දවස් දෙක තුනක් නාන්නේ නැතිව නොකර හිටියොත් සිදුවෙන දේවල් 11 ක්

health tips

පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලයේදි ස්නානය කරන්න ගත කරන කාලය ආසන්න වශයෙන් අවුරුද්දක් විතර වෙනවලු. සාමාන්‍යයෙන් දිනපතා හෝ දවසක් හැර දවසක් ස්නානය කරන්න අප පුරුදු වෙලා ඉන්නවා. සිරුරේ එකතුවන දහඩිය තුළ නරක බැක්ටීරියා වර්ධනය වීමෙන් සිරුරෙන් දහඩිය දුගඳ හැමීමට පටන්ගන්නවා. ඒවගේම අවට පරිසරයට නිරාවරණය වීමේදො කුණු දුහුවිලි,විෂදුම්, අපද්‍රව්‍ය ආදී දෑ නිසා අපේ සම අපවිත්‍ර වෙනවා.ස්නානය කිරීමෙන් අපේ බාහිර ශරීරය හොඳින් පිරිසිදුවීම සිදුවෙයි. රෝගකාරක විෂබීජ වලින් සිරුර ආරක්ෂා කරයි.පුද්ගලයාගේ සනීපාරක්ෂාව ඔහුගේ/ඇයගේ නීරෝගි සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු වීමට ඉතා වැදගත් වෙයි.කෙසේවෙතත් ස්නානය කරන්න අකමැති, කම්මැලි අයත් අප අතරේ ඉන්නවා.නමුත් මේ අයහපත් පුරුද්ද ඔවුන්ගේ සෞඛ්‍යයට කොතරම් හානිකරද කියායි අද අප කතා කරන්නට යන්නේ. ස්නානය කරන එක නතර කර දැම්මොත් ඔබේ සිරුරේ මෙවැනි ගැටලු මතුවිය හැකියි

දහඩිය හා බැක්ටීරියා එකතුවීමෙන් දහඩිය දුගඳ ඇතිවෙයි– ස්නානය කිරීමේදි සිරුර හොඳින් අතුල්ලා (ස්ක්‍රබ් කර) පිරිසිදු කරන විට සමට ඇලුණු  දහඩිය කුණු දුහුවිලි හොඳින් ඉවත් වී යයි.ස්නානය නොකරන විට සිරුරේ දහඩිය එකතුවෙයි.ඇතැම් අයට අධිකව දහඩිය දැමිය හැකියි.කිහිළි ප්‍රදේශයේ දහඩිය එකතුවී ඒවායේ නරක බැක්ටීරියා වර්ධනය වීමෙන් දහඩිය දුගඳ ඇතිවිය හැකියි.මේ නිසා ඔබව අන් අය ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවට පත්වෙන්නට ඉඩ තිබෙයි.හොඳ ඩියොඩ්‍රන්ට් එකක් භාවිත කිරීමෙන් මේ තත්වය පාලනය කරගත හැකියි.

දිලීර ආසාදන වර්ධනය විය හැකියි – සමේ ඇතිවන දිලීර ආසාදන අප්‍රසන්න දුර්ගන්ධයක් ඇතිකළ හැකියි.පණුකැවිලි වැනි ආසාදන ඔබට ද පැතිරිය හැකියි.දිලීර පමණක් නොව බැක්ටීරියා ආසාදන ද වඩාත් පහසුවෙන් ඔබට බෝ විය හැකියි.ඔබේ සමේ තුවාල ඇත්නම් ඒවාට බැක්ටීරියා හෝ දිලීර ඇතුළු වී ආසාදනය වීමට ඉඩ තිබෙයි.සම හොඳින් පිරිසිදුව පවත්වාගත යුත්තේ ඒ නිසාමයි.මෙවැනි පරපෝෂීන්,විෂබීජ හා හානිකර ක්ෂුද්‍රජීවීන් ඔබේ නියපොතු,ඇඟිලි කරු,කිහිළි,ඉකිළි, කන් වැනි ප්‍රදේශ වල සැඟවී සිටිය හැකියි.මෙම ස්ථාන හොඳින් පිරිසිදු වීමට නම් ස්නානය කිරීම ඉතා වැදගත් වෙයි.

