කෑවොත් මහාන්ත්‍ර පිළිකා ෂුවර් එකට හැදෙන ආහාර පාන 7 ක්

health tips

පරිභෝජනයට ගත් ආහාර වලින් ජලය සහ සිරුරට අවශ්‍ය පෝෂක උරාගෙන, අවශේෂ කොටස් ඝන තත්වයට පරිවර්තනය කිරීම මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලේ කාර්යබාරයයි. මහබඩවැලේ එම නීරෝගි ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරමින් ඒ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම මහාන්ත්‍ර පිළිකා (colon cancer) ලෙස හඳුන්වයි.ලෝකයේ පිළිකා වලින් මියයන රෝගීන් අතරින් බහුල පිරිසක් මහාන්ත්‍ර පිළිකා තත්වය නිසා මියයන බව සෞඛ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

වර්තමානයේ දියුණු වෛද්‍ය තාක්ෂණයත් සමඟ මෙම මාරාන්තික රෝග තත්වය නිසි ප්‍රතිකාර හා ඖෂධ මඟින් පාලනය කිරීමට හැකිවී තිබෙනවා. කෙසේවෙතත් මෙම පිළිකා රෝගයට එරෙහිව සටන් කිරීමේදී රෝගියා තම පෝෂණය හා ආහාර පාන රටාව පිළිබඳ බෙහෙවින්ම සැළකිලිමත් විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.මහාන්ත්‍ර පිළිකා තත්වයෙන් පෙළෙන රෝගීන් පරිභෝජනයෙන් වැළකී සිටිය යුතු ඇතැම් ආහාර පාන වර්ග තිබෙයි.ඊට ප්‍රධානම හේතුව එම ආහාර පාන මහාන්ත්‍ර පිළිකා රෝගයේ ලක්ෂණ උත්සන්න කළ හැකිවීමයි.මේ එවැනි ආහාර පාන වලට උදාහරණ කිහිපයක්.

සීනි බහුල ආහාර අයිස් ක්‍රීම්, කේක්,බිස්කට්,අතුරුපස,රස කැවිළි ආදි සීනි අධික ආහාර පාන මෙම පිළිකා රෝගීන්ට නුසුදුසුයි.සීනි අධික ආහාර දියවැඩියාව හා ස්ථූලතාව වැනි සෞඛ්‍ය අවදානම් ඉහළ දමන බව ඔබ අසා ඇති.එමෙන්ම මහාන්ත්‍ර පිළිකාවකින් පෙළෙන රෝගීන් සඳහා මෙම ආහාර මඟින් ඇතිකරන්නේ විශාල හානිකර බලපෑමක් බව පෙන්වාදෙයි.ඔබ මෙවැනි පිළිකා තත්වයකින් නොපෙළුණත්, ඔබේ දෛනික සීනි පරිභෝජනය හැකිතාක් අවම කිරීමට උත්සහ කරන්න.පැණි රස ආහාර වෙනුවට එළවළු හා පලතුරු වර්ග ආහාරයට එක් කරගන්න. ඒවායින් සිරුරට හොඳ පෝෂණයක් ද ලැබෙයි.ස්ථූලතාව වැනි සෞඛ්‍ය ගැටලු මහාන්ත්‍ර පිළිකා වර්ධනය වීමට ඇති අවදානම ඉහළ දමයි. සීනි අඩංගු වන්නේ පැණි රස ආහාර වලම නොවෙයි. සෝස් වර්ග, සිරප් වර්ග වල ද සීනි අධිකයි.කඩෙන් මිලදී ගන්නා පලතුරු යුෂ පාන වල ද සීනි අධික ලෙස අන්තර්ගත වෙයි.

කාබනීකෘත බීම වර්ග ඇතැම් අය ආහාර ගනිද්දී සෝඩා වැනි බීමක් පානය කිරීමට පුරුදු වී සිටිනවා.කෙසේවෙතත්, මෙය සෞඛ්‍යයට හිතකර පුරුද්දක් ද යන්න නම් ගැටලු සහිතයි.මෙවැනි සෝඩා බීම වල සීනි අධිකයි. දිනපතා මේවා පානය කිරීම ස්ථූලතාව, දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැනි නිදන්ගත රෝග අවදානම් ඉහළ දමයි.මෙම රෝග පිළිකා තත්වයන් වර්ධනය වීමේ ඉඩකඩ වැඩිවීමට පවා බලපෑම් ඇතිකළ හැකි බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.මෙවැනි බීම වර්ග මහාන්ත්‍ර පිළිකා වලින් පෙළෙන පුද්ගලයින් හට නැවත නැවත එම රෝග ලක්ෂණ මතුවීමේ අවදානම වැඩිකළ හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.එමෙන්ම එවැනි පිළිකා රෝගීන් මියයාමේ අවදානම වැඩිවීමට ද  මෙම බීම වර්ග හේතුවෙයි. මෙවැනි බීම වර්ග පානය කිරීමෙන් අග්න්‍යාශයික පිළිකා, ගර්භාෂ  පිළිකා වැනි අවදානම් වැඩිකරයි. මීට වඩා ලෙමන් යුෂ හා පිපිඤ්ඤා මුසුකළ වතුර, ග්‍රීන් ටී, හර්බල් ටී වැනි සෞඛ්‍යාරක්ෂිත පාන වර්ග ‍තෝරාගැනීම සෞඛ්‍යයට හිතකර ප්‍රතිලාභ ලබාදෙයි.

