පුංචි තුවාලයක් උනත් ඉක්මණින් සුව නොවීමට බලපාන හේතු 10 ක්

health tips

නීරෝගී ජීවිතයක අගය වැටහෙන්නේ අපිට කුමන හෝ ලෙඩක් දුකක් වැළදුණු  වෙලාවට. ඉතින් ඒ නිසාවෙන් අපි හැමෝම නීරෝගීව ජීවත් වෙන්නට තමයි උනන්දු වෙන්නේ. නමුත් කුමන හෝ රෝගාබාධයකට අනතුරකට අපි භාජනය වෙන්නට ඉඩකඩ තියෙනවා. තුවාල කියන්නේ ලොකු කුඩා හැමෝටම විවිධ හේතු මත ඇතිවෙන්නට පුළුවන් තත්ත්වයක්. විවිධ අනතුරු නිසා අපේ ශරීරයේ තුවාල ඇති වෙනවා. ඇතැම් තුවාල සුළු ඒවා  වුණත්  තවත් තුවාල මරණය පවා ඇති කරන බරපතල ඒවා වන්නටත් පුළුවන්. ඒ  වගේමයි මෙසේ කුමන හෝ හේතුන් මත ඇතිවන තුවාල බොහෝ කාලයක් සුව නොවී තිබීමත් බරපතල සෞඛ්‍ය ගැටළුවක්. එය බරපතල ලෙස අපේ   සෞඛ්‍යයට බලපෑම් කරන නිසා අද අපි කතා කරන්නේ අපේ  සුවතාවය වෙනුවෙන් සුව නොවන තුවාල අපේ නීරෝගී බවට බලපාන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව.

සාමාන්‍ය  තුවාලයක් දින කිහිපයක් තුළ හෝ සති කිහිපයක් තුළ සුව අතට පත් වෙනවා. නමුත් සුව නොවන තුවාල මාසය ඉක්මවූ වසර කිහිපයක් ගත වූ ඒවා ද වන්නට පුළුවන්. තුවාලයක් සුව නොවීම සඳහා විවිධ සාධක  බලපාන්නට පුළුවන්. තුවාලයක් සඳහා බෙහෙත් දැමීමේදී බොහෝවිට සිදු කරන්නේ තුවාලය මතුපිට ඇති විෂබීජ අපද්‍රව්‍ය ආදිය ඉවත්කර පිරිසිදු කර නැවත විෂබීජ ඇතිවීම වැළැක්වීමට බැක්ටීරියා නාශකයක් යෙදීම පමණයි. එමගින් තුවාලය පැසවීම වළක්වනු ලබනවා. තුවාලය සම්පූර්ණයෙන්ම සුවකරනු ලබන්නේ අපේ දේහය විසින්මයි. මේ ස්වභාවික තුවාල සුවවීමේ ක්‍රියාවලියට වෙනත් රෝග ලක්ෂණ හෝ වෙනත් සාධක මගින් විවිධ බාධා එල්ල කිරීම නිසා තුවාල සුවවීම පමා වෙනවා.

කුමන හේතුවක් මත හෝ ඇතිවන තුවාල දීර්ඝ කාලයක් යනතුරු සුව නොවන්නේ නම් ඒ පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම සමේ ඇතිවන ඇතැම් පිළිකා විශේෂ පවා තුවාලයක් වශයෙන් මතුවී පෙනෙන්නට පුළුවන්. යම්විටෙක පිළිස්සීමකදී ඇති වූ තුවාල සුව නොවී කල්පවතින්නේ නම් එවැන්නක් පිළිකාවක් බවට පත්වීමට හැකියාවක් තිබෙනවා. 

තුවාලයක් සුව නොවීමට බලපාන සාධක 

  • තුවාලයේ ස්වභාවය 
  • තුවාලය පිහිටා ඇති ස්ථානය 
  • ශරීරයේ පෝෂණ මට්ටම 
  • තුවාලයට ගල්වන ඖෂධ වර්ග 
  • සිගරැට් පානය 
  • අපිරිසිදු රුධිරය එකතු වී තිබීම 
  • පාදයේ හිරිවැටීම් තත්ත්වයන් 
  • වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ  සහ වෙනත් රෝග 
  • තුවාලය වෙත  ලැබෙන රුධිර සැපයුම අඩුවීම 

කාලයක් සුව නොවෙන තුවාල 

  • යටි පතුල්වල ඇතිවන තුවාල 
  • නහර ගැට ගැසීම සහිත අයගේ තුවාල 
  • සමේ රෝග නිසාවෙන් ඇතිවන තුවාල
  • දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකුගේ තුවාල 
  • අස්ථි ආසාදනයකින් මතුවන තුවාල 

විෂබීජ රහිතව ඇති තුවාලයක් වුණත් දියවැඩියාව නිසා ශරීරයේ සමට යටින් ඇති පටකවලට ඇතිකර තිබෙන හානිය මත ඒ තුවාලය සුවවීම පමා කරනවා.

සුව නොවන තුවාලයක් ඇති විටෙක ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 

  • රෝගියා ලබාගත යුතු ආහාර විශේෂයෙන්ම සුව නොවන තුවාල ඇති රෝගියෙක් තමන් ලබා ගන්නා ආහාරපාන පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වීම වැදගත්. ඉස්සන්, දැල්ලන්, ටින් කරන ලද ආහාර, අච්චාරු, තක්කාලි, අන්නාසි ආදි උෂ්ණ ආහාර ගැනීම හැකිතාක් අවම කළ යුතු වෙනවා. ඒ වගේම කොළ එළවලු සහ පලා වර්ග හැකිතාක් අනුභවයට ගැනීමත් සුව නොවන තුවාල සහිත රෝගියෙකුට ඉතාම වැදගත්.
  • පිරිසිදු බව  පවත්වා ගැනීම තුවාලයක් ඇතිවිට ඒ පුද්ගලයාගේ පිරිසිදුකම ඒ තුවාලය සුවවීමට විශාල බලපෑමක් සිදු කරනවා.ඒ නිසා රෝගියා නිරන්තරයෙන් තමන් ශරීරය වගේම ඇදුම් පැලදුම් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්.
  • පිළිස්සුණු  තුවාල හැර අනෙක් තුවාල ආවරණය කර තැබීම 
  • දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීම 

සුව නොවන තුවාලයක් ඇතිවිට ඔබ ඒ සඳහා විවිධ අත් බෙහෙත්  සිදු නොකර එයට හේතු විමසා  බලා නිසි වෛද්‍ය  ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. එසේ නොමැති වුණොත් තුවාලය නිසා වගේම එයින් හට  ගන්නා වේදනාව නිසා  මානසිකවත් මහත් සිත්තැවුලට පත්වීමෙන් තවත් රෝගවලට එය හේතුවක් වෙනවා. ඒ වගේම තුවාලයට දරුණු ලෙස විශබීජ ඇතුල් වුණොත් එය වඩාත්  බරපතල ගැටළු ඇති  කරන්නට හේතු වෙනවා. ඒ නිසාවෙන් සුදුසුම දේ වෙන්නේ තුවාලය සුවවීම සිදු නොවන විට වෛද්‍යවරයෙකු හමුවී එයට හේතුව විමසා බලා අදාල ප්‍රතිකාරවලට යොමු වීමයි.