මීටර් 8-10 ක් පමණ උසට වර්ධනය වන කතුරුමුරුංගා ශාකය ඖෂධීය ගුණයෙන් අනූන ශාකයකි. එනම් මලයාසියාව නිජබිම කරගත් කතුරුමුරුංගා වර්තමානය වන විට ඉන්දියාව, ශ්‍රී ලංකාව ,පිලිපීනය ආදී බොහෝ රටවල දැකගත හැකිය. මෙහි හටගන්නා මල් වල පැහැය ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
- සුදුමල්
- රතු මල්
- නිල් මල්
- කහ මල්

අගස්ති යන නමින් ප්‍රචලිත කතුරුමුරුංගා මැල්ලුමක් ලෙස බොහෝ දෙනෙකු ආහාරයට ගන්නා අතර ඊට අමතරව ආහාර පිසින විට කිරි හොදි සකස් කරන විට සහ පපඩම් සමඟ ගැඹුරු තෙලේ බැද බොහෝ දෙනෙකු ආහාරයට එක්කර ගනී. කතුරු මුරුන්ගා වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ.
- විටමින් A, B,C,
- පොටෑසියම්
- කැල්සියම්
- මැග්නීසියම්
- සින්ක්
- කොපර්
- යකඩ
- ප්‍රෝටීන්
- නිකොටොනික් අම්ලය
- ඇමයිනෝ අම්ල
- තයමින්
- සෝඩියම්
- ඇලනින්
- ඇස්පාර්ටික් අම්ලය
- රයිබොප්ලෙවින්
- නියසින්
- බීටා කැරොටීන්
- මේදය ආදී බොහෝ පෝෂපදාර්ථ කතුරුමුරුන්ගා වල අඩංගු වේ.
ආයුර්වේදයේ කතුරුමුරුංගා රසයෙන් තිත්ත හා වීරයෙන් ශීත ගුණයෙන් ගුරු හා ලගුද විපාකයෙන් රූක්ෂ සහ කටුක ගුණයන්ගෙන් අනූන වන බව සඳහන් වේ. ඊට අමතරව නොයෙක් රෝග සමනය කිරීමට කතුරුමුරුංගා ශාකයේ කොළ, පොතු, මුල්, ඇට ,මැලියම් ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ.
කතුරුමුරුංගා කොළ සම්බෝලයක් සකස් කර ගන්නා ආකාරය.
- පිරිසිදු කර සිහින්ව ලියලා ගත් කතුරුමුරුංගා කොළ දෙමිටක්
- සිහින්ව ලියාගත් ලූනූ ගෙඩියක්
- ලුණු ස්වල්පයක්
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් දෙකක්
- පොල් ස්වල්පයක්
- උම්බලකඩ ස්වල්පයක්
- ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව ලියාගත් කතුරුමුරුංගා කොළ ,ලූණු, ලුණු, අමුමිරිස්, පොල්, උම්බලකඩ,ආදී සියල්ල මිශ්‍ර කර ආහාර ගැනීමට මොහොතකට පෙර දෙහියුෂ මිශ්‍රකර ආහාරයට ගත හැකිය.
මෙලෙස කතුරුමුරුංගා සම්බෝලය ආහාරයට ගැනීම මගින් නොයෙක් රෝග සමනය කර ගත හැකිය. එනම්
- සෙම් රෝග
- ශරීරය දාහය
- මුත්‍රා රෝග
- පිත් රෝග
- ඇදුම පීනසට ආදී ශ්වසන රෝග
- සෙම්ප්‍රතිශ්‍යාව
- කාන්තා රෝග
- රුධිරය සමඟ ඇතිවන පාචනය
- බඩවැල් ආශිත රෝග
- අර්ශස්
- පැපොල සරම්ප මගින් ඇතිවන බිබිලි
- ආර්තව ගැටලු
- යටිපතුල් පැළීමට
- හන්දිපත් වේදනාවට
- මතක ශක්තිය වර්ධනයට
- සම පැහැපත් කිරීම සඳහා
- උගුර බැරැන්ඩි වීමට
මේ ආදී බොහෝ රෝගයන් සුව කිරීමට කතුරුමුරුංගා කොළ ,මල් ව්‍යාංජනයක් ලෙස මැල්ලුමක්, සම්බෝලයක් ලෙස ආහාරයට ගැනීම ගුණදායකවේ. මීට අමතරව අත් බෙහෙතක් ලෙස ද කතුරුමුරුංගා කොළ, මල්, පොතු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
සෙම් රෝග, කැස්ස ,පීනස සදහා.සුදු කතුරුමුරුංගා මල් වියළා ඒවා කුඩුකර තේ වෙනුවට දිනපතා පානය කිරීම.
අජීර්ණ රෝගීන් සදහා.උණුවතුර වීදුරුවකට කතුරුමුරුංගා මල් කිහිපයක් දමා තම්බා පෙරා පානය කිරීම.
ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ඇස්වලින් කදුලු ගැලීම, දුර නොපෙනීම ,බොදවී පෙනීම,ඇස් පෙනීම අඩු වී යාම වැනි තත්වයන් කතුරුමුරුංගා ආහාරයට ගැනීමෙන් සුවපත් කර ගත හැකිය. එනම් මේ සදහා කතුරුමුරුංගා කොළ සම්බෝල ,කිරි හොදි ,මැල්ලුම ආදී වශයෙන් සකසා දවසක් හැර දවසක් මාස හයක් පමණ ආහාරයට ගැනීමෙන් සුවපත් කර ගත හැකිය.

කිරි පණුවන් නැසීම සදහා කතුරුමුරුංගා කොළ ආහාරයට ගැනීම.
මලබද්ධය සදහා කතුරුමුරුංගා කොළ කොටා යුෂ පානය කිරීම
උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා කතුරුමුරුංගා, වදකහ කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.
උගුර බැරැන්ඩි වීම සමනය කිරීම සඳහා කතුරුමුරුංගා කොළ ,මල් හා පාවට්ටා කොළවලට වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම.
උණ සඳහා කතුරුමුරුංගා ස්වරසය මී පැණි සමඟ පානය කිරීමට ලබා දීම.
අර්ශස් හා බඩවැල් ආශ්රිත තුවාල සඳහා කතුරු මුරුංගා කොළ යුෂ දිනපතා උදෑසන පානය කිරීම.මේ ආදී වූ රෝග රැසක් සමනය කිරීමට කතුරුමුරුංගා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.