නිතර හැදෙන පණු රෝග සඳහා ආයුර්වේද පිළියම් 32 ක්

health tips

කොකු පණු, වට පණු, කස පණු, කිරි පණු ආදී මෙකී නොකී සියලුම පණු රෝගවලට එදා අපේ මුතුන් මිත්තන් ප්‍රතිකර්ම සලසා ගත්තේ නිවසේදීමයි. පණු රෝග ඇති වෙන්නට මත්තෙන් නිසිකලට වෙලාවට ලබාදෙන අත් බෙහෙත් වගේම ආහාර වේලට එකතු කර ගන්නා විවිධ පලා වර්ග කොළ මැල්ලුම් මගින් පණු රෝග ඔවුන් වළක්වා ගත්තා. වසරකට වරක් තැඹිලි විරේකය, සෙනෙහෙ කොළ විරේකය, අරළු විරේකය වගේ විරේක කර පණු රෝගවලින් මිදුණා.

අදටත් වයසක උදවිය මේ පිළියම් දැන සිටිනවා. ඒවා අලුත් පරම්පරාවේ අයට දෙන්නට උත්සාහ කරනවා. නමුත් අද වත්මන් පරපුර බටහිර වෙදකමේ සෑම දෙයක්ම ඇස් වහගෙන විශ්වාස කිරීම හා පිලිපැදීම නිසා එදා රෝගවලින් ආරක්ශා වී දිගුකලක් ආයු වැළදූ අපේ මුතුන් මිත්තන්ගේ බෙහෙත් හේත් ගැන තැකීමක් කරන්නේ නැහැ.ඒ නිසාම නිවසේදී අපිටම වළකා ගන්නට හැකි පණු රෝග ආදී සෑම සියලුදේටම වෛද්‍යවරුන් සොයාගෙන යාම පුරුද්දක් කරගෙන. කෙතරම් පිරිසිදු ආහාරපාන ලබා ගත්තත් පණු රෝග කුඩා දරුවන්ට වගේම මහලු උදවියටත් වැලදීම ස්වාභාවිකය. නමුත් එයින් බොහෝදුරට අපිට වැළකෙන්නට පුළුවන්. ඒ සඳහා අපිට කළ හැකි සරල ප්‍රතිකර්ම හා ආහාර පුරුදු ගැනයි මේ කියන්නට යන්නේ. 

  • කුඹුරු ඇට කසාය – කුඹුරු ඇට මද , වළගසාල්, අරුළු, ගොටු දඩු තම්බා පානය කිරීම.
  • ගොටුකොළ වළගසාල් කසාය පානය කිරීම. 
  • කරාබු නැටි 10 ක් පමණ ගෙන තම්බා එයට සීනි තේ හැදි 1 ½ පමණ දමා පානය කිරීම.
  • දෙළුම් මුලේ පොතු චූර්ණය ගෙන එය තේ හැදි ½ මී පැණියෙන් දියකර පානය කිරීම.
  • උණු අලු පල්ලේ තම්බා ගත් වදකහවලින් හාල් ඇටයක තරම් ප්‍රමාණයක් කිරි වීදුරුවකට දියකර පානය කිරීම.
  • සාදික්කා ගෙඩියක මදයෙන් භාගයක් පමණ ගෙන දෙහි ඇඹුලින් ගල ගා එයට දියකර පානය කිරීම. 
  • කරපිංචා නැටි හා කොළ කබලේ බැද කුඩුකර තේ හැදි 1 බැගින් උදේ සවස කෝපි මෙන් සකසා පානය කිරීම.
  • කුප්පමේණිය කොළ, සුදු ළූණු සමඟ තම්බා සති දෙකකට වරක් පානය කිරීම.
  • පාවට්ටා කොළ වේලුණු මල් සහ පොතු එක සමානව ගෙන පත 5 එකට සිදුවා පානය කිරීම.
  • කුරුම්බා මද සමඟ එඩරු තෙල් මේස හැන්දක් පානය කිරීම.
  • කබලේ බැද ගන්නා වට්ටක්කා ඇට සහ අළු පුහුල් ඇට ආහාරයට ගැනීම.
  • අරළු බුළු නෙල්ලි තැම්බූ වතුර පානය කිරීම.
  • උළුහාල්, සියඹලා, සූදුරු, මහදුරු,සුදු ළූණු ආදිය යොදා සාදන තැම්බුන් හොදි පානය කිරීම.
  • කෝමාරිකා මද මේස හැදි කිහිපයක් සති දෙක තුනකට වරක් ආහාරයට ගැනීම.
  • තේවලට හෝ ආහාරවලට  කරාබු නැට්ටක් දමා පානය කිරීම.
  • අමුකහ ගලේ අඹරා ආහාරයට එකතු කර ගැනීම.

