නිවසට වාසනාව කැන්දන හරි අපූරු ශාකයක් විදියට පිළිගන්නා ඖෂධීය පැළෑටියක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. තෘණ පවුලට අයත් වන ශාක විශේෂයක් වන ඊතණ ගැන ඔබ ඇතැම් අවස්ථාවල අසා නැතුවත් ඇති. මේ ලෝකයේ ජීවත් වෙන ජනතාවගේ යහපත උදෙසා දායාද කරල දීපු ස්වභාධර්මයේ තවත් අපූරු දායාදයක් තමයි මේ ඊතණ ශාකය.
මේ ශාකය අපේ රටේ හැරුණාම ඉන්දියාව, බෙංගාලය, පාකිස්ථානය, චීනය, මැලේයාසියාව ආදී රටවල්වලත් ඉතාමත් සරුවට වැඩෙන ශාකයක්. පරිසර හිතකාමී ශාකයක් වන මෙය දෙණි බිම්වල දිය සීරා ඇති තැන්වල වැලි මුසු සරු පස මත ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා .මේ ශාකයට ජලය සොයමින් පොළවේ අභ්‍යන්තරයටම ගමන් කරන්නට විශේෂ හැකියාවකුත් පවතිනවා.

ඊතන ශාකයේ ප්‍රභේද තුනක් හඳුනා ගන්නට පුළුවන්
නිල් ඊතණ
ස්වේත ඊතණ
ගැට ඊතණ
මේ ප්‍රභේද තුනට අමතරව මාලා දුර්වා නමින් තවත් වර්ගයක් දකින්නටත් පුළුවන්. මේ ශාකය සංස්කෘත භාෂාවෙන් හරියාලු ලෙසත් දෙමළ භාෂාවෙන් අරුන්ගම්පිල්ලු නමිනුත් හඳුන්වනවා.
මේ ශාකයේ ඖෂධීය වටිනාකම වැඩිපුරම අන්තර්ගත වෙන්නේ මුල් කොටසේ. ඒ නිසාම බහුලවම මේ ශාකයේ මුල් භාවිතයට ගන්නවා ඖෂධ වශයෙන්. මුල් විතරක් නෙවෙයි මේ ශාකයේ කොළත් විවිධ අවස්ථාවල ඖෂධ පිණිස භාවිතා කරනවා. නමුත් සමහර අවස්ථාවලදී සම්පූර්ණ ශාකයම ඖෂධ පිණිස භාවිතා කරනවා. මේ ශාකය ගලවා වියලා තබා ගැනීම මගින් අර්ධ වර්ෂයක් ප්‍රයෝජනයට ගැනීම සඳහා තබා ගන්නට පුළුවන් .
මේ ඊතණ ශාකයෙන් සාදාගත හැකි කැඳ රෝග රැසකට ගුණදායක ආහාරයක්. රෝග බොහොමයකින් ආරක්ෂා වෙලා ඉන්නට වගේම රෝගවලින් සුවපත්භාවය ලබා ගන්නටත් ප්‍රත්‍යක්ෂ ඔසුවක් මේ ඊතණ කැඳ.
ඊතණ ශාකයේ කැඳ පිළියෙල කරගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
ඊතණ දඬු මිටක්
අවශ්‍ය පමණට ගාගත් පොල්
කරපිංචා ඉති 4 ක්
හීනටි සහල් ග්‍රෑම් 150
රතුළූණු බික් 3ක්
අවශ්‍ය පමණට ලුණු
සාදන ක්‍රමය
පළමුව හොඳින් සෝදා ගත් ඊතණ කොළ සහ දඬු සහ කරපිංචා ඉතා කුඩා කොටස්වලට කපා ගන්න. ඉන්පසු ඒ තණකොළ දඬු කරපිංචා ආදිය හොඳින් කොටා ගන්න. නැත්නම් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් සිහින්ව අඹරා ගන්න. වතුර ස්වල්පයක් දමා කොටාගත් ඊතණ මිරිකා යුෂ ලබාගන්න. ගාගත් පොල් හොඳින් මිරිකා පොල් කිරි ලබාගන්න.

