යෝගට් කියන්නේ අපි හැමෝම ඉතා ආසාවෙන් ආහාරයට ගන්නා කිරි නිෂ්පාදනයක් . වයස් භේදයකින් තොරව ඕනෑම වයසක අයෙකුට ආහාරයට ගන්නට හැකියාව තියෙන රසවත් යෝගට් ගැන අපි නොදන්නා කාරණා බොහෝමයකුත් තියෙනවා. ඒ වගේම අපි කොතරම් යෝගට් ආහාරයට ගත්තත් එය සජීවී ආහාරයක් බව දන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ යෝගට් දිනපතා ආහාරයට ගැනීමෙන් අපිට ලබා ගන්නට හැකි ප්‍රතිලාභ බොහොමයි. අද අපි ඔබ සමග කතා කරන්නට සූදානම් වෙන්නේ දිනපතා යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් අපේ දේහයට ලබාගන්නට හැකියාව තියෙන විශිෂ්ට ප්‍රතිලාභ මොනවද කියන කාරණාව පිළිබඳවයි.
යෝගට්වල ඇති පෝෂණ ගුණය ගැන සලකා බැලුවොත් ඉතා අඩු මිලකට ලබා ගන්නට හැකියාව තියෙන යෝගට් එකක අපේ ශරීරයට අවශ්‍ය කරන සෑම පෝෂකයක්ම වගේ අන්තර්ගත වෙනවා. දියර කිරි පාදක කරගත් නිෂ්පාදනයක් වන නිසාවෙන් මෙහි ගුණදායක මේද වර්ග බොහොමයක්ම අන්තර්ගත වෙනවා. හිතකර මේද අම්ල සහ ප්‍රෝටීන විශාල ප්‍රමාණයකුත් මේ යෝගට් වල අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයට හිතකර බැක්ටීරියා නිසා සිදු වන පැසීමේ ක්‍රියාවලිය නිසාවෙන් අපේ ශරීරයට වැදගත් වන B විටමින් ගණනාවක් ම මෙහි අඩංගු වෙනවා.
විටමින් b 12 , රයිබොප්ලෙවින්, පොස්පරස්, මැග්නීසියම්, සහ පොටෑසියම් ආදී අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග බොහොමයක් ද යෝගට්වල අන්තර්ගත වෙනවා. මේ නිසාම දිනපතාම යෝගට් එකක් කන කෙනෙකුට ක්ෂුද්‍ර පෝෂක ඌණතා ඇති වීමේ අවදානම සියයට 47 කින් පමණ අඩු වෙන බව පර්යේෂකයන් සඳහන් කරනවා. ඉතින් අපි බලමු ඉතා අඩු මුදලකට මිලට ගන්නට හැකියාව තියෙන යෝගට් එකක් හැමදාම ගත්තොත් අපේ ශරීරයට මොනවද ලැබෙන මේ වටිනා ප්‍රතිලාභ කියලා.

සම වියළීමෙන් ආරක්ෂා කරනවා අද වැඩි දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි සම අසාමාන්‍ය විදිහට වියලීම. මේ සඳහා නිතරම වායු සමීකරණය කරන ලද කාමරයක හෝ විදුලි පංකා ආදියෙන් සමන්විත පරිසරයක වැඩි කාලයක් රැඳීම ප්‍රධාන හේතුවක් වෙනවා. කොහොම නමුත් මේ ගැටළුවට හොඳ විසඳුමක් විදියට දිනපතාම යෝගට් එකක් ආහාරයට ගන්නට පුළුවන්. යෝගට්වල අඩංගු වෙන ස්වභාවික ස්නේහ ස්‍රාවී ද්‍රව්‍ය නිසා අපේ සමේ පිටත අඩංගු වෙන සියුම් තෙල් ස්තරය ප්‍රාණවත් වීමෙන් සම වියලී යාම බොහෝ දුරට පාලනය වෙනවා. ඒ හැරුණාම යෝගට් සමේ ආලේප කිරීම මගිනුත් සමේ තෙතමනය ආරක්ෂා කරගෙන දීප්තිමත් සමක් හිමිකර ගන්නට හැකියාව තියෙනවා.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා යෝගට්වලට අපේ ආහාර මාර්ගය සම්බන්ධ ගැටළු බොහොමයක් නැති කරන්නට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ අතරින් ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට අවශ්‍ය කරන හොඳ බැක්ටීරියා වර්ග යෝගට් වල අඩංගු වීම නිසා අපි ගනු ලබන ආහාරවල ඇති පෝෂණය ඉතා හොඳින් අවශෝෂණය කර ගන්න හැකියාව ලැබෙනවා. දිනපතාම යෝගට් එකක් ආහාරයට ගන්නා කෙනෙකුට බඩේ කැක්කුම, බඩ බුරුලෙන් යාම වගේ ගැටළු ඇති වීමේ ඉඩකඩ බොහොම අඩුයි. ඒ විතරක් නෙවෙයි මලබද්ධය ඇතිවීම එයින් වැළකෙනවා. විශේෂයෙන්ම දවල් ආහාරයෙන් පසුව යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් පසු සවස් වෙද්දී ඇති වෙන්නට ඉඩකඩ තියෙන බඩ පිපුම ආදී තත්ත්වයන් ද මගහැරී යනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා යෝගට්වල අඩංගු වෙන විවිධ පෝෂක අතරේ සෙලීනියම්,මැග්නීසියම් සහ සින්ක් වගේ අපේ ශරීරයට සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන නමුත් ශරීරයට අත්‍යවශ්‍ය වන ලෝහ ලවණ මේ යෝගට් එකක් ආහාර ගැනීමෙන් කිසිදු අපහසුවකින් තොරව අපේ ශරීරයට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ලෝහ ලවණ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියට ඉතාම වැදගත් වෙනවා. මේ නිසාම දිනපතාම යෝගට් එකක් ආහාරයට ගන්නා අය සුලභ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම ඉතා අඩු බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම වෛරස් හේතු කරගෙන ඇතිවෙන ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට සහ ඒවා උත්සන්න නොවී පහසුවෙන් සුව කර ගන්නත් යෝගට් අපට උදව් වෙනවා.
