්ෂය වී යනවා. ඒ වගේම වයසට යද්දි අස්ථි පවා දුර්වල වී යනවා. එවැනි දුර්වලතා සඳහා ගත යුතු සුදුසුම ආහාරය වෙන්නේ බිත්තරයි.
- ගැබිනි මව්වරුන්ට හිතකර ආහාරයක්.ගැබිනි මව ආහාරයට ගන්නා බිත්තර කළලයේ ස්නායු සහ මොළයේ නිසි ක්‍රියාකරිත්වය ඇති කරන්නට දායක වෙනවා. මේ සඳහා බිත්තරවල අඩංගු වෙන කෝලීන් කියන ප්‍රෝටීනය උපකාරී වෙනවා.
දිනකට ගත යුතු බිත්තර ප්‍රමාණය

- මාස 6 සම්පූර්ණ වූ දරුවෙක් සඳහා දිනපතාම බිත්තරයක් ලබාදිය හැකියි.
- පාසල් යන වයසේ දරුවෙකුට සහ වෙහෙස මහන්සි වී වැඩ කටයුතුවල නිරත වෙන වැඩිහිටියෙකුටත් දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නට පුළුවන්.
වයස අවුරුදු 18 සම්පූර්ණ වුණු වැඩිහිටි පුද්ගලයෙක් සඳහා මේ සම්බන්ධව කතා කිරීමේදී බොහෝදෙනෙක් කොලෙස්ටරෝල් වැඩිවීම නිසා බිත්තර ආහාරයට ගැනීමට බියක් දක්වනවා. බිත්තරයක කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200 ක් අඩංගු වෙනවා. මෙසේ අධික ප්‍රමාණයක කොලෙස්ටරෝල් බිත්තරයක අඩංගු නිසා මතයක් සමාජගතවෙලා තියෙනවා බිත්තර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වන බවට. නමුත් එය සාවද්ය මතයක් ලෙසටයි පෝෂණවේදීන් සඳහන් කරන්නේ. ඒ අනුව පෝෂණවේදීන් පෙන්වා දෙන ආකාරයට දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී රෝගවලින් තොර නීරෝගී පුද්ගලයෙකුට දිනපතාම බිත්තරයක් බැගින් ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. බිත්තර සුදු මදය පමණක් ආහාරයට ගන්නේ නම් බිත්තර සුදු මද 3-4 ක් වුණත් ආහාරයට ගන්නට පුළුවන්.
නමුත් ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් කියන රෝගවලින් පෙළෙන වැඩිහිටියෙක් නම් දිනපතාම බිත්තරයක් ආහාරයට ගැනීම සුදුසු බව පැවසීමට හැකියාව නැති බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා. ඒ නිසා සතියකට බිත්තර 3 ක් පමණක් ඔබේ ආහාරයට එකතු කර ගන්නට හැකියාව තියෙනවා.
බිත්තර තෝරා ගැනීම සහ ගබඩා කිරීම

බිත්තර පරිභෝජනය සඳහා තෝරා ගැනීමේදී ඒවා මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ සඳහා ඇසුරුම් කරන ලද බිත්තර මිලදී ගැනීම වඩාත් සුදුසුයි. ඒ ඇසුරුමේ නිෂ්පාදිත දිනය සඳහන් කර තිබීම නිසා බිත්තරවල අලුත් බව සහ පරණ බව දැන ගන්නට හැකියාව තියෙනවා.
ඒ වගේම බිත්තර ජලය වීදුරුවකට දැමූ පසු එය තිරස් අතට ගිලී පවතින්නේ නම් එය අලුත් බිත්තරයක් ලෙසට හඳුනා ගන්නට පුළුවන්. යම් විටෙක ගිල්වන ලද බිත්තරය සිරස් අතට හැරෙමින් ගිලී තිබීම තරමක් පැරණි බිත්තරයක් ලෙසත් ජලයේ පාවෙන බිත්තර පරිභෝජනයට නුසුදුසු බිත්තරයක් ලෙසත් අපිට හඳුනා ගන්නට පුළුවන්.
බිත්තර කාමර උෂ්ණත්වයේ තබා ගන්නේ නම් එය දින 10 ත් 14 අතර කාලයක් තබා ගන්නට පුළුවන්. නමුත් වඩාත් සුදුසු වෙන්නේ ශීතකරණයේ ගබඩා කර තබා ගැනීම. ශීතකරණයේ බිත්තර ගබඩා කර තබා ගන්නේ නම් ඒ බිත්තර සති 3-5 ක කාලයක් තබා ගන්නට පුළුවන්.
ඒ වගේම බිත්තර ආහාරයට ගැනීමට පෙර හොඳින් පිස ගන්නත් අමතක කරන්නට එපා. මොකද ඇතැම්විට බිත්තරවල සැල්මොනෙල්ලා වැනි ක්ෂුද්‍ර ජීවීන් සිටීමේ අධික අවදානමක් පවතින නිසා. ඒ නිසා අමු බිත්තර පානය කිරීම දේහයට එතරම් හිතකර නැහැ. ඉතින් බිත්තර ආහරයට ගනිද්දි මේ කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙමින් ආහාරයට ගන්නට උනන්දු වීම ඔබටත් ඔබේ ආදරණීයන්ටත් නීරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් උපකාරී වෙනවා.