ඉන්පසුව හීනටි සහල් සෝදා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා එයට ලියාගත් රතු ලුණු එකතු කර තැම්බෙන්නට හරින්න. සහල් හොඳින් තැම්බුණු පසු හැන්දෙන් තරමක් පොඩි කර ගන්න. පසුව එයට පොල් කිරි එකතු කර එයටම කොළ යුෂත් එකතු කර පිසගෙන කිතුල් හකුරු සමඟ පානය කරන්න.
ඊතණ කැඳ භාවිතයෙන් ලැබෙන වාසි
මුත්‍රා කාරක ගුණ සහිතයි.
වේදනා නාශක ගුණයෙන් යුක්තයි.
නාසයෙන් ලේ ගැලීමට ගුණදායකයි.
කුෂ්ඨ රෝග සුවපත් කරයි.
සෙම් රෝග නැසීමේ ගුණයෙන් යුක්තයි.
චර්ම රෝග සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගනියි.
මුත්‍රා අශ්මරී, මුත්‍ර දාහ ආදී රෝග තත්ත්වයන් සමනයට උදව් වෙයි.
කාන්තා රෝග සඳහා ඉතාම ගුණදායකයි.
ඔසප් චක්‍රයේ අපහසුතා මග හරින්නටත් ඒ ආශ්‍රිත රෝගාබාධ නැති කරගන්නත් උදව් වෙයි.
අපස්මාර රෝගීන් සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගනියි.
ආම අතීසාරය ආදී රෝග තත්ත්වයන්ට ගුණදායකයි.
ඇස්වල රෝගාබාධ සුවපත් කරයි.
සර්ප විෂට ගුණදායකයි.
ශරීරයේ දාහය දුරුකරයි.
ශරීරය සිසිල් කරයි.
සම පැහැපත් කරයි.
ඔසප් වේදනා දුරු කරයි.
ඊතණ ශාකයේ ඖෂධීය භාවිතයන්
කාන්තා රෝග සඳහා
දේශීය සහල් වර්ගයක් භාවිතා කරමින් ඉහත සඳහන් කළ ආකාරයට ඊතණ කැඳ සකසා සතියකට වරක් දෙවරක් හෝ ඔබට භාවිතා කරන්නට පුළුවන්. එමගින් කාන්තාවන්ට ඇතිවන රෝග තත්ත්වයන් බොහොමයකින් ආරක්ෂා වීමටත් හැකියාව ලැබෙනවා.
සම පැහැපත් වීම සඳහා
ඊතණ කොළ මී පැණි සමඟ අඹරා ආලේප කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
මුත්‍රා රෝග සඳහා
ඊතණ ශාකයේ මුල් තම්බා පානය කිරීමෙන් මුත්‍රා රෝග සුවපත් කර ගන්නට හැකියාව ලැබෙනවා.
ශරීරයේ උෂ්ණය සඳහා
ඊතණ කොළ බෙලි කොල සහ කොළඹ කොළ තම්බා ගත් වතුරෙන් ශරීරය සේදීම මගින් සුවයක් ලබා ගන්නට පුළුවන්.
මේ ඊතණ ශාකය ධන වාසනාව ගෙන එන ශාකයක් විදිහට ජනතාව අතර ප්‍රචලිත වීම හැරුණාම විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් අපිට බෙහෙවින් උදව් වෙන ශාකයක් බව ඔබ දැන් දන්නවා. ඒ නිසා මේ ශාකය ඔබේ ගෙවත්තෙත් සිටුවා ගන්නට හැකි නම් එය ඉතාම වැදගත්. ඊතණ ශාකය බීජ මගින් පැළ කරගන්නට හැකියාව තිබුණත් වඩා ඉක්මනින් පැල ලබා ගන්නට හැකියාව තියෙන්නේ මෙහි දඬු පැල කිරීම මගින්. ඉතින් මේ වටිනා ශාකය අපි මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්.