ඔබට ආඝාතය හැදිලා කියලා පෙන්නුම් කරන ලක්ෂණ 5ක්

health tips

ස්ට්‍රෝක් (stroke) හෙවත් ආඝාතය යනු ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය හදිසියේම මතුවන රෝග තත්වයක්. මෙය brain attack ලෙස ද හඳුන්වයි.අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයට සම්බන්ධ රුධිර සැපයුම අඩාල වීම හේතුවෙන් (බොහෝවිට ධමනි තුළ රුධිර කැටිති සිරවීමෙන්) මේ තත්වය ඇතිවිය හැකියි.එම නිසා මොළයේ එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස නොලැබී යාමෙන් ඒ ආශ්‍රිත ස්නායු සෛල මියයාමට පටන්ගනියි.ආඝාතය හදිසි මරණ වලට හේතුවන ප්‍රධාන රෝගයක් ලෙස ද හඳුන්වයි. ඊට අමතරව මොළය අභ්‍යන්තරයේ සිදුවන රුධිර ගැලීම් නිසා ද ආඝාත තත්වයක් ඇතිවිය හැකියි.රුධිර නාළ පිපිරීමකින් මොළයේ පටක අතරට රුධිරය ගලා ගොස් ඒවා මත ඇතිකරන පීඩනයෙන් එම ප්‍රදේශයේ ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වී යාමෙන් මෙය හටගනියි.

වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මොළයට සිදුවිය හැකි හානි හා වෙනත් සංකූලතා අවම කරගත හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.ප්‍රතිකාර නොකිරීමෙන්,ආඝාතය නිසා පුද්ගලයාගේ චලනය වීමේ හැකියාව,කථන හැකියාව,මානසික හා චිත්තාවේගීය සෞඛ්‍ය (මොළයේ ක්‍රියාකාරීත්වය) අඩපණ විය හැකි අතර ඇතැම් අවස්ථා වල මරණය පවා ඇතිකළ හැකියි. ආඝාත තත්වයකදි මූලිකව ඇතිවන ලක්ෂණ වන්නේ සිරුර හිරිවැටීම හා අප්‍රාණිකබවයි.එහි බලපෑමින් පුද්ගලයෙකු තාවකාලිකව හෝ ස්ථීර ලෙස ආබාධිත වීමට පවා ඉඩ තිබෙයි.

ආඝාතය තත්වයක් ඇතිවීමෙන් පසු පුද්ගලයාගේ සිරුරේ විවිධ කොටස් වලට බලපෑම් ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතියි.මොළය කියන්නේ අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයන් පාලනය කරන සංකීර්ණ අවයවයකි.ආඝාතයක් හටගත් විට,සිරුරේ යම් ක්‍රියාකාරීත්වයක් නියාමනය කරන මොළයේ ප්‍රදේශයට අවශ්‍ය රුධිර සැපයුම නතර වෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස එම ශරීර ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. උදාහරණයක් ලෙස ආඝාතය තත්වය ඇතිවූයේ මොළයේ පි‍ටුපස ප්‍රදේශයේ නම්, බොහෝ විට පුද්ගලයාගේ ඇස් පෙනීමට බලපෑම් ඇතිවිය හැකියි. මොළයේ වම් අර්ධය ගත්විට ඉන් පාලනය කෙරෙන්නේ සිරුරේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තයි. එනම් සිරුරේ දකුණු පැත්තයි.මොළයේ එක් වම් පැත්තේ හටගන්නා ආඝාතයකදී බොහෝ විට ඒ බලපෑමින් සිරුරේ දකුණු පැත්තේ ස්නායු අඩපණ වීම් ඇතුළු සංකූලතා මතුවෙයි. එම නිසාම පෙර සඳහන් කළ ආකාරයට, ආඝාත තත්වයකදී වහාම ප්‍රතිකාර ලබාදීම සඳහා පුද්ගලයාව යොමුකිරීම ඉතා වැදගත් වෙයි.

ආඝාත තත්වයකින් පසු පුද්ගලයාගේ සිරුරේ ඇතිවිය හැකි වෙනස්කම් හා ගැටලු තත්වයන් මොනවාද කියායි අද අප ඔබට පැහැදිලි කරන්නේ.

