දිවුල් කියන්නේ රසවත් පලතුරක් විතරක්ම නෙවෙයි. එහි ඖෂධීය වටිනාකම ඉතාම ඉහළයි. රෝගාබාධ බොහොමයකින් පවා ආරක්ෂා කරමින් අපිව නීරෝගීව තබන්නට දිවුල් ගස ඉටු කරන්නේ විශාල මෙහෙයක්. බොහෝදෙනා දිවුල් ගෙඩිය පමණක් ආහාරයට ගත්තත් දිවුල් කොළ, පොතු, මැලියම්, ඇට හා මුල් ආදී සියල්ලේම ඉතා ඉහළ ඖෂධීය ගුණයක් තියෙනවා. දිවුල් කියන්නේ කැල්සියම්, පොස්පරස්, කැරොටින්, තයමින්, මේදය, ප්‍රෝටීන්, විටමින් A B ,යකඩ ඛනිජ ලවණ ආදී පෝෂක රාශියකින් සමන්විත ආහාරයක්. අද වෙද්දි දිවුල් ඉතා ජනප්‍රිය පලතුරක් බවට පත්වෙලා තියෙනවා. දිවුල් කිරි වගේම දිවුල්වලින් සකස් කළ අයිස් ක්‍රීම්, ජෙලි, ජෑම්, කෝඩියල් ආදියත් බොහෝ අයගේ ප්‍රියතම හා රසවත් ආහාර බවට පත්වෙලා. අද අපි කතා කරන්නේ දිවුල් කොළ සතු ඖෂධීය වටිනාකම පිළිබඳව.
කොළ කැඳ කියන්නේ දිව්‍ය ඖෂධයක් නේ. ඒත් ඉතින් අද බොහෝදෙනා ගත කරන සංකීර්ණ ජීවන රටාවත් එක්ක කොළ කැඳ වීදුරුවක් බොන්නෙ කීයෙන් කී දෙනාද. බොහෝදෙනා මගහැරියත් උදෑසන කොළ කැඳ වීදුරුවකින් දවස පටන් ගන්නවා නම් බොහෝමයක් ලෙඩරෝගවලින් අපිට ආරක්ෂා වෙන්නට පුළුවන්. අහිතකර තත්ත්වයන් කිසිවක් නැහැ. ශරීරයට ඉහළ පෝෂණයක් වගේම ශක්තියකුත් ලැබෙනවා. ඉතින් දිවුල් කොළවලින් අපිට රසවත් ගුණයෙන් ඉහළ කැඳ සකසා ගන්නට පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
- දිවුල් කොළ ග්‍රෑම් 500
- කැකුළු හාල් ග්‍රෑම් 50
- ගා ගත් පොල් ග්‍රෑම් 50
- අමු ඉඟුරු කැබැල්ලක්
- සුදු ළූණු බික් 2
- ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය -සෝදා පිරිසිදු කරගත් දිවුල් කොළ ටිකට වතුර අඩු කෝප්පයක් පමණ එකතු කර බ්ලෙන්ඩර් කර යුෂ ලබා ගන්න.ගා ගත් පොල් මිරිකා පෙරාගෙන තබන්න. සෝදාගත් සහල් තැම්බීගෙන එන විට එයට සුදු ළූණු සහ ඉඟුරු දමා තම්බා හැන්දකින් පොඩිකර ගන්න. පසුව පොල් කිරි දමා උතුරවා කොළ යුෂ සහ ලුණු එකතු කර උතුරුවා ගෙන ඉඟුරු කැබැල්ලක් සමඟ පානය කරන්න.මේ දිවුල් කොළ කැඳ වැඩි වශයෙන් පානය කරනු ලබන්නේ ශරීරයේ විශ නැසීම සඳහා. එබැවින් මේ කොළ කැඳ නිතර භාවිතයට ගැනීම එතරම් සුදුසු නොවෙයි.
දිවුල් කොළ තේ -දිවුල් කොළ ගෙන හොදින් සෝදා මද පවනේ වේලා ගන්න.පසුව හොඳින් කුඩු කර බෝතලයට දමා තබාගෙන උණුවතුරට මේ කුඩු දමා තම්බා හකුරු හෝ සීනි සමඟ තේ වෙනුවට දිනපතා පානය කරන්න.මෙය රෝග බොහොමයකට ගුණ දෙන ඖෂධීය පානයක්.
දිවුල් කොළ සතු ඖෂධීය ගුණ

