අපේ සිරුරේ 60%කට වඩා ඇත්තේ ජලයයි.ඒවගේම සිරුරේ ඇති නොයෙකුත් අවයවන් වල සංයුතියේ ද ජලය පවතියි.පෙනහළු වල 85%ක් ද, මාංශ පේශී වල හා වකුගඩු වල 79% ද,මොළයේ හා හෘදයේ 73%ක් ද, අස්ථි වල 32%ක් පමණ ඇත්තේ ද ජලයයි.දිනපතා හොඳින් ජලය පානය කිරීම සිරුරේ නීරෝගී පැවැත්මට ඉතා වැදගත් වේ.දිනකදී පානය කළ යුතු නිවැරදි ප්‍රමාණයෙන්ම දිනපතාම ජලය පානය කිරීමට පුරුදු වීමෙන් සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කරගත හැකියි. බඩවැල් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම (මලබද්ධය වැනි ගැටලු දුරුවීම),මිග්‍රේන්ස් තත්වයන් සමනය වීම මෙන්ම වෙනත් රෝගාබාධ වර්ධනය වීමේ අවදානම වැළැක්වීම වගේ ප්‍රතිලාභ ද ඒ අතර වේ.ඊට අමතරව දිනපතාම හොඳින් ජලය පානය කිරීමෙන් ඔබේ සිරුරට ලැබෙන තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි මේ.
- ඔබේ සන්ධි වඩාත් හොඳින් ලිහිසිකරණයට ලක්වේ

කශේරුකා තැටි වල හා සන්ධි ආශ්‍රිතව ඇති කාටිලේජ මඟින් අස්ථි අතර චලන වඩාත් සුමටව සිදුවෙයි.මේවායේ සංයුතියෙන් 80%ක්ම ඇත්තේ ජලයයි.සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම ඔබේ සන්ධි ක්‍රියාකාරීත්වයන්ට බාධා ඇතිකරන්නේ මේ හේතුව නිසයි.එහිදි සන්ධි වල කම්පන උරාගැනීමේ හැකියාව අඩු වී සන්ධි වේදනාවන්ට තුඬු දෙයි. දිනපතා හොඳින් ජලය පානය කිරීමෙන් සිරුරේ වස විස ද්‍රව්‍ය ක්‍රමවත්ව සිරුරෙන් බැහැර කරවාගත හැකියි. එම වස විස ද්‍රව්‍ය සිරුරෙන් බැහැර නොවී සන්ධි ආශ්‍රිතව එකතු වුවහොත් සන්ධි ප්‍රදාහයට (වේදනාකාරී ඉදිමුම්) ලක්වී රක්තවාතය වැනි වේදනාකාරී සන්ධි රෝග පවා වර්ධනය වීමට ඉඩ තිබෙයි. එම නිසා සිරුර හොඳින් විෂහරණය වීමට දිනපතාම නිවැරදි ප්‍රමාණයකින් ජලය පානය කරන්න.
- මූත්‍රා මාර්ග ආසාදන හා වකුගඩු වල ගල් හටගැනීම වළක්වාගත හැකියි.

රුධිරයේ ඇති වස විස හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්ය සිදුකරන්නේ වකුගඩු මඟිනි.ඔබ හොඳින් ජලය පානය නොකරන විට අම්ල ඇතුළු එවැනි නොයෙකුත් අපද්‍රව්‍ය වකුගඩු වල එකතු වීමට පටන්ගනියි.එහිදී මයොග්ලිබින් නම් ප්‍රෝටීන වලින් වකුගඩු අවහිර වී යයි.සිරුර අධික ලෙස විජලනය වීමෙන් ද වකුගඩු ගල් හටගැනීම හා මූත්‍රා මාර්ගයේ ආසාදන තත්ව මතුවීමේ අවදානම ඉහළ යයි.හොඳින් ජලය පානය කිරීමෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය වඩාත් ක්‍රමවත් වේ.
- ඔබේ මනෝභාවය යහපත් වී මතක ශක්තිය හා ඒකාග්‍රතාව වර්ධනය වේ

