අද අපි අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම සඳහා ඕන කරන ආහාර පාන තෝරා බේරා ගෙන ගන්නා බවක් නම් දකින්නට නැහැ. අතට අහුවෙන ඕනම රසවත් දෙයක් අපි බඩට දාගෙන එදිනෙදා වැඩ කටයුතුවල නිරත වෙනවා හරියට රොබෝ කෙනෙක් වගේ. ඉහළ යන ජීවන වියදම, කාර්යබහුල ජීවන රටාව නිසාම ආහාර වේල් සමබල ලෙස ගන්නට අපිට නොහැකි වෙලා තියෙනවා.ඒ වගේම නොයෙකුත් කෘතීම ආහාරපාන අපේ ආහාර අතරේ වැඩි ඉඩකඩක් හිමිකරගෙනත් තියෙනවා. මේ කාරණා සියල්ලේම අවසන් ප්‍රතිඵලය නම් එතරම් සතුටුදායක නැහැ. අකාලයේ මියැදෙන්නට රෝගී වෙන්නට මේ නරක ආහාර පුරුදු හේතු වෙනවා. මොකද අපේ සිරුරට ලැබිය යුතු පෝෂණය නිසිපරිදි ශරීරයට නොලැබීමත් සිරුරට අහිතකර දේ අධිකව ශරීරයට ඇතුල් වීමත් නිසා.
ඉතින් අපේ සිරුරේ පැවැත්මට ඕන කරන පෝෂක අතරේ ඛනිජ ලවන විශේෂයි. ඒ අතුරින් සින්ක් කියන්නේ අංශුමාත්‍ර මූලද්‍රව්‍යයක්. මේ සින්ක් අපේ සිරුරේ කාර්යන් බොහොමයකටම දායක වුණත් අපේ වැරදි ආහාර පුරුදු නිසා සින්ක් සිරුරට ප්‍රමාණවත් තරම් ලැබෙන්නේ නැතූව යනවා. ඒ වගේ අවස්ථාවක ඒ බව අපිට විවිධ සංඥා මගින් දැනුම් දෙනවා. සෑම රෝගයක්ම දරුණු තත්ත්වයට පත්නොවී වළක්වා ගන්නට මේ ආකාරයට ශරීරය අපිට සංඥා නිකුත් කරනවා. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ. අපේ දේහයට සින්ක් ප්‍රමාණවත් තරම් ලැබුණේ නැති විටෙක එය පෙන්නුම් කරන ලක්ෂණයන් පිළිබඳවයි.
සින්ක් අපේ දේහයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙන එන්සයිම 100 ට අධික ගණනක උත්ප්‍රේකයක් ලෙසත් ක්‍රියා කරනවා. ඒ හැරුණාම තුවාල ඉක්මනින් සුවවීමටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමටත්,සමේ නීරෝගි බවටත්, සින්ක් දායක වෙනවා. අපේ දේහයේ සෑම සෛලයකම සින්ක් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒ අනුව දේහයේ වර්ධනය සඳහා සින්ක් විශාල දායකත්වයක් ලබා දෙනවා. සින්ක් අපේ දේහයට ලබාගත යුත්තේ සින්ක් අඩංගු ආහාර ගැනීම මගින්.

යම් විටෙක අපේ දේහයට අවශ්‍ය සින්ක් ඌණවීම වගේම සින්ක් අධික වීමත් යන අවස්ථා දෙකම අපේ ශරීරයට අහිතකර තත්ත්වයන් නිර්මාණය කරනවා. යම් විටෙක සින්ක් අපේ දේහයේ අධිකව ඇත්නම් එය ශරීරයට විෂවීමේ හැකියාවක් ද පවතිනවා. එය සින්ක්වලට පමණක් නොවෙයි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය බොහොමයක් නියමිත ප්‍රමාණය ඉක්මවා සිරුරේ ඇත්නම් එවැනි තත්ත්වයන් ඇති වන්නට පුළුවන්.
