වයස්ගත වීමත් එක්ක අපේ ශරීරයේ විවිධ වූ වෙනස්කම් ඇතිවෙනවා. විශේෂයෙන් අත් පා වෙව්ලීම, ඈලි මෑලි දුබල ගතිය, මුත්‍රා කිරීමේ අපහසුතාව, ශරීරයේ සමතුලිත බව නැතිවී යාම ආදී පහසුතා බොහොමයක් වයස්ගත වෙද්දි ඇති වෙනවා. නමුත් මේ සෑම අපහසුතාවයක්ම වයස්ගත වීමත් සමඟ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ විදියට අපි වරදවා වටහා ගත්තොත් බොහෝ රෝග තත්ත්වයන් අපිට මගහැරී යන්න පුළුවන්.
වයස්ගත වෙද්දි ඇතිවන පොදු ලක්ෂණම පෙන්නුම් කරන රෝගයක් තමයි පාකින්සන් රෝගය කියලා කියන්නේ. මේ රෝගයේ රෝග ලක්ෂණ වයස්ගත වීමත් සමඟ ඇතිවන අපහසුතා හා සමාන නිසා බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වය හරියාකාරව හඳුනා ගන්නෙ නැහැ. ඒ නිසා වැඩිහිටි ඔබට යහපත් කායික සහ මානසික සුවයක් ඇතිව ජීවත් වෙන්නට මේ රෝගය පිළිබඳව දැනුවත්භාවය හරිම වැදගත්. ඉතින් ඒ නිසාවෙන් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ පාකින්සන් රෝග තත්ත්වය නිසි පරිදි හඳුනා ගන්නේ කොහොමද කියන කාරණාව ගැන.

පාකින්සන් රෝගය ඇතිවෙන්නේ ඇයි මේ රෝගය ඇති වෙන්නට බලපාන හේතු පිළිබඳව නිවැරදිව හඳුනාගෙන නැහැ. එය හඳුනා ගන්නේ ප්‍රාථමික පාකින්සන් රෝගය වශයෙන්. ඒ හැරුනහම රෝගීන් අතරින් සුළු කොටසකට මේ රෝගය ඇතිවීමට බලපාන හේතු කිහිපයක් හඳුනාගෙන තියෙනවා
- ඇතැම් ඖෂධ භාවිතය( උදාහරණ ලෙස මානසික රෝග සඳහා භාවිතා කරන ලබන ලාගැක්ටිල්, ස්ටෙලසින් ආදී ඖෂධ)
- කෘෂි රසායන වර්ග ශරීරගතවීම
- මොළයට වැළඳෙන ආසාදන
- හිසට නිතරම තදබල ලෙස පහරවල් වැදීම
මේ පාකින්සන් රෝගය කියන්නේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන තවත් එක් රෝගී තත්ත්වයක්. එහිදී මොළයේ බේසල් ගැන්ග්ලියා කියන ප්‍රදේශයේ නිෂ්පාදනය කරන ඩොපමයින් කියන ස්නායු සම්ප්‍රේෂකය සිඳී යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිෂ්පාදන 60% – 80 % පමණ අඩු වෙමින් යද්දී පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
මේ රෝගය නිට්ටාවටම සුව කරන්නට නම් හැකියාවක් නැහැ. නමුත් ඖෂධ ප්‍රතිකාර මගින්, භෞත වේදී චිකිත්සාව මගින් හෝ සැත්කම් ආදී ප්‍රතිකාර මගින් මෙය හොඳින් පාලනය කරන්න හැකියාව තියෙනවා.
පාකින්සන් රෝගය හඳුනා ගන්නට උදව් වෙන ලක්ෂණ
චලන ආබාධයක් ඇති වීමට වසර හතකට පමණ පෙර සිටම මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වෙන්න පුළුවන්.
- ගඳ සුවඳ නොදැනීම
- මානසික ආතතිය සහ භින්නෝන්මාදය
- ඇඟපතේ වේදනාව
- අව රුධිර පීඩනය
- මල බද්ධය
- පාදවල වේදනාව
- ශරීරයේ තද ගතිය
- අත් පාද වෙව්ලීම
විවේකීව සිටින අවස්ථාවකදී පවා අතපය හකු පාඩා වෙව්ලීම සිදු වෙනවා. ඒ නිසා ආහාර ගැනීමේ සහ කතා කිරීමේ අපහසුතා ඇති වෙනවා.
- තමන්ගේ දුක සතුට ආදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අසමත් බව මුහුණේ හැඟීම් නැති ස්වභාවයක් තමයි මෙවැනි පුද්ගලයන්ගේ දකින්නට ලැබෙන්නේ.