සිරුරේ සජලතාව මොළයේ නීරෝගී ක්‍රියාකාරීත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි.සියුම් විජලන තත්වයකදී, උදාහරණයක් ලෙස පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු නිසි ජලය ප්‍රමාණයෙන් බාගයක් පමණක් පානය කරන්නේ නම් .ඔහුගේ/ඇයගේ මොළයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් දුර්වල වීමට පවා ඉඩ තිබෙනවා.සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබීමෙන් පුද්ගලයාගේ මානසික ඒකාග්‍රතාවට බාධාවීම,අයහපත් මනෝභාවය (bad mood) සහ ඇතැම් විට නිතර නිතර හිසරදය මතුවීම වැනි අපහසුතා මතුවිය හැකි බව අධ්‍යයන පෙන්වාදෙනවා.එපමණක් නොව මතක ශක්තියට හානිකර බලපෑම් ඇතිවිය හැකියි වගේම සිරුරේ තෙහෙට්‍ටුව හා කාංසාව වැනි ගැටලු වර්ධනය වීමට පවා තුඬු දිය හැකි බවත් පෙන්වාදේ.
- හෘද ක්‍රියාකාරීත්වය වඩාත් යහපත් වේ

ඔබ දිනපතා හොඳින් ජලය පානය කරන්නේ නම් ඔබේ හෘදයට අධි ආයාසයකින් ක්‍රියාකාරී වීමට අවශ්‍ය වන්නේ නැහැ. සිරුර සියුම්ව හෝ විජලනයට ලක්වූ අවස්ථාවක ඉන් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලියට බලපෑම් ඇතිකෙරෙනවා. සිරුරට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා එකවරම හෘද ස්පන්දන වේගය වැඩිවීමට ද රුධිර පීඩනය අඩු වීමට ද පටන්ගනියි.එවැනි අවස්ථාවක සිරුරට කම්පන තත්වයක් උදාවීමේ අවදානම ඉතා වැඩියි.
- හිසරදය තත්වයන් නිතර මතුවීම අඩු වේ

මිග්‍රේන් තත්වයෙන් පෙළුණු පිරිමි පුද්ගලයින් 102 ඇසුරෙන් කරන ලද අධ්‍යයනයකදී දිනකට අමතරව ජලය ලීටර් 1.5ක් පානය කිරීමට උපදෙස් දීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයේ හොඳ ප්‍රගතියක් නිරීක්ෂණය කිරීමට ලැබුණු බව සඳහන්.හොඳින් ජලය පානය කිරීම මිග්‍රේන් වැනි හිසරද තත්වයන් හි පීඩාකාරි ලක්ෂණ සමනය වීමට සහය දෙයි.
- මලපහ බැහැර වීමේ ක්‍රියාවලිය ක්‍රමවත් වේ

දිනපතා හොඳින් ජලය පානය කිරීම මලබද්ධය වැනි බඩවැල් ආශ්‍රිත අපහසුතා ගැටලු සමනය වීමට හා ඒවා ඇතිවීමෙන් වැළකීමට සහය දේ.අඩුවෙන් ජලය පානය කරන පුද්ගලයින් තුළ මලබද්ධය වැනි ගැටලු පොදුවේ හඳුනාගන්නට ලැබේ.ඛනිජ ජලය (mineral water) පානය කිරීම එවැනි අයට වඩාත් යෝග්‍යයයි. එහි අඩංගු සෝඩියම් හා මැග්නීසියම් මඟින් බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරවයි.
දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙය පහසුවෙන් ගණන කරන ක්‍රමයක් ගැනයි දැන් අප ඔබට කියන්නේ!

දිනකට ඔබ ජලය ලීටර් කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද කියා දැනගැනීමට ඔබේ ශරීර බර කිලෝග්‍රෑම් අගය 0.033න් ගුණ කරන්න (බර (kg)*0.033). ඔබට නිවැරදි ලීටර් ප්‍රමාණය පිළිතුර ලෙස ලැබේවි.