හිස්සොරි නැත්තටම නැති කරන ස්වභාවික ක්‍රම 10 ක්

Uncategorized

කාන්තා පිරිමි හැමෝටම හිසරදයක් වෙලා තියෙන ගැටළුවක් තමයි හිස්සොරි කියන්නේ. එය මානසිකව දැඩිව වධ දෙන ගැටළුවක්. නිරන්තරයෙන්ම මේ ගැන කතාබහ කළත් බොහෝදෙනෙක්ට නිට්ටාවටම මේ හිස්සොරි ගැටළුවට පිළියම් සෝයා ගන්නට නොහැකි වෙලා තියෙනවා. හිස්සොරි ඇතිවෙන්නටත් ඒවා වර්ධනයටත් අපේ වැරදි චර්යා පුරුදු තමයි වැඩි වශයෙන්ම හේතු වෙන්නේ. කොහොමවුණත් ඇතැම් අයට මේ හිස්සොරි දවසක් ස්නානය නොකර සිටීමෙන් පවා ඇතිවෙනවා. ඉතින් අපි අද කතා කරමු මොන දේ කළත් සුවයක් නැති හිස්සොරි නිට්ටාවටම සුවකර ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

සමේ ඇති කොටස් තුනෙන් එක් කොටසක් වෙන අපිචර්මයේ ස්වභාවය වෙන්නේ අනෙක් සෛලවලට වඩා ඉතා ඉක්මනින් සෛල මැරී ඉවත්වීමයි. හිසේ ඇති අපිචර්මයේ සෛල ඉතාම ඉක්මනින් ඉවත්වෙලා යනවා. සාමාන්‍යයෙන් මේ සෛල ඇතිව මියයාමට ලක්ව ඉවත්ව යාම මාසයක් පමණ කාලයක් තුළ සිදු වෙනවා. හිස්සොරි කියන තත්ත්වය පවතින අයගේ සෛල ඇතිවෙලා  දින 2 ක් 7 ත් අතර  කාලයේ දී මේ  සෛල ඉවත් වෙලා යනවා. කුඩු කුඩු වශයෙන් මේවා වැටෙන නිසා තද පැහැ ඇදුමක් ඇදීමට හැකියාවක් නොහැකි  වෙනවා. නිතර හිස කසන්නටත් පටන් ගන්නවා. හිසකෙස් අධික ලෙස ගැලවී යාමත්, පිටේ, මුහුණේ පපුවේ කුරුලෑ ඇතිවෙන්නත් මෙය ප්‍රබල හේතුවක්. මේ නිසා මෙය පීඩාකාරී වෙනවා. නමුත් එය ශරීරයේ ඇතිවන ස්වාභාවික තත්වයක්. රෝගයකම නොවෙයි.

 නමුත් විවිධ හේතුන් මත මෙය රෝගයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා.ඒ නිසාම වෛද්‍ය විද්‍යාව තුළ ඒ සඳහා නිට්ටාවට බෙහෙත් නැහැ. මොකද අපිචර්මයේ සෛල හැලීයාම අපිට ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. එය යම් යම් හේතු නිසා වැඩිවීමක් වන්නට පුළුවන්. හිස්සොරි කියන තත්ත්වයේදී අසාමාන්‍ය ලෙස සෛල ගැලවී යාමක් සිදු වන නිසා එය සාර්ථකව පාලනය කර ගන්නට හැකියාව පවතිනවා.

හිස්සොරි ඇතිවෙන්නට බලපාන ප්‍රධාන හේතු

  • හිසේ පවතින වියළි බව 
  • හිසට භාවිතා කරන විවිධ ආලේපන හා ද්‍රව්‍ය   

හෙයා ජෙල් වර්ග විවිධ ෂැම්පු වර්ග ආදී හිසට භාවිතා කරන ඕනෑම රසායනික  ද්‍රව්‍ය නිසාවෙන් අපිචර්මයේ  සෛල ඉක්මනින් හැලී යන්නට පුළුවන්. 

  • හිසකෙස් වියළන යන්ත්‍ර භාවිතය 
  • දේශගුණ තත්වයන් 
  • ජානමය තත්ත්වයන් 
  • තෙත හිසකෙස් සහිතව නින්දට යාම 
  • කුළු බඩු සහ සීනි අධික ආහර ගැනීම 
  • දීලිර 

මේ හේතුවල කිසිදු සම්බන්ධයක් නොමැතිවත් ඇතැම් අයෙකුට මේ හිස්සොරි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම  ඇතැම් අයගේ විශාල ලෙස පදාසි ලෙස හිස්සොරි ඇතිවීම, හිස් කබල තදින් කැසීම සහ රතුවීම ආදී තත්වයන්වලට බොහෝවිට හේතු වෙන්නේ දිලීර ආසාදනයන්. මැලසෙස්සියා ග්ලොබෝසා කියන මේ දිලීර හිස්සොරි ඇති අයගේ පවතිනවා. ඒ දිලීරය නිසාවෙන් අපිචර්මයේ ස්වභාවිකව හැදෙන මේ  සෛල ඉතාම ඉක්මනින් ඉවත් වෙන්නට බලපානවා. එවිට මැරුණු සෛල බොහොමයක් එකතු වෙනවා.