හදවත නිරෝගී කරනවා අද වෙද්දි වෙළඳපොලේ සාමාන්‍ය යෝගට් වගේම මේද ප්‍රමාණය අඩු කරන ලද යෝගට් ද දකින්නට ලැබෙනවා. එයට හේතුව යෝගට් මේදය සහ කොලෙස්ටරෝල් අධික ආහාරයක් විදියට සැලකෙන නිසා. නමුත් අද වෙද්දි පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇති ආකාරයට යෝගට්වල අඩංගු වෙන්නේ HDL හෙවත් හිතකර කොලෙස්ටරෝල්. ඒ නිසා එය අපේ හදවතට ඉතාම ගුණදායකයි. දිනපතාම යෝගට් එකක් ආහාරයට ගන්නා අයට අධි රුධිර පීඩනය ඇතුළු හදවත් රෝග වැළඳීමේ අවදානම ඉතා අඩු වෙනවා. ඒ බව අද වෙද්දි පර්යේෂණවලින් ද සොයාගෙන තියෙන කාරණයක් .
සමේ රැලි ඇති වීම පමා කරනවා වයස්ගත වීමත් සමග සමේ රැලි ඇති වීම ස්වභාවිකයි. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන්ගේ පෝෂණ මට්ටම අනුව සමේ ඇදෙන සුළු බව නැතිවී යාමේ වයස් මට්ටම වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් යෝගට් කියන්නේ සමේ රැලි ඇති වීම බොහෝ කාලයක් යනතුරු පමා කරගන්නට හැකියාව ලැබෙන ආහාරයක්. මෙහි අඩංගු ලැක්ටික් අම්ලය අපේ සමේ කේශ කූප හැකිලීමකට ලක් කිරීම හරහා ඒවා බුරුල් වීම වළක්වනවා. දිනපතාම යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් සමේ මේ ගැටළු සියල්ලක්ම මගහරවාගෙන නිරෝගී සමක් හිමිකර ගන්නට අවස්ථාව ලැබෙනවා.
අස්ථි රෝග අවම කරනවා වයස්ගතවීමත් සමග වැඩිහිටියන් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයන් අතර ඔස්ටියෝපොරෝසිස් ඔස්ටියෝ ආතරයිටීස් ආදි අස්ථි සම්බන්ධ රෝග ප්‍රමුඛ වෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කැල්සියම් සහ විටමින් D වල ඌණතාවයයි. දිනපතාම යෝගට් එකක් ආහාරයට ගැනීමෙන් දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශ්‍යතාවයෙන් 40% පමණ ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ හැරුණාම අස්ථි සකස් වීම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය පොස්පරස්, සින්ක්, පොටෑසියම් සහ මැග්නීසියම් ආදී ඛනිජ ලවණ අවශ්‍යතාවයක් දිනපතා ලබා ගන්නා යෝගට් එකකින් අපිට සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම අනෙකුත් ආහාර වල ඇති පෝෂක ඉතා හොඳින් අවශෝෂණය කර ගන්නත් යෝගට් උදව් වෙනවා.

බර පාලනයට උදව් වෙනවා. සාමාන්‍යයෙන් යෝගට් නිශ්පාදනය කරන්නේ එළකිරි භාවිතයෙන් වුවත් තනිකරම පිටිකිරි භාවිතයෙන් යෝගට් නිෂ්පාදනය කරන සමාගම් පවා අපේ රටේ තියෙනවා. යෝගට් නිෂ්පාදනයේ දී පිටි කිරි එකතු කිරීම ගැටලුවක් නොවුණත් මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ නැව්වලින් ගේන විට වගේම ලොකු කන්ටේනර්වල තියෙන විනාශ වුණු නැත්නම් ප්‍රමිතියෙන් අඩු පෝෂණ ගුණයෙන් හීන කිරිපිටි තොග ඒ සඳහා භාවිතා කිරීම. ඒවා ආහාරයට ගන්නා ලොකු පොඩි අපි හැමෝටම මේ නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම මේ යෝගට්වලට සීනි සහ ජෙලටින් අධික විදිහට එකතු කරනවා. ඒ හැරුණාම වෙනත් රසායනික එකතු කරන අවස්ථා නැතුවාම නොවේ. ඒ නිසා ඇතැම් යෝගට්වලින් ඇඹුල් රසක් දැනෙනවා වෙනුවට අධික ලෙස පැණි රසක් දැනෙනවා.
හොඳ යෝගට් එකක් කනකොටම කටේ දියවීම වගේම ඇඹුල් රසයකින් යුක්ත වෙනවා. නමුත් පොඩි දරුවන් වැඩි දෙනෙක් කැමති මේ පැණි රසින් යුක්ත යෝගට් කන්න. ඒ නිසා ඔබ යෝගට් කන්නට තෝරා ගනිද්දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම නිවසේ දී පිරිසිදුව යෝගට් හදා ගන්නට හැකියාව තියෙන නිසා විවිධ රසායන අධික ලෙස සීනි සහ රසායනික යොදන ලද යෝගට් ගන්නවා වෙනුවට නිවසේදී පිරිසිදුව සාදා ගත හැකියි යෝගට් එකක් දවස ගානේ කන්නට පුළුවන් නම් එය ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් ඉවහල් වෙනවා .