අකලට හිසකෙස් පැසීම නිට්ටාවටම සුව කරන කීකිරිඳිය තෛලය

health tips

හිසකෙස් නීරෝගීව තබා ගැනීම සඳහා ඈත අතීතයේ සිටම භාවිතයට ගත් ඖෂධයක් ලෙස කීකිරිදිය හඳුනාගත හැකිය. Asteraceae කුලයට අයත් කීකිරිඳිය තෙත් සහිත ප්‍රදේශ වල පොළවට සමාන්තරව මීටර් භාගයක් පමණ උසට වැඩෙන ශාකයකි. කඳ රතු පැහැති දුර්වල කඳක් වන අතර කඳ පුරා ගැට දැක ගත හැකිය.

පත්‍ර ඉලිප්සාකාර සිට  ලන්සාකාර වන අතර  සියුම් බූවක් දැකගත හැකිය. මල් රාශියක් හටගන්නා අතර එම මල් සුදු පැහැයෙන්යුක්ත වේ. ඵලය චර්මලයක් වේ. 

කීකිරිඳිය ශාකයේ ඖෂධීය ගුණ භාවිතය 

  • රුධිරය පිරිසිදු කිරීමට
  • අම්ලපිත්ත රෝගයට
  • හිසකෙස් වර්ධනයට
  • කුෂ්ඨ රෝගවලට
  • ඇදුම, පීනසට
  • තුවාල සමනයට
  • උදරාබාධයට
  • ක්ෂය රෝගයට
  • මුත්‍ර දැවිල්ල සමනය කිරීමට
  • සෙංගමාලයට
  • තරුණ පෙනුම රැක ගැනීමට
  • හෘද රෝගයට
  • අක්මාවේ විෂ ඉවත් කිරීමට
  • අක්ෂි රෝගයට 

මෙම රෝග සමනය කිරීම සඳහා කීකිරිඳිය ශාකයේ පංචාංගයම අමුවෙන් ගෙන ඖෂධ ලෙස භාවිතා කරයි. නීල වරලසක් ලබා ගැනීමට කීකිරිඳිය ශාකයෙන් සකස් කර ගත හැකි අත් බෙහෙත්. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කීකිරිදිය කුඩු
  • පිරිසිදු පොල්තෙල් 

කීකිරිඳිය මුළු ශාකයම ගෙන සෝදා මද පවනේ වියළා හොඳින් කුඩු කර ඉන් පසු මැටි බදුනක් ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එක්කර කීකිරිඳිය චූර්ණය හෙවත් කිරිදිය කුඩු ඊට මිශ්‍ර කර මද ගින්දරේ විනාඩි දහයක් පමණ තබා නිවෙන්නට හැර පෙරා බෝතලයකට දමා ගබඩා කර ස්නානය කිරීමට පෙර  හිසකෙස් මත ගල්වා හොඳින් සම්බාහනය කිරීම මගින් හිසකෙස් වර්ධනය කර ගත හැකිය. සතියකට දින තුනක් එක් දිගට මාසයක් පමණ භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. ඊට අමතරව හිසකෙස් වර්ධනය කර ගැනීමට කීකිරිඳිය කොටා යුෂ ගෙන හිසකෙස් මත ආලේප කිරීම ද යෝග්‍ය වේ. මෙමගින් 

  • අකලට හිසකෙස් පැසීම 
  • හිසකෙස් කැඩීම 
  • හිසකෙස් වර්ධනය නොවීම 
  • හිසකෙස් වල වියළි බව 
  • සමනය කර හිසකෙස් වර්ධනය කර ගත හැකිය. 

පණු රෝග සඳහා කීකිරිඳිය කොළ එළඟි තෙලෙන් මලවා ආහාරයට ගැනීමෙන් වයස් භේදයකින් තොරව සෑම දෙනාටම පාහේ පවතින පණු රෝග සුව කර ගත හැකිය.

කුෂ්ට රෝගයන්ට තල තෙල් හා කීකිරිඳිය යුෂ මිශ්‍රකර එම  ස්ථාන වල ආලේප කිරීම මගින් කුෂ්ඨ රෝග මෙන්ම දිය මැටියන් කෑමෙන් ඇතිවන තුවාල සුව කර ගත හැකිය.

අම්ලපිත්තයට කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමඟ පානය කිරීමෙන් බොහෝ දෙනෙකුට පවතින අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය සමනය කර ගත හැකිය. එනම් මෙම රෝගය නිසා ඇතිවන බඩ දැවිල්ල ආදී රෝග සංකූලතාවයන් ද මෙමගින් සමනය කර ගත හැකිය. 

ගබ්සා වැලැක්වීමට කීකිරිඳිය ස්වරසය එළකිරි සමග පානය කිරීම මගින්  ගබ්සාවීම් වලක්වා ගත හැකිය.

අක්ෂි රෝගයන්ට කීකිරිඳිය ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීමේ දුර්වලතා මෙන්ම අක්ෂි රෝග සමනය කර ගත හැකිය. 

මුත්‍රා දැවිල්ල සමනය කිරීම සඳහා කීකිරිඳිය යුෂ සමග ජලය මිශ්‍රකර උදෑසන පානය කිරීමෙන් ලොකු කුඩා සැම දෙනාටම පාහේ ඇතිවන මුත්‍ර දැවිල්ල සුව කර ගත හැකිය 

චර්ම රෝග සඳහා කීකිරිදිය කොළ  අඹරා කොහොඹ තෙල් සමග මිශ්‍ර කර එම ස්ථානවල ආලේප කිරීමෙන් සම මත ඇතිවන නොයෙකුත් චර්ම රෝග එනම් දද ,කුෂ්ඨ, කැසීම් ,බිබිලි සුව කර ගත හැකිය.

මලබද්ධය සඳහා කීකිරිඳිය කොළ මලවා ආහාරයට ගැනීමෙන්මලපිට කිරීමට අපහසු වීම හෙවත් බඩ වියළීම සමනය කර මළපහ පිට කිරීම පහසු කර ගත හැකිය. 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට හා නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කීකිරිඳිය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.