ඇගේ සීනි වැඩිවීගෙන එන විට පෙන්නුම් කරන ලක්ෂණ 10 ක්

health tips

තමන් දියවැඩියා අවදානමින් පෙළෙන බව 90%ක් දෙනා නොදැනුවත්ය. දියවැඩියාව එක දවසින් වර්ධනය වන රෝගයක් නොවෙයි. එය අවධි කිහිපයක් ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි.රුධිර සීනි මට්ටම් සාමාන්‍ය අගයන්ට වඩා වැඩි වුව ද දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වය ලෙස හඳුනාගැනීමට තරම් උග්‍ර නොවන්නේ නම් එය පූර්ව දියවැඩියා තත්වය (prediabetes) ලෙස හඳුන්වයි. මෙය දියවැඩියා අවදානම සංඥා කරන තත්වය ලෙස හඳුන්වන්නට හැකියි. පූර්ව දියවැඩියා තත්වය නොසලකා හැරීමෙන් හෘද ගැටලු හා ආඝාතය (අංශබාගය) වැනි රෝග වර්ධනය වීමේ අවදානම ද ඉහළ යා හැකියි.

නිරාහාරව සිට සිදුකළ රුධිර පරික්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම දැක්වෙන්නේ ඩෙසිලීටරයට මිලිග්‍රෑම්70ට අඩු අගයක් ලෙස නම් ඔබ ආරක්ෂිතයි.එම අගය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 100-125 අතර අගයක් වේ නම් ඔබ සිටින්නේ පූර්ව දියවැඩියා තත්වයේය.එම අගය 125 ඉක්මවයි නම් ඔබ දියවැඩියා රෝගියෙක් ලෙස හඳුනාගනියි.මෙම තත්වයේදී රුධිර ග්ලූකෝස් පාලනයට නිසි ඖෂධ ප්‍රතිකාර වල සහය ලබාගැනීමට ඔබට සිදුවිය හැකියි.

පූර්ව දියවැඩියා රෝගයේ ලක්ෂණ නිසි කලට හඳුනාගැනීමට බොහෝ දෙනා අපොහොසත් වන බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.මෙම අවදානම් විවිධ සංඥා මඟින් සිරුරේ පෙන්නුම් කළත් නොසැලකිලිමත්කම නිසා මගහැරී යයි.ඔබ තුළ දියවැඩියා රෝගය වර්ධනය වෙමින් පවතින බවට අවදානම පෙන්නුම් කරන සංඥා කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ. ඔබත් මෙම ලක්ෂණ අත්දකිමින් සිටින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

වෙහෙසී වැඩක් නොකලත් අධික තෙහෙට්‍ටුවක් දැනීම සිරුරේ අප්‍රාණිකබව හෝ නිදාගෙන අවදි වූ පසුවත් සිරුරට මහන්සියක් මෙන් දැනීම ඔබ පූර්ව දියවැඩියා අවදානමේ සිටින බව පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.ඊට හේතුව ඉන්සියුලින් ප්‍රතිරෝධය විය හැකියි.පූර්ව දියවැඩියා තත්වයේදී සිරුර තුළ ඉන්සියුලින් ප්‍රශස්ත ලෙස භාවිත වීමට ඉඩ නොදෙයි.එම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම් වඩාත් ඉහළ යයි.මේ නිසා සෛල වලට ප්‍රමාණවත් තරම් ග්ලූකෝස් රුධිරයෙන් ලබාගැනීමට නොහැකිව යයි.ග්ලූකෝස් යනු ශක්තියයි. සිරුරට ප්‍රමාණවත් ශක්තිය නොලැබීමෙන් අවයව නිසි ලෙස ක්‍රියානොකරයි.අධික විඩාබර බවක් සිරුරට දැනෙන්නේ ඒ නිසයි.

සමේ ඇතිවන වෙනස්කම් වැළමිට,දණහිස, බෙල්ල පි‍ටුපස,කිහිළි, ඇඟිලි පුරුක් වල සම වෙල්වට් මෙන් මෘදු බවක් දැනෙන අඳුරු ස්වභාවයක් ගෙන තිබේද? මෙසේ සම කලු වීම පූර්ව දියවැඩියා ලක්ෂණයක් විය හැකියි.Acanthosis Nigricans ලෙස වෛද්‍යවරුන් මෙම තත්වය හඳුන්වයි.ඉකිළි සහ සමේ නැමි සහිත තැන් අතුල්ලමින් පිරිසිදු කල ද පිරිසිදු වන බවක් නොපෙනෙයි. බොහෝ විට මෙවැනි සමේ වෙනස්කම් ඇතිවීමට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය, ගිලින උපත් පෙති හා ස්ටෙරොයිඩ භාවිතය වගේ හේතු ද බලපෑ හැකියි. ඇතැම් විට මවුපියන්ට තිබෙන නිසා ඔබේ සමේ ද එවැනි ලක්ෂණ මතුවී තිබිය හැකියි. එම නිසා තනිව තිරණ වලට එලඹෙන්න එපා!එසේ සමේ අසාමාන්‍ය ලක්ෂණ මතුවී තිබේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. බොහෝ විට වෛද්‍යවරයා විසින් ආලේපන ඖෂධ හා පෙති වර්ග නියම කරනු ඇත.