සකස් කළ මාංශ වර්ග-බේකන්,හොට්ඩෝග්,සොසේජස්,හැම්,මීට් බෝල්ස්  වැනි සකස් කළ මාංශ වර්ග රසවත් වුවත් ඒවා අධිකව ගැනීම සෞඛ්‍යයට හිතකර නැහැ. ඒවායේ කොලෙස්ටරෝල් මට්ටම් වලට හානිකළ හැකි ට්‍රාන්ස් මේද බහුලයි.සසක් කළ මාංශ නිෂ්පාදන පිළිකාකාරක (carcinogen) ආහාර විශේෂයක් ලෙසයි විශේෂඥයින් විසින් වර්ගකර තිබෙන්නේ.පිළිකාකාරක ආහාර පිළිකා වර්ධනය වීමේ අවදානම ඉහළ දමයි.මහාන්ත්‍ර පිළිකාවකින් පෙළෙන හෝ සුවය ලැබූ පුද්ගලයින් මෙවැනි මාංශ ආහාර වලින් වැළකිය යුතුයි. ඒවා එම පිළිකා රෝග ලක්ෂණ යළි යළි මතුකිරීමේ අවදානමක් සහිත බව පෙන්වාදෙයි.මෙම මස් වල අඩංගු රසායනික ද්‍රව්‍ය බඩවැල් වල සියුම් ආස්තර (බිත්ති) වලට හානිකළ හැකියි. 

මහාන්ත්‍ර පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ බඩවැල් සංවේදී බවින් වඩාත් වැඩි නිසා,මෙවැනි මාංශ වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග ලක්ෂණ උත්සන්න වීමට ඉඩ තිබෙයි. මෙවැනි මාංශ වර්ග නිසා ආමාශ පිළිකා පවා වර්ධනය විය හැකියි. රතු මස්  වර්ග අධිකව පරිභෝජනය කිරිමෙන් රුධිරය පීඩනය වැඩිවීම, කොලෙස්ටරෝල් ඉහළ යාම හා හෘද රෝග අවදානම් ඉහළ යාම වැනි බරපතල සෞඛ්‍ය ගැටලු සිරුරේ වර්ධනය විය හැකි බවත් සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදේ. කුකුළු මස්, කළුකුම් මස් වැනි මාංශ වර්ග රතු මස් වලට වඩා හිතකර විය හැකියි.

සංතෘප්ත  මේද බහුල ආහාර කිරි,චීස්,බටර්,හරක්මස්,ඌරුමස්,බැටළු මස් වැනි සත්ව නිෂ්පාදන සංතෘප්ත මේද වර්ග බහුලව අඩංගු ආහාරයි.දිනකට ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය අතරින් ඔබට සංතෘප්ත  මේද ලෙස ලබාගත හැකි වන්නේ 5%-6% වැනි සුළු ප්‍රමාණයක් පමණයි.සංතෘප්ත මේද අධික ලෙස ආහාරයට ගැනීමෙන් සිරුරේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම් ඉහළ යාමට පටන්ගනියි.සංතෘප්ත මේද අධික ලෙස පරිභෝජනය කිරීම පිළිකා ඇතුළු ප්‍රදාහය,හෘද රෝග,මානසික සෞඛ්‍ය පිරිහීම වැනි වෙනත් සෞඛ්‍ය ගැටලු ‍රැසකට අතවැනීමක් බව පර්යේෂණ මඟින් පෙන්වාදී තිබෙයි.

ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග මික්ෂර් කඩල,බැදපු කෙසෙල් පෙති, අර්තාපල් පෙති (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) , මඤ්ඤොක්කා පෙති, ගැඹුරු තෙලේ බදින ලද කුකුළු මස්,මාලු ඇතුළු මුහුදු ආහාර වර්ග ගැන මතක් කරන විටත් ඔබේ කටට කෙළ උනනවා නේද? මහාන්ත්‍ර පිළිකා තත්වයකින් පෙළෙන රෝගීන්ට මෙම ආහාර කිසිසේත්ම සුදුසු නොවන බවයි පෙන්වාදෙන්නේ.ගැඹුරු තෙලේ බැද සකසන මෙවැනි ආහාර වර්ග වල කැලරි හා ට්‍රාන්ස් මේද අන්තර්ගතය ඉතා අධිකයි.මේවා නිතර නිතර ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ‍රැසක් මතුවීමට ඉඩ තිබෙයි.ගැඹුරු තෙලේ බදින ලද ආහාර ජීර්ණය කිරීමට පහසු නැහැ. ඒ සඳහා ආමාශයට හා අන්ත්‍ර වලට වෙහෙසි ක්‍රියා කිරීමට සිදුවිය හැකියි.

බඩවැල් පිළිකා තත්වයකදි රෝගියාගේ සිරුරේ එම ක්‍රියාවලින් දුර්වල මට්ටමක පවතින නිසා මෙවැනි ආහාර වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිම වැදගත්.ආමාශයේ බොහෝ වෙලාවක් ජීර්ණය නොවී ‍රැඳී තිබෙන විට පුද්ගලයාය බඩපපුවේ දැවිල්ල හා අම්ල ප්‍රතිවාහ (උගුරට ඒම) වැනි අපහසුතා වැඩිවෙයි.මෙවැනි ආහාර කීමෝතෙරපි වැනි පිළිකා ප්‍රතිකාර ක්‍රම වලින් ඇතිවන ඔක්කාරය,පාචනය වැනි අතුරුආබාධ තත්වයන් තව තවත් උත්සන්න වීමට හේතුවිය හැකියි.ඉහළම උෂ්ණත්වයකදී ගැඹුරු තෙලේ ආහාර බැදෙන විට ඇක්‍රිලමයිඩ් නම් හානිකර විෂ රසායනයක් මුදාහැරෙයි.මේවා පිළිකාකාරක බලපෑමක් සිරුර තුළ ඇතිකළ හැකි බව පර්යේෂණ මඟින් පවා පෙන්වාදී තිබෙයි.

කැෆේන් අඩංගු ආහාර පාන ගොඩක් අය දවස පටන්ගන්නේ කෝපි කෝප්පයක් රසවිඳීමෙන්. කෙසේවෙතත් මහාන්ත්‍ර පිළිකා රෝගීන්ට කැෆේන් යනු ඉතා හානිකර දෙයකි.මෙම පිළිකා රෝගයෙන් පෙළෙන විට කෝපි පානය කිරීමෙන් එම රෝග ලක්ෂණ තවත් උඩුදිවීමට ඉඩ තිබෙයි.නිතර නිතර ඔක්කාරය හා පාචනය වැනි තත්වයන් මතුවිය හැකියි.කීමොතෙරපි ප්‍රතිකාර වල අතුරුබලපෑමක් වන නින්ද නොයාම (ඉන්සොම්නියා) තත්වය පවා තවත් නරක අතට හැරිය හැකියි.ඊට හේතුව කැෆේන් යනු උත්තේජකයක් වීමයි.

මද්‍යසාර මහාන්ත්‍ර පිළිකාවකින් පෙළෙන පුද්ගලයින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු තවත් පුරුද්දක් වන්නේ මත්පැන් භාවිතයයි.මද්‍යසාර කුඩා ප්‍රමාණයකින් ගත්තත් මෙම රෝග ලක්ෂණ නරක අතට හැරීමට ඉඩ ඇති බව විශේෂඥයින් පෙන්වාදේ.මත්පැන් පානය මුඛ හා උගුරේ පිළිකා වර්ධනය වීමේ අවදානම වැඩිකරවයි.පියයුරු පිළිකා,අන්නස්‍රෝත පිළිකා වැනි අවදානම් කෙරෙහි ද බලපායි. ඔබ මෙම පිළිකා රෝග වලට ප්‍රතිකාර ලබන අයෙක් නම්, ඔබේ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිතාක් උත්සහ ගන්න.මද්‍යසාර වර්ග පිළිකා ඖෂධ වල ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකළ හැකියි.ඖෂධ ගන්නා අතරේදි මත්පැන් පානය කිරීම පුද්ගලයා තුළ බඩපපුවේ දැවිල්ල හා අම්ල උගුරට ඒම වැනි ගැටලු මතුකළ හැකියි. මත්පැන් පානය පිළිකා වර්ධනයට විශාල වශයෙන් බලපාන අවදානම් සාධකයක් බව විශේෂඥයින් පෙන්වාදේ.