පණු රෝග වළකන මැල්ලුම් වර්ග  

  • ඇත්තෝර ලපටි දළු මැල්ලුම ආහාරයට ගැනීම මගින් කිරි පණු රෝග සුව වී ආමාශයේ සිටින පණුවන් ඉවත් කරයි. මෙය ආහාරයට ගන්නේ රාත්‍රියේදී වන අතර පසුදා මලපහ කිරීමේදී මත්වූ පණුවන් පිටවෙයි.
  • පැණි තෝර මැල්ලුම-මෙය ඇතැමුන් කලවම් මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගනු ලබනවා. මෙයින් පණු රෝග නසන නමුත් ගැබිනි මව්වරුන්ට සුදුසු නොවෙයි.
  • පෙති තෝර කොළ මැල්ලුම 
  • අසමෝදගම් කොළ සම්බෝලය 
  • රණවරා කොළ මැල්ලුම 
  • තුඹ දළු ව්‍යංජනය 
  • එරබදු දලු මැල්ලුම 
  • ලංකාවේ අවුරුදු කාලයට මල් පිපෙන එරබදුවල කොළ මැල්ලුම් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් පණු රෝගවලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන අතර ආමාශයේ රැඳී සිටින පණුවන් ද ඉවත් කරයි.
  • ඒ වගේම එරබදු දළු කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මේස හැදි 2 ට දෙහි ඇඹුල් සහ මී පැණි තේ හැදි 2 බැගින් දමා දින කිහිපයක් උදේට පානය කරන්න. මෙයින් බඩ බුරුල්වී  යාමෙන් පණු රෝග නසයි.
  • ඇහැල දළු මැල්ලුම -ඇහැල ගසේ ලපටි දළු ආහාරයට ගැනීමෙන් බඩවැලේ සිටින පණුවන් මලපහ සමඟ ඉවත් කරනු ලබයි.
  • ගෙඳ ව්‍යංජනය -මෙය ඉබේ වැවෙන ශාකයක් වන අතර පරිප්පු හෝ කොස් ඇට සමඟ රසවත්ව පිළියෙල කරගත හැකි ආහාරයක්. එදිනෙදා පලා වර්ගයක් ලෙස එදා ගෘහණියන් ආහාරයට එකතු කරගත් මේ ව්‍යංජනය පණු රෝග නසනු ලබනවා. 
  • ගැට තුඹ මැල්ලුම -ගැට තුඹ මැල්ලුම වගේම සහමුලින්ම තම්බා බීමත් පණු රෝග සඳහා ඉතා ගුණදයකයි.
  • බටකිරිල්ල දළු සහ ගෙඩි -බටකිරිල්ල පණු රෝග සඳහා ඉතා සුදුසු ආහාරයක්. දළු වගේම මෙහි ගෙඩි වේලා කොටා තබාගෙන කෝපි මෙන් පානය කිරීමෙන් වගේම බටකිරිල්ල ගෙඩි කුඩුකර හාල් පිටි සමඟ මිශ්‍රකර සාදා ගන්නා අග්ගලා කුඩා දරුවන්ගේ පණු රෝග සුව කරයි.
  • බටකිරිල්ල දලු රතු ළූණු දමා පොල් කිරෙන් උයා ආහාරයට ගැනීමත් සුදුසුයි.
  • කරිවිල කොළ යුෂ හා මැල්ලුම -කරිවිල කොළ දළු මිටක් පොල් මිටක් දමා කොටා මිරිකා ගත් යුෂ කෝප්ප 1 ක් උදය වරුවේ හිස්බඩ පානය කරන්න. මෙයින් විරේකයක් වන නිසා උණු වතුර පානය කරන්න. කෑම නොකා තැම්බුන් හොදි දවල්ට ආහාරයට ගන්න.
  • ඒ හැරුණාම තිත්ත තිබ්බටු ,කතුරුමුරුංගා මල්, පුහුල්, කෙසෙල් බඩ, ඕලු දඩු, රතු ලූණු,  සුදු ළූණු , කරිවිල, තලන බටු ආදියත් නිතර ආහාරවේලට එකතු කරගැනීමෙන් මේ පණු රෝගවලින් ආරක්ෂා වෙන්නට අපිට පුළුවන්.
  • සෑම ගෘහණියක්ම සාම්ප්‍රදායික කොළ මැල්ලුම් වර්ගවලින් හා ආහාර රටාවෙන් මිදී මෙවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිකරදෙන කොළ වර්ග ආහාරවේලට එකතු කර ගැනීමෙන් පණු රෝග වගේම වෙනත් බෝහෝ රෝග ඇතිවීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.