සමේ කැසිල්ල රුධිර සීනි මට්ටම් ඉහළ යාම නිසා ඔබේ ප්‍රතිශක්තිය ද යම් පසුබෑමකට ලක්විය හැකියි.ආසාදන වලට එරෙහිව සිරුරේ ආරක්ෂාව සපයන ප්‍රමුඛ කාර්ය සිදුකරන්නේ සුදු රුධිරාණුය.සිරුරේ සීනි අධික වන විට මෙම සෛල වලට ඒවාට අයත් කාර්ය නිසි ලෙස සිදුකිරීමට හැකිවන්නේ නැහැ.එම නිසා බොහෝ විට සිරුර ආසාදන වලට ලක්වීමේ අවදානම වැඩියි.නිතර නිතර රුධිර සීනි මට්ටම් ඉහළ යාම සමේ ආසාදන තත්වයන් නැවත මතුකිරීමට ඉඩ තිබෙයි.

තුවාල සුවවීමට බොහෝ කලක් ගතවීම තුවාලයක් ඇතිවූ විට රුධිර පට්ටිකා මඟින් රුධිරය කැටිගස්වා එය සුවවීමට සලස්වයි. හයිපග්ලයිසීමියා හෙවත් රුධිරයේ අධික සීනි මට්ටමක් ඇතිවීමේදි සිරුරේ එම ක්‍රියාවලිය ඇණ හිටියි.රුධිර සංසරණය දුර්වල වීම නිසා තුවාලය සුවවීමට අවශ්‍ය පෝෂක අඩංගු රුධිරය එම ස්ථාන වෙත ගමන් නොකරයි.කුඩා තුවාලයක් වුවත් තුවාල සුවවීමට බොහෝ කලක් ගත වන්නේ මේ නිසයි.

දත් මදින විට රුධිරය ගැලීම ඉදිමී රතු වුණු විදුරුමස් සිරුරේ සීනි මට්ටම් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරන ප්‍රබල ලක්ෂණයක් විය හැකියි.ඔබ පූර්ව දියවැඩියා රෝගියෙක් නම් ඔබේ කෙළ වල ද අධික සීනි අන්තර්ගතයක් තිබෙයි.එය හානිකර බැක්ටීරියාවන්ට මුඛය තුළ වර්ධනය වීමට හොඳ පරිසරයක් ඇතිකරයි.බැක්ටීරියා බලපෑමින් දත් මැලියම් වර්ධනය වීම, දත් දිරායාම,මුඛ දුර්ගන්ධය,විදුරුමස් ඉදිමීම වගේ ගැටලු මතුවෙයි.එම නිසා දත් වල මෘදු කෙඳි වලට පවා ඉදිමී ඇති විදුරුමස් තුවාල වී ලේ ගලයි.මෙය විදුරුමස් ආසාදනය වීමේ අවදානම ද වැඩිකරයි.

ඇස් පෙනීම දුර්වල වීම රුධිරයේ අධික සීනි මට්ටමක් ඇතිවීම අක්ෂි සෛල පරිහාණියට ලක්කළ හැකියි. මෙය diabetic retinopathy හෙවත් දියවැඩියාව නිසා ඇසේ රෙටීනාවට හානිවීමට පටන්ගන්නා තත්වයයි.ඇසේ කාච වල හැඩය වෙනස්වීමට පටන්ගත හැකි අතර ඒවා ඉදිමී පෙනීමට බාධා වෙයි.රුධිර සීනි මට්ටම් වැඩිවීම ඇසේ රුධිර නාළ කාන්දුවීමට පටන්ගැනීම, රෙටිනාවේ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීම, ස්නායු පටකයට හානිකිරීම වැනි තත්වයන් ඇතිකළ හැකියි. සීනි හා කාබෝහයිඩ්‍රේට බහුල ආහාර ගැනීමෙන් පසු ඇස් බොඳවන බවක් දැනිය හැකියි. ඔබේ ආහාර රටාව වෙනස්කරගැනීමෙන් මෙම ලක්ෂණ බොහෝ දුරට යථා තත්වයට පත්කරගන්නට හැකියි.

