ඈත අතීතයේ සිටම රෝග ගණනාවක් සුව කිරීමට භාවිතා කළ ඖෂධීය ගුණයෙන් අනූන පැළෑටියක් ලෙස අසමෝදගම් ශාකය හඳුනා ගත හැකිය. එනම් සෙ.මි 70 ක් පමණ අතු බෙදෙමින් වැඩෙන වාර්ෂික පැළෑටියක් වන අසමෝදගම් ශාකයේ පත්‍ර ත්‍රී පක්ෂවත් හෝ ඒක- ද්වී පක්ෂවත් පත්‍රය. එනම් එම පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍රවලින් ඊටම ආවේණික සුවඳක් වහනය වේ. පුෂ්ප මංජරියේ හටගන්නා මල් සුදු පැහැති කුඩා මල් වන අතර ඵලය දුඹුරු පැහැති වේ. ඵලයෙහි අඩංගු බීජ ද සුවඳින් යුතුවන අතර එම බීජ මගින් තයිමෝල් නම් රසායනිකය අඩංගු නිස්සාරකයක් ලබා ගනී. එමෙන්ම අසමෝදගම් කොළ මගින් රසවත් සලාදයක් සකස් කර ආහාරයට ගත හැකිය.
අසමෝදගම් කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන ලුණු වතුරින් සෝදා සිහින්ව ලියලා ගන්න. අමු මිරිස්, රතු ලූණු තක්කාලි ද සිහින්ව ලියලා ඒ සියල්ල මිශ්‍ර කර ගන්න. පසුව එයට උම්බලකඩ පොල් ස්වල්පයක් එක් කර ලියලා ගත් අසමෝදගම් කොළ ටික දමා කවලවම් කර රස පදමට ලුණු සහ දෙහි එක් කර අසමෝදගම් සලාදය සකසා ගන්න.

Apiaceae උද්භිද කුලයට අයත් අසමෝදගම් ආයුර්වේදය තුළ රෝග රැසකට ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ.
ශ්වසන රෝගයන්ට
ශ්වසන රෝග සමනය කිරීමට එනම්
හතිය, ඇදුම, කැස්ස හා පීනස වැනි පීඩාකාරී රෝග සමනය කිරීමට වියළි අසමෝදගම් ඇට කුඩුකර හුලං නොවදින සේ අසුරා දිනකට දෙවරක් උදේ හා සවස තේ හැන්ද බැගින් මී පැණි සමග ආහාරයට ගැනීම මෙන්ම අසමෝදගම් ඇට පුළුස්සා එම දුම් ඇල්ලීම යෝග්‍ය වේ.
මේදය දහනය කිරීමට
ශරීරගත අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා අසමෝදගම් තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම සිදු කළ හැකිය. එනම් අසමෝදගම් ඇට තේ හැන්දක් හා මින්චි කොල තුනක් උණු වතුර එකකට දමා විනාඩි කිහිපයක් තිබෙන්නට හැර පෙරා ඊට දෙහි ඇඹුල් බිංදු කිහිපයක් මිශ්‍ර කර පානය කිරීම මගින් සිරුරේ අනවශ්‍ය මේදය දහනය වීම සිදුවේ.

චර්ම රෝගයන්ට
සමෙහි ඇතිවන දද ,කුෂ්ඨ, තුවාල සුව කර ගැනීමට මෙන්ම ඒවායෙහි පවතින විසබීජ ඉවත් කර ගැනීමට අසමෝදගම් ඇට නිස්සාරණය කිරීමෙන් ලබා ගන්නා තයිමෝල් නම් රසායනිකය සහිත තෙල් භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් මෙම තෙල් උණුසුම් ජලයට මුසුකොට එමගින් තුවාල, දද හා කුශ්ට සේදීම
මගින් සුවය සලසා ගත හැකිය.
වේදනාවන්ට සහ ඉදිමුමට
අසමෝදගම් ඇට අඹරා හෝ අසමෝදගම් තෙල් ඉදිමුම් හා වේදනාව පවතින ස්ථානවල ආලේප කිරීම මගින් එම වේදනා,ඉදමුම් සුව කර ගත හැකිය. එමෙන්ම ස්ථානික වේදනාවන් සඳහා අසමෝදගම් චූර්ණය හෝ අසමෝදගම් ඇට පොල් කිරෙන් අඹරා ආලේප කිරීම ගුණදායක ප්‍රතිකර්මයක් වේ.
ආමාශගත රෝගයන්ට
උදරගත රෝග සමනය කිරීමට බහුලව යොදා ගනු ලබන්නේ අසමෝදගම් ස්ප්‍රීත්තුවයි. ඊට අමතරව උදරගත රෝග ඇති වූ අවස්ථාවක අසමෝදගම් ඇට කබලේ බැද උණු වතුරට දමා එම ජලය පානය කිරීම ඈත අතීතයේ සිටම සිදු කර තිබේ. එමෙන්ම අසමෝදගම් හා ඉගුරු තම්බා පානය කිරීම ද ආමාශගත රෝග සමනය කිරීමට උපකාරී වේ.
ශරීරය සුවඳවත් කිරීමට
දහඩිය ඇති කිරීම සඳහා අසමෝදගම් භාවිතා කළ හැකිය. එමෙන්ම එම දහඩිය දුගඳ ඉවත් කිරීම සඳහා ද අසමෝදගම් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් අසමෝදගම් ඇට ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර මද වේලාවක් තබා සෝදා හැරීමෙන් එම දුගඳ ඉවත් කර ගත හැකිය.
විෂ නැසීමට
එනම් ගෝණුස්සන්, පත්තෑයන්, මී මැස්සන්, බඹරුන් හා දෙඹරුන් දශ්ට කළවිට එම දශ්ට කල මුඛයේ අසමෝදගම් ඇට, තෙල් හෝ චූර්ණය ආලේප කිරීම මගින් එම විෂ ඉවත් කර ගත හැකිය.
අසමෝදගම් අගුණ වන අවස්ථා
ගර්භණී කාන්තාවන්ට
කිරිදෙන මව්වරුන්ට
ගෑස්ට්‍රයිටීස් රෝගීන්හට