- දීර්ඝකාලයක් පවතින සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාවට ගුණදෙයි.
- උෂ්ණ රෝග සමනය කරයි.
- සමේ රෝග නසයි.
- දිවුල් කොළ නාසයට ආශ්වාස කිරීමෙන් ඉක්කාව සුව කරයි.
- බල්ලන්, බළලුන්, මීයන් ආදී සතුන් සපා කෑ විට විෂ නසයි. මේ සඳහා දිවුල් කොළ කැඳ සාදා පානය කිරීම අතීතයේ පටන් සිදුවූවක්.
- සර්ප විෂ නසයි.
- මී මැස්සන් සහ කෘමීන් දෂ්ට කළ විට විෂ නැසීමට දිවුල් කොළ යුෂ භාවිතා කරනු ලබනවා.
- පණු රෝග නසයි.
- විදුරුමස්වලින් ලේ ගැලීම ඇතුළු විදුරුමස් රෝග සඳහා ගුණදායකයි.
- ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග නසයි.
- තරුණ පෙනුම රැකදෙයි.
- දිවුල් කැඳ සුදු කබර රෝගය සඳහා ගුණදායකයි.
- දියවැඩියාවට ගුණදායකයි.
- රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කරයි.
- හෘදයට හිතකරයි.

- දද ,කුෂ්ට, ලප කැලැල් සුව කරයි. මේ සඳහා දිවුල් කොළ ඇල් දියෙන් අඹරා ආලේප කිරීම කළ යුතුයි.එය සතියක් පමණ දිනපතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලා ගන්නට පුළුවන්.
- දිවුල් කොළ, මල්, මුල්, කොළ පොතු ආදී පංචාංගයම යොදාගෙන සාදා ගන්න කැඳ සර්ප විෂ හා මී විෂ නිසා ඇතිවන අතුරු ආබාධ දුරු කරයි.
- සම පැහැපත් කරයි.
- දිවුල් තේ අක්මාව ආශ්‍රිත රෝග සුවකරයි. ආහාර ජීර්ණය පහසු කරයි.
- සත්ත්ව හෝ ආහාර මගින් යම් විෂ ශරීරගත වූ විට ඒවා විනාශ කරයි. දිවුල් කොළ යුෂ මිලි ලීටර් 20 ක් ගෙන එයට බැදපු සූදුසු තේ හැන්දක් මිශ්‍රකර උදේ සවස පානය කිරීම ඒ විෂ නසන්නට උපකාරී වෙයි.
- දිවුල් කොළ තම්බා පානය කිරීම අධි රුධිර පීඩනයට ගුණදායකයි.
- ස්නායු ආබාධ දුරු කරයි. ආතරයිටීස් රෝග සඳහා ගුණදායකයි. මේ සඳහා දිවුල් කොළ යුෂ කෝප්ප භාගයක් උදෑසන 10 ට පමණ පානය කිරීම සුදුසුයි.
- ඇස් පෙනීම දියුණු කරයි.
- කුඩ දරුවන්ගේ අජීර්ණය සුව කරයි . මේ සඳහා ලපටි දිවුල් කොළ මිටක් ගෙන සෝදා පිරිසිදු කරගෙන කොටා එහි යුෂ ගෙන එයට සීනි හෝ මී පැණි දමා දවසට තුන් වරක් දීම යහපත්.
වෙනත් ප්‍රතිලාභ

- දිවුල් කොළ යුෂ හිසේ ගල්වා ස්නානය කිරීමෙන් හිසේ උෂ්ණ රෝග සියල්ල සමනය කරයි.
- දිවුල් කොළ යුෂ හිසේ ගැල්වීමෙන් වදකාරී උකුණන් වඳ වෙයි.
- පොත්පත්වල සඳහන් වන ආකාරයට මේ දිවුල් කොළ සර්ව විෂාධී තෛලය ආදී ඖෂධීය තෙල් වර්ග නිෂ්පාදනයටත් භාවිතා කරනු ලබනවා.
- සන්ධි වේදනාවන් සඳහා දිවුල් කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් සහනය ලැබෙයි.
- මදුරු කීට මර්දනය සඳහා දිවුල් කොළ යුෂ භාවිතා කරනු ලබනවා.
- මදුරුවන් බෝවීම වැළක්වීමට වේලන ලද දිවුල් කොළ දුම් ඇල්ලීම් අතීතයේ සිදු කළ බව සඳහන්.
සැලකිය යුතුයි.
මෙහි සඳහන් කරුණු දැනුවත්භාවය සඳහා පමණක් වන අතර ප්‍රතිකාර ලෙස භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන්න.