- ඇඟිලි උපයෝගී කරගෙන සියුම් කටයුතු කිරීමේ හැකියාව නැතිව යාම(අකුරු පහසුවෙන් ලිවීමට නොහැකි වීම)
- ශරීරයේ සමතුලිත බව ගිලිහී යාම
- වෙනදා මෙන් කලබලකාරී පරිසරයක වේගයෙන් දුව පැන කටයුතු කිරීමට හැකියාව නැතිවීම
- කාලයක් ගත වෙද්දී ශරීරය ගල් ගැසුණු තත්ත්වයක් ඇතිවීම
මේ ලක්ෂණවලට අමතරව දිගු කාලයක සිට විවිධ අවයවවල විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්.
පාකින්සන් රෝගයේ දී රෝගියාට ඇතිවිය හැකි ගැටලු
- මානසික අවපීඩනය
- කාන්තාවන් කාන්සාවට ගොදුරු වීම
- මුත්‍රා පිට කිරීමේ අපහසුතාවය
- මල බද්ධය
- ශරීරය දුබල වීම
- නිදා ගැනීම අපහසු වීම
පාකින්සන් රෝගීන් සැලකිලිමත් විය යුතු කරුණු
දිනපතා ව්‍යායාම්වල නිරත වීම රෝගියෙක් වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම්වල නිරත වීම දිනපතාම සිදුකල යුතුයි. මේ ව්‍යායාම රුධිර සංසරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගන්න උදව් වෙනවා. හන්දිපත් රුදාව, පේශිවල විඩාව නැති වෙලා මාංශපේෂි ශක්තිමත් වෙනවා. අතපය හැසිරවීම පහසු වෙනවා. ඒ වගේම ශරීරයේ සමබරතාවය පවත්වා ගෙන යන්නත් එය උදව් වෙනවා.
වේගයෙන් කතා කිරීමෙන් වැළකීම -මෙවැනි රෝගීන් වේගයෙන් කතා කිරීම සුදුසු නැහැ. එක හුස්මකට වචනයක් හෝ දෙකක් පිට කළ යුතුයි. මේ වගේ රෝගීන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ වෙන්නේ නැති නිසා ප්‍රීතිය දුක වගේ හැඟීම් හඬනගා වචනයෙන් ප්‍රකාශ කිරීමත් වැදගත්.
සැරයටියක් භාවිතා කිරීම ඇවිදීමට අපහසු රෝගියෙක් නම් සැරයටියක් භාවිතා කර එහෙමත් නැත්නම් ඇවිදින රාමුවක් භාවිතා කරමින් ඇවිදීම වඩාත් සුදුසුයි.

ඉරියව් ගැන සැලකිලිමත් වීම-විශේෂයෙන්ම ඇඳක වාඩි වී සිට නැගිටින විට හැරමිටියේ වාරුවෙන් අත් පාද සහ කඳ සෙමෙන් වාර කිහිපයකදී කොටස් වශයෙන් නවා ගනිමින් නැගිටීමට පුරුදු වීම වැදගත්. ඒ වගේම ඇවිදීමේදී එකවරම හැරීම සුදුසු වෙන්නෙත් නැහැ. බෑගයක් ගෙන යනවා නම් එය අතේ එල්ලාගෙන යනවා වෙනුවට පිටේ එල්ලා ගෙන යාමටත් පුරුදු වෙන්න.
- සාමාන්‍ය පහසු පාවහන් පැළදීම
- හැකිතාක් කලබලකාරී පරිසරයක් සහ කල්පනාකාරී වේලාවන් මගහරින්න.
- ඇවිදින විට කලිසම් සාක්කුවේ අත් දෙක බහහා ගමන් කිරීමෙන් වළකින්න .
- ආහාර ගැනීමේදී කතා කිරීමෙන් වැළකී ආහාර ගැනීම ගැන පමණක් අවධානය යොමු කිරීම. ඒ වගේම ආහාර ගැනීම සඳහා නොබිඳෙන භාජන භාවිතා කරන්න.
මේ පාකින්සන් රෝගය හේතුකරගෙන සියළුම රෝගීන්ගේ බුද්ධිමත්භාවයේ කල්පනා ශක්තියේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වයස් ගතවන සෑම පුද්ගලයකුටම මේ රෝගය ඇතිවීමේ අවදානමකුත් නැහැ. ඒ වගේම මේ රෝග ලක්ෂණ ඇතැම් අයෙකුට සාමාන්‍ය වශයෙනුත්, තවත් අයකුට යන්තමින් සහ තවත් අයකුට වැඩි වශයෙන් පෙන්නුම් කරන්න පුළුවන්.
කොහොමවුණත් මෙවැනි රෝගියාට රෝගය පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට නිවවැසින්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් රෝගියාට විවේකය ලබාදීමත් සහ හොඳ සමබල ආහාර වේලක් ලබාදීමත් මානසික සහනය සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමත් නිවැසියන් විදිහට ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. එය රෝගියාට සාර්ථකව මේ රෝගයට මුහුණ දෙන්න ශක්තියක් ලබාදෙනවා.