ශරීරයේ හැඩය ගැන වැඩිපුරම උනන්දුවක් දක්වන්නේ කාන්තා පාර්ශවය. කාන්තාවන්ගේ ශරීරය අවලස්සන කරන්නට සමත් වෙන මූලික කාරණයක් වෙන්නේ උදරය ඉදිරියට නෙරා ඒම.අද කාන්තාවන් බොහෝ දෙනෙක්ට පීඩාවක් ගෙන දෙන මේ ගැටලුවට මූලික වෙන්නේ අධික ස්ථුලතාවය. අපි ගන්නා ආහාර තමයි වැඩි වශයෙන් ස්ථුලතාවයට මූලික වෙන්නේ.
අපේ ශරීරයේ මේදය තැන්පත් වෙන ස්ථාන අතරින් විශේෂයෙන්ම කාන්තාවන්ගේ මේදය තැන්පත් වෙන ප්‍රධාන ස්ථානයක් තමා උදරය. ආහාර පාන, චර්යා රටාවන්වල වැරදි අඩු පාඩු හේතු කරගෙන වැඩි වශයෙන් උදරයේ මේදය තැන්පත් වෙලා උදරය විශාල වෙනවා.
මේ උදරය ඉදිරියට නෙරා ඒම නිසා ශරීරයේ ඇතිවන අවලස්සන බව හැරුණාම හුස්ම ගැනීමේ අපහසුතාවය, බර වැඩිවීම නිසා දණහිස්වල වේදනාවන් ඇති වීම, කොන්දේ කැක්කුමක් ඇතිවීම, හර්නියා ඇතිවීම ක්‍රියාශීලී බව අඩුවීම, උදාසීන බව, නිදිමත, සිටගෙන සිටීමට අපහසු වීම ආදී අපහසුතාවයන් බොහොමයක්ම ඇතිවෙනවා. ඉතින් මේ ගැටලුව සරලවම පාලනය කරගන්නට අපි අවදානය යොමු කළ යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා.
අද වෙළඳපොළේ වගේම අන්තර්ජාලයෙත් ඕනෑතරම් බඩ අඩු කරන ක්‍රම තියෙනවා. ඒ සඳහා බෙල්ට්, බඩට හොඳින් ව්‍යායාම් කරවන යන්ත්‍ර වගේම වැඩි වැඩි බඩ මට්ටු කරන විවිධ ඖෂධ වර්ගත් තියෙනවා. නමුත් මේවා කොතරම් භාවිතා කළත් අපි නැවත නැවතත් අපේ වැරැදි චර්යා රටාවලට යොමු වෙනවා නම් මේ ගැටලුවෙන් අත්මිදෙන්නට එතරම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අත්හළ යුතු පුරුදු ගැන අපි අද කතා කරමු.

ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වෙන්න.අද බොහෝ දෙනෙක් නිවසේ දී සමබල පෝෂ්‍යදායි ආහාරයක් සකසා ගන්නට බැරි තරමට කාර්යබහුල වෙලා. ඒ නිසා පොඩි දරුවන්ට වගේම නිවැසියන් හැමෝම වගේ වැඩි වශයෙන් ආහාර පිටින් ගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ ආහාරවල අධිකව තෙල්, අධිකව සීනි සහ පිටිත් අඩංගු වෙනවා. ඒ නිසා මේ පිටින් ගන්නා ආහාරවලින් අපේ ශරීරයට කිසිම ගුණයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ ඇති ප්‍රධාන හෝමෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝන නිසා වැඩි වශයෙන් මේදය නිෂ්පාදනය වෙලා තැන්පත් වෙනවා. ඒ නිසා ආහාර ගනිද්දී සකස් කළ මස් වර්ග, කෙටි කෑම වර්ගවලින් හැකිතාක් ඉවත් වීමත් උදරය අඩු කර ගන්නට වැදගත් වෙනවා.
අධික සීනි සහිත ආහාර පාන නිතරම සිසිල් බීම ඇතුළු සීනි කෑමවලට ඇබ්බැහි වුණු කෙනෙකුත් නම් උදරය නෙරා එන එක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. අපි ගන්නා ආහාර සහ සීනි අඩංගු බීම වර්ගවල අඩංගු වෙන්නේ සුක්‍රෝස්. ඉතින් අපි ශරීරයට ගන්නා සීනි ප්‍රමාණය තැන්පත් වෙන්නේ මේදය ලෙස. නිසි පරිදි ව්‍යායාම කරන්නේ නැතිව මේ අධික ආහාර පාන ඔබ නිතර නිතර ගන්නවා නම් මේ ගැටලුවෙන් මිදෙන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මේ පුරුද්ද දියවැඩියාව වැනි භයානක රෝග තත්ත්වයන් ඇති කරන්නට ප්‍රබල හේතුවක්.