ආහාර රුචිය අධිකකම කොතරම් ලොකු ආහාර වේලක් ගත්තත් බඩගිනි දැනෙනවාද?මෙය polyphagia තත්වයයි.ආහාර වලට ගිජුබව වැඩිවීම පූර්ව දියවැඩියාව හා සමීප සම්බන්ධතා පෙන්නුම් කරයි.ඉන්සියුලින් ප්‍රතිරෝධය/නොඉවසීම නිසා සෛල වලට අවශ්‍ය ග්ලූකෝස් ආහාර වලින් ලබාගැනීමට ඉඩ නොදෙයි.ග්ලූකෝස් යනු පරිවර්තනය කළ ශක්තියයි.නමුත් ශක්තිය නොමැති නිසා (පේශී  හා පටක වල ග්ලූකෝස් නොමැතිකමින්) මොළය ඔබට බඩගිනි බව සංඥා කරන්නට පටන්ගනියි. අධිකව ආහාර ගැනීමට පෙළඹවීමක් ඇතිවන්නේ ඒ නිසයි.රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගන්නා විට බඩ පිරුණු බවක් නොදනවයි.

අධික පිපාසය රුධිර සීනි මට්ටම අධික වීම නිසා ඔබ තුළ අධික පිපාසයක් ඇතිවිය හැකියි.කොතරම් පාන වර්ග ලබාගත්ත ද ප්‍රමාණවත් නොවන බවක් දැනෙයි.රුධිරයේ අධික ග්ලූකෝස් ප්‍රමාණයක් ඇති නිසා ජලය මඟින් රුධිරය තනුක කිරීමට (සාන්ද්‍රණය අඩුකිරීම)සිරුරට අවශ්‍ය වෙයි. මේ නිසා සෛල වල ඇති ජලය පවා ඉවතට ඇදීමට පටන්ගනියි.මේ නිසා පේශී හා අවයව විජලනයට ලක්වී උගුර කට වියළී යයි. ඔබට දැඩි පිපාසයක් දැනෙයි.මෙය හඳුන්වන්නේ polydipsia තත්වය ලෙසයි.මේ නිසා ඔබට මුත්‍රා පිටවන ප්‍රමාණය ද වැඩිවෙයි. 

වෙනදාට වඩා මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම වැඩිකම ද පූර්ව දියවැඩියාවේ තවත් ලක්ෂණයක්. ග්ලූකෝස් අධිකකම නිසා වකුගඩු වලට ඒවාට දැරිය හැකි සීමාවට වඩා ග්ලූකෝස් උරාගැනීමට නොහැකිවෙයි. අතිරික්ත ග්ලූකෝස් සිරුරෙන් බැහැර කිරීමට අවශ්‍ය වුවත් වකුගඩු එය කිරීම පහසු නැහැ. ග්ලූකෝස් ඉවත්වන්නේ ජලය වැනි යම් වාහකයක් සමඟ පමණයි.මෙම තත්වය නිසා අධික වාර ගණනක් මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව කෙනෙකුට ඇතිවෙයි.

අත් කකුල් හිරිවැ‍ටුණු ගතිය අත් කකුල් වල පුපුරුගසන ගතියක්, හිරිවැටීමක් හෝ දැවෙන ගතියක් දැනෙයි නම් වඩාත් සැලකිලිමත්වන්න. දියවැඩියාව නිසා ස්නායු හානිවීමට ලක්වෙයි. මෙය diabetic neuropathy නම් වෙයි.මින් අත් කකුල් වල ස්නායු බලපෑමට ලක්විය හැකියි.අවදානයකින් නොසිටියහොත් (කකුල් වල සංවේදනය නොදැනීම නිසා) යටි පතුලේ වණ පවා වර්ධනය වීමට ඉඩ තිබිය හැකියි.බරපතල දියවැඩියා තත්වයකදි ඔබට ඔබේ කකුල අහිමිවෙන්නට පවා ඉඩ තිබෙයි.එම නිසා ඔබේ දෛනික සීනි පරිභෝජනය ගැන මීට වඩා සැලකිලිමත්වීම වැදගත්!

අස්ථි ගැටලු ඇතිවෙයි රුධිර සීනි මට්ටම් අධික වීම හේතුවෙන් දණහිස් හා වළලුකර අස්ථි වලට වැඩි බලපෑමක් එල්ලවිය හැකියි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම් අධිකකම සන්ධි ගැටලු,ඔස්ටියෝආතරයිටිස් වැනි රෝග වර්ධනය වීම හා සම්බන්ධතා පෙන්නුම් කරයි.නීරෝගී ආහාර පාන රටාවක් අනුගමනය කිරීම අස්ථි හා සන්ධි ශක්තිමත් කරවයි.

සීනි හා කාබෝහයිඩ්‍රේට බහුල ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. නිතිපතා ව්‍යායාම වල යෙදෙමින් සිරුර ක්‍රියාශීලීව පවත්වාගන්න. අහිතකර සෞඛ්‍ය පුරුදු වලින් වළකින්න.