මදසරු භාවය වළකන රත් මල් පානය

health tips

Rubiaceae උද්භිද කුලයට අයත් රත්මල් ශාකය හෙළ වෙදකම තුළ වැඩි වටිනාකමක් හිමිකර ගත් තවත් එක් ඖෂධීය ශාකයකි. එනම් පඳුරක් ලෙස මීටර් 10ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයක් වූ රත්මල් ශාකය කඳුකර ප්‍රදේශවල හා පහතරට කලාපයේ බහුලව දැකගත හැකිය. රත් මල් ශාකයේ පත්‍ර තද කොළ පැහැති වන අතර සම්මුකව පිහිටා තිබේ. මෙහි හටගනු ලබන මල්  පෙති හතරකින් සමන්විත වන රතු පැහැති මල් පොකුරුය. අමු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු රතු හෝ කළු පැහැතිවේ. එනම් මෙම ගෙඩි බොහෝ  දෙනකු පළතුරක් ලෙස ද ආහාරයට එකතුකර ගනී. 

West Indian jasmine යන නමින් ඉංග්‍රීසි බසින් හදුන්වන රත් මල්වල ප්‍රභේද ගණනාවක් පවතී. එනම් එම ප්‍රභේද සියල්ලම ගෙවතු අලංකරණය සඳහා බහුලව වර්තමානය වන විට වගා කර තිබේ. ඒ නිසාම ඖෂධ ලෙස රත් මල් යොදා ගන්නේ නම් ඊට ප්‍රථම එය රත්මල් ශාකය ම දැයි තහවුරු කරගත යුතුය. ඈත අතීතයේ සිටම අදවන තුරුම රත්මල් ශාකයේ කොළ, පොතු,මල් ආයුර්වේදය තුල නොයෙක් රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඊට අමතරව රත් මල් පානය බොහෝ රෝග සමනය කිරීමට උපකාරීවේ. 

රත් මල් පානය සකස් කර ගන්නා ආකාරය – රත් මල් පොකුරු කීපයක් ගෙන මද පවනේ වේළා කුඩුකර ගන්න. පසුව ඉන් ස්වල්පයක් උණුසුම් වතුර වීදුරුවකට දමා වසා තබා තැම්බෙන්නට හැර පානය කරන්න. මේ සඳහා රත් මල් වියලා කුඩු නොකර උවද භාවිතා කළ හැකිය. 

රත්මල් ශාකයේ ඖෂධීය භාවිතය.

  • ආහාර අරුචිය සමනය කිරීමට. 
  • අක්ෂි රෝග සමනය කිරීමට 
  • විෂබීජ නාශනය කිරීමට 
  • සමේ ඇතිවන ආසාදන සමනයට 
  • පිළිකා ඇතිවීම වැළැක්වීමට 
  • මදසරුභාවය වැළැක්වීමට 
  • ළදරුවන්ගේ රතගායට 
  • ආර්තව අක්‍රමිකතා සමනය කිරීමට 
  • උගුරේ සෙම් රෝග සමනයට 
  • කැස්සට 
  • ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට 
  • පිළිකා ඇතිවීම වැළැක්වීමට 
  • මේ ආදී රෝග ගණනාවකට ඖෂධ ලෙස රත්මල් භාවිතා කරයි.

මදසරුභාවය වැලැක්වීමට ගර්භාෂ රෝග සමනයට රත් මල් පානය සකස් කර භාවිතා කිරීම සුදුසුවේ. ඊට අමතරව රුධිරගත විෂ නැසීමටද රත්මල් පානය භාවිතා කළ හැකිය. ඈත අතීතයේ සිටම රත්මල් ශාකය වැඩිවශයෙන් භාවිතා කරනු ලබන්නේ අලුත උපන් දරුවන් නැහැවීම සඳහාය. එනම් එසේ රත්මල් භාවිතා කර දරුවන් නැහැවීම තුළින් දරුවන්ගේ සමෙහි ඇතිවන දද, කුෂ්ඨ, දහඩිය බිබිළි වැනි සම මත ඇතිවන අසාත්මිකතාවන් ඇතිවීම වළක්වා ගත හැකිය.

එනම් ඒ සඳහා රත්මල්, වෙනිවැල්ගැට,අමුකහ තම්බා පසුව අමු කහ කැබැල්ල ගෙන නැවත තලා වතුරට දමා නිවෙන්නට හැර බිලිදා නැහැවීම මගින් රක්ත දෝෂ සමනය කර  බිළිදු සමෙහි ඇතිවිය හැකි ආසාත්මිකතාවන්ද වළක්වා ගත හැකිය.

රත කුෂ්ඨ සඳහාරත කුෂ්ඨ සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම රත්මල් ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා රත් මල් පමණක් අඹරා ආලේප කිරීම මගින් ද සුවය සලසා ගත හැකිය. ඊට අමතරව අබ කොළ රත් මල් අඹරා තල තෙල් මිශ්‍ර කර ආලේ ප කිරීමද වඩාත් ගුණදායවේ. ඊට අමතරව උදුපියලිය, රත්මල්  කොළ, කැකුළු හාල් ස්වල්පයක්, ජලයෙන් අඹරා රත කුෂ්ඨයේ ආලේප කිරීමෙන් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිවේ.

අක්ෂිරෝග සමනය කිරීමට ඇස් කැසීම, රතුවීම ආදී අක්ෂි රෝග සමනය කිරීමට රත්මල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා රත් මල් වතුරට දමා ටික වේලාවක් තබා පසු රත් මල් වතුරෙන්  මුහුණ හා ඇස් සේදීම මගින් ඉහත රෝග සුවකර ගත හැකිවේ. 

රතගාය සමනය කිරීමට රතගාය සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම භාවිතා කළ තවත් එක් ගුණදායක ඖෂධයක් ලෙස රත්මල් හැඳින්විය හැකිය. එනම් මේ සඳහා රත් මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා පානය කිරීමට දීම, රත් මල් පොතු කෂාය කර දීම ,වදමල්, රත්මල්, රත්හඳුන්,වැල්මී තම්බාගත් වතුර සීනි හෝ මීපැණි දමා පානය කිරීම. මගින් රතගාය සමනය කර ගත හැකිය.

චර්ම රෝග සමනයට සමේ ඇතිවන දද කුෂ්ට වණ සමනය කිරීම සඳහා රත් මල් පානය හා රත්මල් ආලේපය භාවිතා කරනු ලැබේ.

මුඛ පිළිකා ඇතිවීම වළක්වයි.ඈත අතීතයේ දී මුඛ පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සදහා  බොහෝ දෙනෙකු බුලත්විට කනවිට රත් මල් පොහොට්ටුවක් ඊට එකතු කරගෙන තිබේ. එනම් ඉන් මුඛ පිළිකා ඇතිවීම වළක්වාගත හැකි බව පිළිගෙන තිබේ.  මේ නිසා වර්ථමානයේද මුඛ පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී ද රත් මල් භාවිතා කරනු ලැබේ. 

මේ ආදී බොහෝ රෝගයන්ට ඖෂධයක් ලෙස රත්මල් භාවිතා කළ හැකිය. නමුදු යම් රෝග තත්ත්වයන් සඳහා රත්මල් ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.