මද්‍යසාර අද වෙද්දි පුරුෂ පාර්ශවය බියර් ආදිය පානය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ මද්‍යසාර මගින් කැලරි දහනය කිරීමත් අඩු කරලා කැලරි මේදය වශයෙන් අපේ ශරීරයේ තැන්පත් වෙනවා. ඒ විදිහට මේදය වැඩි වශයෙන් තැන්පත් වෙන ස්ථානයක් තමයි උදරය. ඒ නිසා නිතර මද්‍යසාර භාවිතා කරන කෙනෙක් නම් ඔබේ උදරය ඉදිරියට නෙරා එක දවසෙන් දවස වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
මේද රහිත ආහාර පරිභෝජනය බොහෝ දෙනෙක් අතර තියෙන මතයක් තමයි මේද සහිත ආහාර ගැනීම බර වැඩි වෙන්නට හේතුවක් බව. එහි සත්‍යතාවයක් තිබුණත් සම්පූර්ණයෙන්ම මේද සහිත ආහාරවලින් වැළකී සිටීම නම් අපේ ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ. ඒ නිසා එය අපේ ශරීරයේ බර වැඩි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි කරනවා. විශේෂයෙන්ම මේද ආහාර ලබා ගැනීමෙන් වැළකීම තුළින් වැඩි වශයෙන් ආහාර සඳහා ඇති ගිජුකම වැඩිවීම නිසා ආහාර ගැනීමේ ප්‍රවණතාවක් අප තුළ නිර්මාණය වෙනවා.විශේෂයෙන්ම කිරි නිෂ්පාදනවල මේදය ඉවත් කර ආහාරයට ගැනීමෙන් ශරීරයට කැල්සියම් සහ විටමින් ඒ සහ විටමින් ඩී ආදී පෝෂක අවශෝෂණය වීමත් වැළකිලා යනවා.
අඩු නින්ද සහ මානසික ආතතිය ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම මූලික වශයෙන් ස්ථුලභාවය ඇතුළු ලෙඩ රෝග බොහොමයක් ඇති කරන්නට හේතුවක්. නිසිපරිදි නින්දක් ලබා නොගැනීම ශරීරයේ තෙහෙට්ටුව ඇති කරනවා. එය ඉහළ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇති ආහාරවලට ගිජු වීම, කෝපි වැනි පාන වර්ග ලබා ගැනීම ආදියට යොමු වීමටත් පටන් ගැනෙනවා. ඉතින් ඒ නිසා නිසි පරිදි නින්ද ලබා නොගැනීම ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලින් මන්දගාමී වීමටත් හේතුවක්. ඒ නිසා අවම දිනකට පැය 7-9 ක සුවදායි නින්දක් ලබාගත යුතුයි.
ශරීරයේ බර වැඩි වෙන්නට, බඩ වැඩි වෙන්නට මානසික ආතතිය මූලික හේතුවක්. මානසික ආතතියෙන් පෙළෙන බොහෝ දෙනෙක් එයින් මිදෙන්නට වැඩි වශයෙන් විවිධ වූ ආහාර වර්ග අනුභව කරනවා. ඒ අතරිනුත් වැඩි වශයෙන් ගන්නේ කෙටි කෑමයි. මේ නිසා ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය අඩපණ වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි මේදය වැඩි වශයෙන් අපේ ශරීරයේ තැන්පත් වීම.

ප්‍රෝටීන අඩු ආහාර ගැනීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ගේ වැරදි ආහාර පුරුදු නිසා බහුතරයක් දෙනා ප්‍රෝටීන ඌනතාවෙන් පෙළෙනවා. ඒ නිසා ප්‍රෝටීන් වෙනුවට වැඩි වශයෙන් අපේ ශරීරයට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් සීනි බවට පත්වෙලා උදර ප්‍රදේශයේ තැන්පත් වෙනවා. ඉතින් එක අපේ උදරය නෙරා ඒමටත් ස්ථුලතාවය වැඩි වෙන්නටත් හේතුවක්.
ව්‍යායාම ශරීරයේ හැඩය ගැන පෙනුම ගැන විතරක් හිතලා මදි. අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව ගැනත් අපි හිතන්න ඕන. ඒ සඳහා ව්‍යායාම් අනිවාර්‍යය නමුත් ඒ සඳහා ජිම් යන්නට අවශ්‍ය නැහැ. නිවසේදී උදරය නෙරා ඒම අඩු කරගන්න මේදය දහනය කර ගන්න ඕන තරම් සරල ව්‍යායාම තියෙනවා. ඒ සඳහා කාලය වෙන්කර ගත්තේ නැති වුණොත් උදරය ඉදිරියට නෙරා ඒම නම් වළක්වා ගන්නට බැහැ.
- ප්‍රධාන ආහාර වේලකට වැඩිපුර තන්තු බහුල ආහාර එකතු කර ගන්න. ක්ෂණික ආහාර වලින් අත්මිදෙන්න.
- ප්‍රධාන ආහාර වේලකින් පසුව සුවපහසු ලෙස වාඩිවී නොසිටින්න.
- ආහාර වේලෙන් පැය දෙකක්වත් යනතුරු නින්දට නොයන්න.
- ආමාශය පිරෙන තෙක් ආහාර නොගන්න.
- ආමාශයෙන් 1/3 ක් පමණ කොටසක් ඝන ආහාර ගන්න. 1/3 ක් දියර ආහාර ගන්න. ඉතිරි කොටස හිස්ව තබන්න.
- දිනපතා පැය බාගයක්වත් ඇවිදින්න.
- උදෑසන ආහාර වේල් මඟ නොහරින්න.
- ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්න.
- සවස් කාලයේ දී ප්‍රමාද වී ආහාර නොගන්න.
- ආහාර ගැනීමේදී අවධානය වෙනතක යොමු නොකර ආහාර ගන්න.