අපේ රටේ අපි කිසිම ප්‍රයෝජනයකට නොගන්නා ඔසු පැල බොහොමයි. ඒ අතුරින් බොහොමයක් දෙනා නොදන්නා වල් පැලෑටියක් සේ සලකන ඔසු පැලයක් තමයි කරල් හැබ ශාකය. තුත්තිරි මෙන් ඇදුම්වල ඇමිනෙන කරල් හැබ අපිට නීරෝගීව සිටින්නට බෙහෙවින් උදව් කරනවා. නමුත් මේ පැලෑටිය පිළිබඳව අවබෝධයක් නැති නිසාම එයින් නිසි ප්‍රයෝජන අපි ලබා ගන්නේ නැහැ.ඉතින් ඒ නිසාවෙන්ම කරල් හැබ ශාකයේ ඖෂධීය ගුණ ඔබට කියන්නට සිතුවා.
Achyranthes asperal යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බහු වාර්ෂික ශාකයක් වන මේ කරල් හැබ ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. ඉහළ කඳුකරයේ හැර ලංකාවේ සෑම පලාතකම මංමාවත් දෙපස, වගාබිම්වල වනාන්තර මායිම්වල, ගෙවත්තේ, ජල පහර ගලායන දෙපස ආදී ස්ථානවල මේ පැලෑටිය දකින්නට පුළුවන්. ස්වාභාවික තෘණ පැලෑටි අතරේ සුලබව පැලවෙන මේ පැලෑටිය බොහෝ අය වල් පැලෑටියක් ලෙසයි හඳුනා ගන්නේ. කරල් සැබ යන නමින් මෙන්ම සංස්කෘතයේදී අපාමාර්ග, චර මංජරී, මධුරක යන නමිනුත් මේ කරල් හැබ ශාකය හඳුන්වනු ලබනවා.මේ ශාකයේ අතුවල බූව සහිත ස්වභාවයක් ගන්නා අතර එහි පත්‍ර ඇත්තේ ස්වල්පයක් පමණයි.පත්‍රවල බූව සහිතයි.මේ පත්‍රවලට උඩ සහ යටි පැත්තේ බූව පවතිනවා.

මේ කරල් හැබ ප්‍රභේද දෙකකින් දකින්නට පුළුවන්. සුදු මල් පිපෙන විශේෂය ගස් කරල් හැබ වශයෙන් ද, රතු මල් පිපෙන විශේෂය රතු කරල් හැබ වශයෙන් ද වර්ග කර තියෙනවා. රතු කරල් හැබ බිං කරල් හැබ නමින් ද හඳුන්වනු ලබනවා.කරල් හැබ ශාකයේ මල් පිපෙන්නේ ඔක්තෝම්බර් දෙසැම්බර් කාල සීමාව තුළයි.මේ ප්‍රභේද දෙකම අඩි 3 ක් පමණ උසින් යුත් කුඩා පැලෑටියක්. මේ පැලෑටියේ කරල් කොක්කක හැඩය ගනු ලබනවා. දේශීය වෙදකම තුළ කරල් හැබ මුල් වගේම බීජත් විවිධ ඖෂධ සකස් කරගැනීමේදීත් කසායවලටත් නිතරම භාවිතා වෙනවා. ඒ හැරුණාම රත් කරල් හැබ ශාකයෙන් සකස් කරගන්නා කැඳ මල බද්ධයට වගේම අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකයි.
කරල් හැබ ශාකයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ
- මෘදු විරේක සඳහා සුදුසුයි.
- ආමාශගත රෝගාබාධ සුව කරයි.
- පණු රෝග නසයි.
- මුත්‍රා පිට නොවීමට ගුණදායකයි.
- ඉදිමුම් සුව කරයි.
- තුවාල සුව කරයි.
- අර්ශස් සඳහා ගුණදෙයි.
- සර්ප විෂ නසයි.
- හෘද රෝගවලට ගුණදෙයි.
- උදරාබාධ සඳහා ගුණදායකයි.
- බඩ පුරවා දැමීමට ගුණදෙයි.
- වමන තත්ත්වයන් සමනය කරයි.
කරල් හැබ පැලෑටියෙන් කළ හැකි අත් බෙහෙත්
- බාහිරින් ඇතිවන තුවාල සඳහා කරල් හැබ තලා ආලේප කිරීමෙන් තුවාල ඉතා ඉක්මනින් සුව කරයි. මේ සඳහා ගස් කරල් හැබ කොළ, අමු කහ ඇල් දියෙන් සිහින්ව අඹරා තුවාලයට තබා බදිනු ලබනවා. නමුත් අද මේ භාවිතයන් අප අතරින් බැහැරව ගොස් තිබුණත් එදා තුවාලයක් වූ සැණින් මේ අත් බෙහෙත් සුවය සඳහා භාවිතා කළා.
- ගස් කරල් හැබ මුල් තම්බා මී පැණි දමා පානය කිරීම පණු රෝග සඳහා ගුණදායකයි.

- ගස් කරල් හැබ සහ කටුපිල කොටා වන්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා පානය කිරීම බඩවැලේ සැදෙන තුවාල සඳහා ගුණදායකයි.
- අර්ශස් රෝගය සඳහා ගස් කරල් හැබ මුල්, සූදුරු, කොහිල අල, රතු ළූණු කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා පත භාගය බැගින් එළගිතෙල් දමා උදේ සවස පානය කිරීමෙන් සහනය සලසා ගත හැකියි.
- ගර්භනී මවකට ගස් කරල් හැබ මුල් කලං 12 ගෙන වතුර පත 7 ක් හා එළකිරි පත 1 දමා පත අට එකට සිද පෙරා මී පැණි සමඟ උදේ සවස පානයෙන් දරු ගැබ ශක්තිමත් වෙයි.
- කරල් හැබ කොළ භාවිතයෙන් කරවලයා දෂ්ට කිරීමේ දී වන විෂ ඉවත් කිරීමටත් භාවිතා කරනු ලබනවා.
- ලේ අතීසාරයට ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටියක් සහ උදුපියලිය ද ඊට සමාන ප්‍රමාණයක් ගෙන යොදා කොටා උණුවතුර දමා මිරිකා ගත් යුෂ නිවුණු පසු මී පැණි දමා වරු 3 ක් පානය කිරීම සුදුසුයි.

- ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටිය සෝදා වේලා කුඩුකර ගත් කුඩු ග්‍රෑම් 250 ට ගම්මිරිස් කුඩු ග්‍රෑම් 25 ක් මිශ්‍රකර දත් මැදීම සියලු දත් රෝග නසාලයි.
- සර්ප විෂට ගස් කරල් හැබ තම්බා ගත් වතුරට එලගිතෙල් දමා පානය කිරීම සහ ගස් කරල් හැබ ඇට හා දළු, අමු කහ සමඟ දෙහි ඇඹුලෙන් අඹරා දෂ්ට මුඛයේ තැබීමෙන් විස බසීයි.
- අර්ශස් සඳහා රත් කරල් හැබ කොහිල අල, උදුපියලිය රතු ළූනු කොටා මිරිකා යුෂ උදේට පානය කිරීම ගුණදායකයි. ඒ වගේම ගස් කරල් හැබ මුල් ඇට හාල් පානු දියෙන් අඹරා ඒ වතුරට දියකර පෙරා මී පැණි දමා උදේ හිස්බඩ පානය කිරීමත් අර්ශස් සඳහා ගුණදායකයි.
- සැලකිය යුතුයි.කරල් හැබ ප්‍රතිකාර වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.