මේ දිලීරය අපේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ශ්‍රාවය කරන සීබම් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ඔලෙයික් ඇසිඩ් නිර්මාණය කරනවා. මේ ඔලෙයික් ඇසිඩ් හිසේ කැසීම සහ ප්‍රදාහය තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා.

ප්‍රතිකාර මේ හිස්සොරි සඳහා පවතින වෛද්‍ය  ප්‍රතිකාර පිළිබඳව  කතා කිරීමේදී මේ දිලීරය සඳහා වෛද්‍ය  ප්‍රතිකාර පවතිනවා. නමුත් අපිචර්මයේ සෛල ඉවත්  කිරීම නතර කරන්නට නම් ප්‍රතිකාර නැහැ. ඒ නිසා ඒ දිලීරය ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර සිදු කරන අතරේ හිස්සොරි සහ ඒ දිලීරය නැවත ඇතිවීම වළක්වා ගන්නත් උපදෙස් ලබාදීම සිදු කරනවා.

දීලීර ඉවත් කිරීම සඳහා දිලීර නාශක ෂැම්පු වර්ග, ආලේපන වර්ග, ඖෂධ වශයෙන් වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. නමුත් මේ දිලීර වුණත් නැවත අපේ නොසැලකිලිමත්කම නිසා ඇතිවෙන්නට හැකියාව පවතිනවා. ඒ වගේම නැවත හිස්සොරි ඇති කිරීම වළක්වන්නට හිසේ ඇති ස්වභාවයත් වෙනස් කරනවා. ඒ නිසාම ඒ සඳහා ස්වභාවික ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසු වෙනවා.

හිස්සොරි සඳහා වඩාත් ඵලදායි සාර්ථකම ස්වභාවික පිළියම් 

1. ගොඩපර දෙහි ගැට , උළුහාල් සත්කාරය මේ සියල්ල ජලය දමා හොඳින් තම්බා ගෙන පේස්ට් එකක් වගේ සකස් කරගෙන එය හිසේ ආලේප කර පැයක් දෙකක් තබා සෝදා හරින්න. මෙය මාසයකට 3-4 වරක් සිදු කිරීම මගින් සාර්ථකව සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.

2. ස්නානයට පෙර දෙහි යුෂ බිංදු කිහිපයක් මිශ්ර් කළ ජලය හිසට දමා හිස සම්බාහනය කර  සෝදා හරින්න. 

3. ඇස්ප්‍රීන් කිහිපයක් ගෙන ජලයට දමා දියකර ගෙන හිසට දමා සම්බාහනය කර සෝදා හරින්න. ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයකට මේ ඇස්ප්‍රීන් පෙති 2 ක් කුඩුකර දමා භාවිතයට ගන්නත් පුළුවන්.

4. ජලය ස්වල්පයක් යොදා තම්බාගත් දෙහි කොළවල යුෂ ගෙන එයට ජලය ස්වල්පයක් එකතු කර මිරිකා ගත උකු පොල් කිරි සහ දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන එය මැටි බඳුනක දමා අව්වේ කකාරා ගන්න. ඉන්පසුව ඉතිරි වන ඝන ආලේපය හිස්සොරි ඇති ස්ථානවල හොඳින් ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට මේ පිළියම මගින් හිස්සොරී නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව පවතිනවා.

5. අරළු, බුළු, නෙල්ලි තම්බා ගත් ජලයෙන් හිස සෝදා හරින්න.

6. ගොඩපර සහ නෙල්ලි තම්බා ගත් ජලයෙන් හිස සේදීම. 

7. අඹ ඇට මද සහ නෙල්ලි අඹරා හිසේ ආලේප කර සෝදා හරින්න.

8. තෙත හිසකෙස් මත බේකින් සෝඩා ගලවා සම්බාහනය කර ෂැම්පු නොදා සෝදා හරින්න.

9. ස්නානයට පෙර පොල් තෙල් හිසේ ගල්වා සම්බාහනය කර රැයක් පමණ තබා සෝදා හරින්න.

10. කෝමාරිකා යුෂ ගල්වා සම්බාහනය කර සෝදා හරින්න.

මේ ස්වාභාවික ක්‍රමවේද භාවිතයෙන් ඔබටත් හිස්සොරි වධයෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්.