ශ්වසන පද්ධතියට ඇතිවන බලපෑම් ආඝාත තත්වයකින් පසු එම රෝගියා බොහෝ විට ශ්වසන අපහසුතා වලට ලක්විය හැකියි.හානියට ලක්වූ මොළයේ ප්‍රදේශය හා එහි බරපතලකම මත එම ශ්වසන ආබාධ වල ස්වභාවය වෙනස්වෙයි.බොහෝ විට මේවා මතුවීමට හේතුව වන්නේ ශ්වසන ක්‍රියාවලියට දායක වන මාංශ පේශී හා උරස් (පපු ප්‍රදේශයේ) චලන දුර්වලවීමයි.එම නිසා පෙර මෙන් නොව හුස්ම ගැනීම පවා ඔබට අපහසු දෙයක් ලෙස දැනිය හැකියි. මෙවැනි පුද්ගලයින්ට නියුමෝනියාව හා බ්‍රොන්කයිටිස් වැනි රෝග වැලඳීමේ අවදානම ද තිබිය හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.

රුධිර සංසරණ පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් ආඝාත තත්වයකදී වැඩි බලපෑමකට ලක්වන්නේ මෙම පද්ධතියයි.මොළය මෙන්ම අපේ ශරීර ක්‍රියාවලීන් පාලනය කිරීමේ වගකීම රුධිර සංසරණ පද්ධතියට ද ඇත.ආඝාත තත්වයකදි මෙම පද්ධතියට ඇතිකෙරෙන බලපෑම් ඇතැම් විට මාරාන්තික වීමට පවා පුළුවන්.ආඝාතය ඇතිවූ පසු දින කිහිපයක් ගත වන විට එම පුද්ගලයාට හෘදයාබාධ, හෘද අකරණිය් (අක්‍රීයවීම),හෘද රිද්මය අසාමාන්‍ය වීම වැනි හෘද ගැටලු මතුවීමේ ඉහළ අවදානමක් තිබිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

හෘද ස්පන්දන රිද්මය අක්‍රමවත් වීම රුධිර කැටිති ඇතිවීමට මුල්වෙයි.ඒවා රුධිර ප්‍රවාහයට මුසු වී කිරීටක ධමනිය වෙත ලඟා වුවහොත් හෘදයාබාධ තත්වයක් මතුවීමට බොහෝ ඉඩකඩ තිබෙයි.ඒවා මොළය වෙත ගමන් කළහොත් නැවතත් ආඝාත තත්වයක් මතුවීමේ අවදානම ඇතිවිය හැකියි.ස්ට්‍රෝක් එකකින් පසු රුධිර ප්‍රවාහයට මුදාහැරෙන රසායනික ද්‍රව්‍ය හෘදයට පීඩා මතුකරයි.

මාංශ පේශි පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් මොළයේ හානියට ලක්වූ ප්‍රදේශය අනුව ආඝාතයකින් පසු සිරුරේ විවිධ මාංශ පේශී කාණ්ඩ වලට බලපෑම් මතුවිය හැකියි.මෙම බලපෑම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි. එවගේම නිසි ප්‍රතිකාර ද අවශ්‍ය වෙයි.සිරුරේ ඉච්ඡානුග (සිතාමතා) හා අනිච්ඡානුග (ඉබේ) සිදුවන චලන නියාමනය කෙරෙන්නේ මොළය මඟිනි.මෙය සිදුවන්නේ මොළය විසින් මාංශ පේශි වෙත ස්නායු සංඥා නිකුත් කිරීම හරහායි.ආඝාතය තත්වයකදී මෙම ක්‍රියාවලියට අවහිරතා ඇතිවෙයි.එම නිසා මාංශ පේශි ක්‍රියාකාරීත්වයන් වල හානිකර වෙනස්කම් පවා මතුවීමට ඉඩ තිබෙයි. මාංශ පේශී තදවීම,මාංශ පේශි තානය අඩුවීම,මාංශ පේශි ක්ෂය වීම (වැහෑරීම) වැනි ගැටලු මතුකළ හැකියි. අංශබාගය ඇතිවීමට මූලිකම හේතුව ආඝාතයයි. අංශබාගය යනු ශරීරය චලනය කිරීමට නොහැකිව යාම හෙවත් ඔත්පල වීමයි. ආඝාත තත්වයකදී මාංශ පේශී ක්‍රියාකාරීත්වය බොහෝ විට සීමාවෙයි.