සමේ මැරුණු සෛල එකතුවෙයි – මිනිත්තුවකදී අපේ සිරුරෙන් දහස් ගණනක් මැරුණු සෛල ඉවත්වෙනවා.සතියකට වඩා ස්නානය නොකර සිටියොත් ඔබේ සමේ කොතරම් මැරුණු සෛල එකතු වී තිබේවි ද ?සාමාන්‍යයෙන් මැරුණු සෛල ස්වභාවිකව හැලී ගියත් ඇතැම් ඒවා සමට ඇලී තිබෙයි.සම අතුල්ලා ස්නානය කිරීමේදි පමණක් ඒවා හොඳින් ඉවත්වෙයි.සමේ මැරුණු සෛල තට්‍ටු පිටින් එකතුවීම සමේ තෙල් ඇතිවීම හා සමේ මලානික ගතියක් ඇතිවීමට හේතුවිය හැකියි.සමේ බාහිර ස්තරය දෘඩ වීම හෙවත් හයිපර්කෙරටෝසිස් තත්වයට හේතුවිය හැකියි.සති දෙකකට වඩා ස්නානය නොකර සිටීමෙන් සම වඩාත් වියළී ගොස් කැසිල්ල හටගත හැකියි.

සමේ වෙනත් අපහසුතා (irritations) වර්ධනය විය හැකියි– ස්නානය නොකර සිටීමෙන් අපේ සමේ පලු (රෑෂ්),කැසිල්ල , වියලිබව රතු හෝ දුඹුරු පැල්ලම් වැනි ගැටලු මතුවිය හැකියි.ඉකිළි ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ගැටලු ඇතිවීම වඩාත් පීඩාකාරී අත්දැකීමක් වනු ඇත.තුනී හා මෘදු සම  රළු සමකට වඩා සංවේදීය. එම නිසා වඩාත් ඉක්මනින් අපහසුතාවන්ට ලක්වෙයි.සම ඇතිල්ලීම සඳහා ස්ක්‍රබර්,ලූෆා ,මෘදු ස්පොන්ජ් හෝ රෙදි කැබැල්ලක් භාවිත කරන්න,මින් සමේ මැරුණු සෛල හොඳින් ඉවත්වෙයි.නැතිනම් ඔබේ සම වඩාත් වියළි හෝ අධික තෙල් ස්වභාවයකට හැරිය හැකියි.

කුරුලෑ මතුවිය හැකියි – සතියකට වඩා ස්නානය නොකර සිටියොත් සමේ රතු බිබිලි මතුවිය හැකියි.නින්දට යාමට කලින් ඔබ ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරනොගන්නේ නම් , එහි කුණුදුහුවිලි, තෙල්, මේක්-අප් ඉතිරිවෙයි. මේවා සමේ සිදුරු තුළ ගැඹුරින් සිරවීමෙන් ඒවා බැක්ටීරියා ආසාදනයට ගොදුරු වි බ්ලැක්හෙඩ්ස් හා කුරුලෑ බිබිලි මතුවීමට පටන්ගනියි.නින්දට කළින් සබන් සහ මද උණුසුම් ජලයෙන් දිනපතා මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

ලෙඩ රෝග වලට ගොදුරුවිය හැකියි – විනාඩි 10ක් පමණ ස්නානය කිරීම සිරුරට හොඳටම ප්‍රමාණවත්. ඊට වඩා අධික කාලයක් ස්නානය කිරීමෙන් අපේ සමේ ආරක්ෂාවට පවතින ස්වභාවික තෙල් ස්තර සමෙන් ඉවත් වී යන බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස සම වියළී යයි.උණු වතුර වෙනුවට මද උණුසුම් වතුර භාවිතය වඩාත් යෝග්‍යයයි.වැඩි කාලයක් උණු වතුර ස්නානය කිරීමෙන් ද සම වියළී යයි.සිරුරේ අධිකව දහඩිය දමන තැන් (කිහිළි,ඉකිළි,පියයුරු පහළ ආදි ) වෙත වැඩි අවධානයක් දිය යුතුයි.ඇස්,කට හා නාසයෙන් රෝගකාරක විෂබීජ ශරීරගත විය හැකියි (සෙම්ප්‍රතිශ්‍යාව, වසංගත උණ වැනි වෛරස). එම නිසා නිතිපතා ස්නානය කර පිරිසිදු ව සිටීම වැදගත්.පොදු ස්ථාන වල ගැවසී නිවසට පැමිණෙන අවස්ථා වල මේ ගැන විශේෂයෙන් සැලකිලිමත්වන්න. විශේෂයෙන්ම බෝවන රෝග, වසංගත වලින් හොඳ ආරක්ෂා වීමට එය ඉතා වැදගත්.

