අපට ආහාර පාන වල රස හැඳින ගැනීමට උපකාරී වන දිව සාමාන්‍යයෙන් රෝස පාටක් ගනියි.නමුත් ඇතැම් අවස්ථා වල දිවේ මතුපිට විවිධ පාට වලට හැරී වෙනස් වී ඇති අයුරු දකින්නට ලැබෙනවා.මෙවැනි කායික ලක්ෂණ සිරුරේ යටින් පවතින සෞඛ්‍ය ගැටලු වල පූර්ව ලක්ෂණ හෝ සංඥා පෙන්නුම් කිරීම් ලෙස ද සැලකිය හැකියි.දිවේ පැහැයෙන් ඔබේ සිරුර ගැන හෙළිවන්නේ මොනවගේ දේවල් ද?
(මෙය දැනුම පිණිස පමණක් ලියන ලද්දකි.මෙවැනි පැහැයන් වෙනස්වීමේ ලක්ෂණ අත්දකින්නේ නම් හෝ වෙනත් රෝග ලක්ෂණ ඒ සමඟ අත්දකින්නේ නම්, වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න).
රෝස පාට

දිවේ ස්වභාවික පැහැය රෝස පැහැයයි.නීරෝගී දිවක මතුපිට සුදු පාට සුලු වැස්මක් සහිත රෝස පැහැයක් දැකිය හැකියි.
සුදු පාට

දිව මතුපිට සුදු ස්තරයක් හෝ පුල්ලි වශයෙන් බැඳී තිබීමට බලපෑ හැකි හේතු කිහිපයකි.
- උල්ලෝගම් (oral thrush) ඉන් ප්‍රධානයි.මේවා මුඛයේ ඇතිවන යීස්ට් ආසාදන තත්වයකි.කොටේජ් චීස් වගේ ස්වභාවයක් ගන්නා සුදු පැල්ලම් දිව මතුපිටින් බැඳෙයි.ළදරුවන්, වයස්ගත වැඩිහිටියන් හා ප්‍රතිශක්තිය දුර්වල වූවන් තුළ මෙම රෝගය වර්ධනය වේ.
- ලියුකොප්ලැකියා (Leukoplakia) යනු මුඛයේ පිහිටි සෛල අධි වර්ධනය වීමෙන් දිවේ හා මුඛය තුළ සුදු පැහැති පැල්ලම් මතුවීමට පටන්ගන්නා තත්වයකි.දුම්කොළ නිෂ්පාදන භාවිත කරන පුද්ගලයින් තුළ මේ ගැටලුව බහුලය.
- සානු ලයිකන හෙවත් දිවේ ඇතිවන Lichen planus වල පෙනුම ඉලිප්පුනු සුදු ඉරි රේන්ද මෙන් ය.මෙම රෝගයට බලපාන හේතු සාධක තවමත් හඳුනාගෙන නැත.
රතු පාට

දිව ඉලිප්පුනු රතු පැහැයක් ගැනීම රතු උණ (scarlet fever) හෝ විටමින් B ඌනතාවයේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකිය.ආසාත්මිකතාවක් නිසා ද මෙවැනි වෙනස්කම් ඇතිවීමට පුළුවන්. ඇතැම් විට මෙය glossitis හෙවත් දිව ප්‍රදාහයට ලක්වීම නිසා ඇතිවිය හැකිය.
දම් පාට

දිවේ දම් පැහැයක් ඇතිවීම හෘද රෝග, රුධිර සංසරණය නැවතීම හා දුර්වල වීමේ තත්වයන් ඉඟි කරනවා විය හැක.මෙය ඇතැම් විට කවසාකි (Kawasaki disease) නම් රෝගයේ පූර්ව සංඥාවක් විය හැකියි. මෙය රුධිර නාළ තුළ ප්‍රදාහය ඇතිකරවන සුලු දුර්ලභ රෝග තත්වයකි.
නිල් පාට

සිරුරේ ඔක්සිජන් හිඟකම හේතුකොටගෙන දිව නිල් පැහැයට හැරිය හැකිය.දිව නිල් පාට වීමට බලපෑ හැකි හේතු වන්නේ: පෙනහළු වල ඔක්සිජන් ඌනවීම, රුධිරය ආශ්රිත රෝගාබාධ,රුධිර නාළ ආශ්රිත රෝග,වකුගඩු රෝග වැනි තත්වයන්ය. එක්සිමා දද (eczema) තත්වයේ පූර්ව සංඥා වක් ලෙස ද මතුවිය හැකියි.
කහ පාට