ස්නායු පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් මොළය, ස්නායු ජාලය හා සුෂුම්නාව මීට අයත්ය.මොළය හා ශරීර අතර සංඥා හුමවාරු වන්නේ මෙම පද්ධතිය හරහායි.ආඝාත තත්වයක් හේතුවෙන් මොළයට හානි ඇතිවූ විට මොළය හා ශරීර කොටස් අතර එම සංඥා ක්‍රමවත් ලෙස හුවමාරු වන්නේ නැත.එදිනෙදා කටයුතු වල යෙදීම පවා ඉතා වේදනාකාරී බවක් ඔබට දැනිය හැකියි.බොහෝ විට පුද්ගලයා මීට පෙර එම කාර්යන් හි යෙදුණු ආකාරය නැත්නම් සංවේදන මොළයට තේරුම් ගැනීමට නොහැකිකම මීට හේතුව විය හැකියි.ඇස් හා සම්බන්ධ මොළයේ ප්‍රදේශයට හානි වී ඇත්නම් , පුද්ගලයාගේ ඇස් පෙනීම ද දුර්වල වී යාමට ඉඩ තිබෙයි.ඇසක් හෝ ඇස් දෙකේම පෙනීම දුර්වල වීම හෝ ඇස් චලනය කිරීමේ අපහසුතා ඇතිවිය හැකියි. ඇස් වල දුර්වලතා නිසා නිවැරදි තොරතුරු මොළයට නොලැබෙන විට අවබෝධ කරගැනීම දුෂ්කර විය හැකියි.

අප්‍රාණිකබව ඇතිවීමෙන් කකුලේ ඉදිරිපස කොටස ඔසවා අඩිය තැබීම දුෂ්කර විය හැකියි. මේ නිසා ඇවිදින විට බිම දිගේ ඇඟිලි ඇදගෙන යමින් පියවර තැබීමට හෝ අඩිය එසවීමට දණහිසින් කකුල නැවීමට පෙළඹවීමක් ඇතිවෙයි.කකුල් ඇදගෙන යමින් අඩිය තියන ආකාරයක් වර්ධනය වීමට ඉඩ තිබෙයි. මෙය බොහෝ විට හටගන්නේ ආඝාතය තත්වයකදී ඇතිවන ස්නායු හානිවීම් නිසයි. නිසි ප්‍රතිකාර ලැබීමෙන් හොඳ ගුණයක් අත්කරගැනීමට බොහෝ විට හැකිවෙනු ඇත.

මොළයේ දකුණු පැත්තට සිදුවන හානිවීම් නිසා පුද්ගලයාගේ අවධානය, ඒකාග්‍රතාව අඩුවීම හා මතකය ආශ්‍රිත ගැටලු මතුවිය හැකියි.හොඳින්ම දැන සිටි දේවල් පවා හඳුනාගැනීම අසීරු වී යා හැකියි.මානසික අවපීඩනය වැනි තත්වයන් මතුවීමත් සමඟ පුද්ගලයාගේ හැසිරීමේද වෙනස්කම් මතුවිමට පුළුවන්.ආවේගශීලිබව වැඩිවිය හැකියි.මොළයේ වම් පැත්තට හානි සිදුවීමෙන් කතා කිරීමේ හැකියාව හා භාෂා අවබෝධ හැකියා දුර්වල වෙයි. ආඝාතය යනු අපස්මාරය/මීමැස්මොරය (epilepsy) රෝග තත්වය වර්ධනය වීමට තුඬු දිය හැකි ප්‍රධාන අවධානම් සාධක වලින් එකකි.

ආහාර ජීර්ණ පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් ස්ට්‍රෝක් එකක් ඇතිවු පසු දින කිහිපයක් යන තුරුම සිරුරට පණ නැති ගතියක් නිතර දැනෙයි.සිරුර ප්‍රකෘතිමත් වන තුරුම මුල් දින කිහිපයේ මේ තත්වය පැවතිය හැකියි.ක්‍රියාශීලි බව අඩුවෙයි. බොහෝ විට වෛද්‍යවරයා විසින් ඔබට විවිධ ඖෂධ වර්ග නියම කරනු ලැබෙයි.එම බෙහෙත් වල අතුරුආබාධයක් ලෙස බොහෝ විට පුද්ගලයාට මලබද්ධය (බඩවේලීම) ඇතිවිය හැකියි.පානය කිරීමේදි ගැටලු ඇතිවිය හැකියි.ඊට හේතුව ගිලීමේ අපහසුතාවයි.ස්ට්‍රෝක් එකක් ඇතිවූ රෝගින් අතරින් 50%ක්ම පමණ මේ තත්වය අත්දකිති.මූත්‍රාශයේ හා බඩවැල් ආශ්‍රිත ගැටලු මතුවීම වඩාත් පොදුය. එම ක්‍රියාවලි පාලනය කරන මොළයේ ප්‍රදේශ වලට හානිවීමෙන් ඒවයේ ක්‍රමවත් බව ගිලිහෙයි. ආඝාත තත්වයකදි මූත්‍රා අඩස්සිය  (මූත්‍රා පිටකිරීමේ අපහසුතා) වැනි ගැටලු ඇති විය හැක්කේ මේ නිසයි.