විෂබීජ වලට සිරුර නිරාවරණය වෙයි-අපේ සමේ ඇලෙන විෂබීජ දහස් ගණනින් ගුණනය වෙන බව ඔබ දන්නවාද?මෙම රෝගකාරක විෂබීජ ශරීරය තුළට ගමන් කිරීම වළක්වාගැනීමට ස්නානය කර සිරුර පවිත්‍ර කරගැනීම වැදගත් පියවරක් වෙයි. කුණුදුහුවිලි, තෙල් හා දහඩිය එකතුවීමෙන් සමේ හිතකර බැක්ටීරියා විනාශ වී යයි. සම අතුල්ලා ස්නානය කිරීමේදි එහි අහිතකර බැක්ටීරියා මර්දනය වෙයි

සමේ පැල්ලම් මතුවෙයි– බොහෝ කාලයක් ස්නානය නොකර සිටීමෙන් මෙවැනි චර්ම ගැටලු මතුවීමට ඉඩ තිබෙයි.චර්මදාහය (dermatitis) ඉන් එක් තත්වයකි.සමට අවශ්‍ය ‍රැකවරණය නොලැබීමෙන් එවැනි ගැටලු උඩුදුවයි.සම හොඳින් පිරිසිදු නොවන විට එහි තෙල් එකතුවෙයි.එම නිසා කාලයක් යන විට සිරුරේ දුඹුරු පැල්ලම් ලෙස පෑදී පෙනෙයි.

චර්ම ගැටලු උත්සන්න විය හැකියි.-ඔබ එක්සිමා දද වැනි ගැටලු වලින් පෙළෙන කෙනෙක් නම් ස්නානය නොකර සිටීම ඔබේ තත්වය තවත් නරක අතට හැරීමට බලපාන හේතුවක් විය හැකියි.ඔබේ සමේ අධික වියළිබව,කැසිල්ල සහ රතුවීම වැනි ගැටලු ඇත්නම් නිතිපතා සම පිරිසිදුව පවත්වානොගැනීම ඔබේ සමේ නිරෝගිබව තවත් අවදානමට ලක්කරවයි.ඉන් සමේ ස්වභාවික ආරක්ෂාවට හානි බලපෑම් ඇතිවිය හැකි අතර විවිධාකාරයේ සමේ අපහසුතා වර්ධනය වීමට ඉඩ තිබෙයි.ස්නානය කිරීම හා නිතිපතා සමට හොඳ මොයිෂ්චරයිසර් එකක් භාවිත කිරීමෙන් එවැනි ගැටලු වළක්වාගත හැකියි.සමේ කැසිල්ල තත්වය සමනය කරගැනීමට පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න.

කෙස්කලඹේ අධික තෙල් ගතියක් හටගනියි-ස්නානය කරන විට ෂැම්පු එකකින් කෙස්කලඹ හොඳින් පිරිසිදු කරගන්න.හිස නිකම්ම සේදීමෙන් එහි ඉක්මනින් තෙල් ගතියක් පෑදෙන්නට පටන්ගනියි.හිස්කබල ද ඔබේ සම වගේමයි. නිසි ලෙස පිරිසිදු නොවීමෙන් මැරුණු සෛල,බැක්ටීරියා, කුණුදුහුවිලි හා දහඩිය එහි එකතුවෙයි.කලක් ස්නානය නොකර සිටීමෙන් හිසෙන් අමුතු මත් ගඳක් වහනය විය හැකියි.කෙස්කලඹේ අධික තෙල් ගතිය හා අප්‍රසන්න දුර්ගන්ධය අන් අය ඉදිරියේ ඔබව අපහසුතාවට පත්කළ හැකියි. එම නිසා නිතිපතා ස්නානය කර පිරිසිදුව සිටින්න.

හිස්කබලේ පලු මතුවිය හැකියි-හිස්කබලේ වියළිබව ඇතිවන ප්‍රධාන හේතුවක් වන්නේ seborrheic dermatitis නම් චර්මදාහයයි.හිස්කබලේ සම ප්‍රදාහයට ලක්වී රතු කොරල හෝ පැල්ලම් ලෙස මතුවී පෙනෙයි.පහසුවෙන්ම පොතු (කුඩු මෙන්) ගැලවී යයි.හිස්කබලේ අධික වියළි බව කැසිල්ල ඇතිවීමට හේතුවෙයි. ඉස් හොරි වැඩිවිය හැකියි.සල්ෆේට් හා මද්‍යසාර අඩංගු ෂැම්පු හා කන්ඩිෂනර් වර්ග භාවිත කිරීමෙන් වළකින්න. දිනපතා ස්නානය කරන්නේ නම් දිනපතාම ෂැම්පු භාවිත නොකරන්න.