දිවේ කහ පැහැයක් ඇතිවීම සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ මුඛයේ බැක්ටීරියා වර්ධනය වී තිබෙන බවයි.දුර්වල මුඛ සෞඛ්‍ය (මුඛයේ නීරෝගිබව කෙරෙහි අඩු සැලකිල්ල) හා මුඛයේ වියළිකම හේතුවෙන් ද ඇතැම් විට මෙය ඇතිවිය හැකියි. දිව කහවීම දියවැඩියාව හා ජෝන්ඩිස් (jaundice) හෙවත් ඇස් හා සම කහවීම වැනි බරපතල රෝග හේතුවෙන් ද ඇතිවිය හැකි අතර ඒවා දුර්ලභ සිද්ධිය.දිව කලු වී ලොම් මතුවීමට පෙර දිව කහ පැහැයට හැරීමට පුළුවන. දිවේ පැපිලා හෙවත් පිඔටිකා (papillae) විශාලව වර්ධනය වීමත් සමඟ දිව මතුපිට බැක්ටීරියා සිරවී දිව කහ පැහැයට හැරීම සිදුවේ.
තැඹිලි පාට

මුඛය හොඳින් පිරිසිදු කර පවත්වානොගැනීම හා අධික වියළිබව නිසා දිවේ තැඹිලි පැහැයක් වර්ධනය වීමට ඉඩ ඇත.ඇතැම් ප්‍රතිජීවක ඖෂධ හා ආහාර පාන (බිටා කැරොටීන් බහුල) ලබාගැනීමෙන් පසු දිවේ මෙවැනි වෙනස්කමක් දැකිය හැකියි.
කොළ පාට

දිව මතුපිට බැක්ටීරියා එකතුවීමේ ප්‍රතිඵලයක් ලෙස දිව කොළ පැහැයට හැරීම සිදුවිය හැකියි.මීට හේතුවන්නේ ද දිව සුදු හෝ කහ පාට වීමට බලපාන හේතුම විය හැකියි.
දුඹුරු පාට

ඇතැම් ආහාර පාන පුරුදු හා ඇතැම් නිෂ්පාදන භාවිතය දිවේ දුඹුරු පැහැයක් ඇතිවීමට හේතු සාධක විය හැකියි.කෝපි පරිභෝජනය නිසා ද ඇතැම් විට දිව මතුපිට දුඹුරු ස්වභාවයක් දැකිය හැකි වේ.
අළු පාට

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ගැටලු ආබාධ මෙන්ම පෙප්ටික් වණ වැනි තත්වයන් පිළිබඳ පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස මෙය සැලකිය හැකියි.එක්සිමා දද වල පූර්ව සංඥාවක් ද විය හැකියි.
කළු පාට

කෙරටින් එකතුවීම නිසා දිව මතුපිට කළු පැහැයකට හැරීම සිදුවිය හැකියි.අපේ සම, නිය හා හිසකෙස් වල අඩංගු වන්නේ ද මෙම ප්‍රෝටීනය බව ඔබ දන්නවා. දිවේ කෙරටින් එකතුවීම නිසා දිව කළු විම හා රෝම වර්ධනය වීමට පටන්ගැනීම වැනි ගැටලු ඇතිවේ.මීට හේතුසාධක වන්නේ, දුර්වල මුඛ සනීපාරක්ෂාව,ඇතැම් ප්‍රතිජීවක වර්ග වැනි ඖෂධ,දුම්කොළ භාවිතය,විකිරණ ප්‍රතිකාර වගේ හේතුය.
දුර්ලභ සිද්ධියක් ලෙස, දියවැඩියාව වැනි ඇතැම් බරපතල රෝග තත්වයන් වලදී ද දිව කළු වීම වැනි ලක්ෂණ ඇතිවිය හැකිය.දිව කළු වීමට බලපෑ හැකි නිසා කෝපි හා කළු තේ පරිභෝජනය කිරීමේදි වඩාත් සැලකිලිමත්වන්න.
දිවේ පැහැය වෙනස්වීම් ඇතැම් විට හානිකර නොවුණත් ඇතැම් අවස්ථා බරපතල විය හැකියි.උදාහරණයක් විදියට චෙරි යුෂ වීදුරුවක් පානය කළ පසු දිව රතු වන ආකාරය ඔබ දැක ඇති.කැරට් ආහාරයට ගැනීමෙන් පසු දිව මද තැඹිලි පැහැයක් ගනියි.මෙය ඉතාම ස්වභාවිකයි.මෙවැනි වෙනස්කම් ඉක්මනින්ම පහව යයි.නමුත් දිවේ පැහැය වෙනස්වීම් දින කිහිපයක් පුරාවට පවතියි නම් , වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කරන්න.