ඉතින් නිසි ප්‍රමාණයට අපේ දේහයේ සින්ක් නොමැති වුණොත් ඒ ඌණතාවය සඳහා පිළියම් කළ යුතු බවට හඟවන ලක්ෂණ ඔබට අත්දකින්නට සිදු වෙනවා.මේ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය හෙවත් ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය ශ්‍රී ලංකාවේ දරුවන් බහුලවම දකින්නට තියෙනවා. ප්‍රමාණවත් පරිදි සින්ක් නොලැබීම දරුවන්ගේ කායික මානසික වර්ධනය හා ලිංගික පරිණතභාවය කෙරෙහිත් විශාල බලපෑමක් කරනු ලබනවා. ඒ නිසා ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් වගේම දරුවන් සහ වැඩිහිටියන් පවා දිනකට අවශ්‍ය කරන සින්ක් ප්‍රමාණය නිසි පරිදි ආහාර මගින් සපයා ගැනීම අවශ්‍ය වෙනවා. සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුගේ දෛනික සින්ක් අවශ්‍යතාවය මිලිග්‍රෑම් 11 ක් පමණ වෙනවා. ඒ හැරුණාම ගැබිනි මවකට හෝ කිරිදෙන මවකට ඒ ප්‍රමාණය මිලිග්‍රෑම් 11-13 දක්වා ප්‍රමාණයක් වෙනවා. මේ සින්ක් ප්‍රමාණය පුද්ගලයාගේ වයස අනුවත් වෙනස් වෙනවා.
සින්ක් ඌණතාවයක් හඳුනා ගත හැකි ලක්ෂණ
- ආහාර රුචිය අඩුවීම
- දරුවන්ගේ ලිංගික පරිණතවීම පමාවීම
- පුරුෂ ශක්තිය හීන වීම හා පුරුෂ හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය අඩුවීම
- ස්නායු දුර්වලතා ඇතිවීම
- මේ හේතුව නිසා ඇස්වල පෙනීම, කන් ඇසීම, රසය දැනීම ආදී සංවේදනවල දුර්වලතා ඇති වන්නට පුළුවන්.
- ශරීරයේ ප්‍රතිශක්තිය පහළ බැසීම විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ටී සෛල අවධානය සඳහා සින්ක් අත්‍යවශ්‍ය වෙනවා. මේ ටී සෛල අපි ආසාදනයකින් පෙළෙන විට ඒ ආසාදනය ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණයෙන් වළක්වන්නට අපිට උපකාරී වෙනවා.
- හිසකෙස් දුර්වල වීම හා ඒවා පහසුවෙන් ගැලවී යාම මෙය දිගුකාලීනව පැවතීමෙන් හිසේ ඇතැම් ස්ථානවල හිසකෙස් සම්පූර්ණයෙන්ම නැතිව යන්නත් පුළුවන්.
- නියපොතු තුනී වී ඉක්මනින් කැඩීයාම
- උදරය ආශ්‍රිත රෝග නිතර ඇතිවීම
- සමේ කුරුලෑ, දද සහ තුවාල නිතර ඇතිවීම
- ආසාත්මිකතාවයන් ඇතිවීම විශේෂයෙන්ම ආහාරවලට දූවිලි හෝ වල පරාග ආදිය නිසා අසාත්මිකතා ඇතිවීම ඒ නිසා සිදු වෙනවා.
- නිතර ඇතිවන පාචනය
- මතක ශක්තිය දුර්වල වීම
- අලස බව

- දරුවන්ගේ වර්ධනය අඩාල වීම
- තුවාල සුවවීම පමාවීම
- දේහ බර අඩුවීම
- සම රැළි වැටී ඉරි තැලී අවපැහැ ගැන්වීම
- නියපොතු මත සුදු පැල්ලම් ඇතිවීම
සින්ක් බහුල ආහාර ලෙස, කිරි, බිත්තර, යෝගට්, චීස්, ඩාර්ක් චොක්ලට් බෙල්ලන්,ගව මස් ඇතුළු රතු මස් වර්ග වැදගත් වෙනවා.ඒ හැරුණාම බිම්මල්, බෝංචි, ඕට්ස්, කඩල ආදී ධාන්‍ය වර්ග, කොමඩු ඇට, සූරියකාන්ත ඇට, වට්ටක්කා ඇට නිවිති යන ආහාරවලත් සින්ක් බහුලවම අන්තර්ගත වෙනවා.
මෙවැනි ලක්ෂණ කිහිපයකින් ඔබ හෝ ඔබේ දරුවා පෙරළෙන්නේ නම් එය සින්ක් ඌණතාවයක් වන්නට හැකියි. ඒ ඌණතාවය යථා තත්ත්වයට පත් කරගන්නට සින්ක් බහුල ආහාර දෛනිකව ලබා ගන්නට උත්සාහ කරන්න.